පුරවැසියා යන සංකල්පය ආරම්භ වන්නේ ග්‍රීසියේ ඇතැන්ස්වලිනි. එහෙත් නූතන අර්ථයෙන් ගත්තොත් එය ද පැරැණි සංකල්පයකි. මන්දයත් පුරවැසියා පුරයට සීමා වී ඇති බැවිනි. මේ යුගයේ අප කතා කළ යුත්තේ පුරවැසියා ගැන නොