කාන්තාවක සමූහ දූෂණයට ලක් කිරීමත් ඡන්ද මධ්‍යස්ථානවලට කඩාපැන ඡන්ද පෙට්ටි පිරවීමත් අතර වෙනසක් නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගිය දිනක කියා තිබිණි. රූපවාහිනී නාළිකාවක සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කළ මේ ප්‍රකාශය එම වැඩසටහන නැරඹූ බොහෝදෙනාගේ ප්‍රබල අවධානයක් දිනාගැනීමට සමත්විය. ඒ සමඟ දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ මැතිවරණ නොපැවැත්වීමද ඒ හා සමාන වැරුද්දක්, දූෂණයක් බවය.

ඒ අර්ථය අනුව පසුගිය යහපාලන ආණ්ඩු කාලය තුළදී එජාපය, ශ්‍රීලනිප පිරිසක්, ජවිපෙ සහ ටී.එන්.ඒ. එක්ව සිදුකළේද දේශපාලනමය සමූහ දූෂණයකට පණ දීමය. ඔවුහු එකතුව පළාත් සභා ඡන්දය දින නියමයකින් තොරව කල්දැමූහ. පළාත් පාලන මැතිවරණය ඉල්ලා රටේ සියලු‍ ජනතාව හඬනගද්දී එය ආසන්නව දෙවසරකින් පස්සට තල්ලු‍ කළහ. මේ දේශපාලන ‘දූෂණයෙහි’ යෙදුණු පිරිස දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවුන් වීමට පොරකති. ජනතා පරමාධිපත්‍යය රැකදීමට ප්‍රතිඥා දෙති. මීට වඩා දේශපාලන විහිළුවක් තවත් තිබිය නොහැක. අපේ ඉතිහාසයේ මෙවැනි කතා බොහෝය.

මැතිවරණ කල්දැමීම සහ අවශ්‍ය ආකාරයට හසුරුවා ගැනීම පිළිබඳව අපේ රටට තිබෙන එකී අතීත ආදර්ශ පෙන්වා දෙන්නේ මෙතෙක් බලයට පත් සෑම ආණ්ඩුවක්ම දේශපාලන දූෂණයේ යෙදී තිබෙන බවය. ඉන් පළමුවැන්න සිදුවූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙනි. 1975 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය එම රජය මගින් වසර දෙකකින් කල්දමනු ලැබුවේ ඔවුන් විසින්ම හඳුන්වා දෙනු ලැබූ ජනරජ ව්‍යවස්ථාවේ වගන්තියකින් රිංගා යමිනි. එවැනිම තවත් දූෂණයක් රට හමුවේ ප්‍රදර්ශනය වූයේ ජේ.ආර්. ජයවර්ධනගේ පාලන සමයේදීය. 1982 වසරේදී පැවැත්වීමට නියමිත වූ මහමැතිවරණය වෙනුවට අති විශාල දූෂණ ක්‍රියාවලින් වැසී ගිය ජනමත විචාරණය ආදේශ කිරීමෙන් ඔහු එම දූෂණය සිදුකළේය. එම පාලන කාලය තුළදී ජනාධිපති සමාව ලැබී හිරෙන් නිදහස් වූ ගෝනවල සුනිල් නම් අපරාධකරු එජාපයේ එම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙය වූ එක් ප්‍රධානියෙක් විය. ඔහු සිරගතව සිටියේ යොවුන් දැරියක දූෂණය කිරීමේ අපරාධයට දඬුවම් විඳිමිනි.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දූෂණය වූ තවත් අවස්ථා තිබේ. 1989 අගභාගයේදී සිදුවූ එවන් දූෂණයකට එජාප සහ ජවිපෙ දෙපක්ෂයම වගකිවයුත්තෝ වෙති. එහිදී පැවැත්වූ මැතිවරණවලදී එජාපය ඡන්දපොළවලට කඩාවැදී ඡන්ද පෙට්ටි පිරවූ අතර ඊට ඉඩක් ලැබුණේ ජවිපෙ විසින් රටපුරා දැඩි භීෂණයක් වපුරා මැතිවරණ වර්ජනයක් ඇතිකර තිබීමෙනි. ඔවුන්ගේ අණට අකීකරු වී කටයුතු කිරීමේ වරදට ජනතාව ලැබූ දඬුවම මරණය විය. එවන් අතීතයක් හිමි ඇතැම් දෙනාද පසුගියදා කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතා උද්ඝෝෂණයේ කසකරුවෝ වී සිටියහ. මෙරට අහිංසක ජනතාව තම අණට අකීකරු වීම හේතුවෙන් මරාදැමීම වරදක් හැටියට එදා නුදුටු පිරිසක් මෙදා අමෙරිකාවේ කළු ජාතිකයකුට ජීවිතය අහිමි කිරීම මහපාරේ උද්ඝෝෂණය කළ යුතු වරදක් හැටියට දැකීම මහජනතාවගේ බුද්ධියට නිගා කිරීමක් නොවන්නේද?
1999 වසරේදී වයඹ පැවැති පළාත් සභා මැතිවරණයද මෙරට ජනතාවගේ දේශපාලන අයිතිය අමු අමුවේ උල්ලංඝනය කළ දේශපාලන ඉතිහාසයේ ලොකු කළු පැල්ලමක් එක්කළ අවස්ථාවකි. ඡන්දය දීමට ඡන්දපොළට යමින් සිටි ජනතාවට පොලු‍ පහරදී එළවා දැමීමටත්, ගම්මාන පිටින් ඡන්දය දැමීම වැළැක්වීමටත්  කටයුතු කළ එවකට සිටි ශ්‍රීලනිප ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණු නායකයන් අතර අද පොහොට්ටුවට එක්වී සිටින ඇතැම් නායකයන්ද සිටින බවත් සඳහන් කළ යුතුය. එදින එජාපයට සහාය පළකළ කාන්තාවක් මහමගදී දෙනෝදාහක් බලා සිටියදී නිරුවත් කොට මහපාරේ ඇවිද යාමට සැලැස්වීමට තරම් එදා ආණ්ඩුවේ හෙංචයියලා තිරිසන් වී සිටියහ. එම රජයේ නායිකාව වී සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කුප්‍රකට වයඹ මැතිවරණ ජයග්‍රහණය සැමරුවේ කිසිදු ලජ්ජාවකින් තොරවය. කාන්තාවක් නිරුවත් කිරීම පමණක් නොව ඡන්දපොළවලට කඩා වැදී ඡන්ද නියෝජිතයන් පළවා හැර ඡන්ද පෙට්ටි පිරවීම එදින සාමාන්‍ය සිදුවීමක් විය. ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙල මිරිකීමේ ක්‍රියාවලිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේද සිදුවූ අතර එජාපය ප්‍රමුඛ විපක්ෂයට සිත්සේ පහරදීමට මර්වින් සිල්වා වැනි මැරකම්වලට ප්‍රසිද්ධියක් ඉසිලූ දේශපාලනඥයන් යොදවා ගැනිණ. මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලටද පහරදීමට මර්වින් සම්බන්ධ වූ බවට චෝදනා ඒ කාලයේ එල්ල විය.

උතුරේ දේශපාලනය කළ ටී.එන්.ඒ. ද එල්.ටී.ටී.ඊ.යේ අතකොළු‍වක් වෙමින් ප්‍රජාතන්ත්‍රවාදයේ පළු ඇරියේය. එහිදී උතුරේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කම්බස් වූ අතර 2005 ජනාධිපතිවරණයේදී උතුරේ ඡන්දදායකයන්ට ඡන්දය භාවිත කිරීම මරණ වරෙන්තුව කැඳවා ගැනීමක් විය.

මේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකදීමට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණෙන ප්‍රධාන දේශපාලන පක්ෂත් ඒවායේ නායකයනුත් අපට ලබාදී ඇති පූර්වාදර්ශවලින් කිහිපයකි. මෙවැනි අතීතයක් සමඟ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය හැකි බවට අපට ඇති සහතිකය කුමක්දැයි අපි අපේම හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුතු වෙමු. එවැනි සහතිකයක් නීතිමය වශයෙන් ලබාදිය හැකි වන්නේ මැතිවරණ කොමිසමට පමණි. එහෙත් මැතිවරණ කටයුතු දිගටම කරගෙන යාමට නීතියේ පවා අනුමැතිය හිමිවෙමින් තිබියදී මැතිවරණ දිනය අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන බව ප්‍රකාශ කිරීමට මෙතරම් කාලයක් ගැනීමෙන් අපට හැඟෙන්නේ කොමිසමද වෙනත් ප්‍රමුඛතාවලට මුල්තැනක් දී තිබෙන බවකි. මෙවැනි දේශපාලන පක්ෂ සහ කොමිෂන් සභා තිබෙන රටකට වෙනත් සතුරන් අවශ්‍ය නැත.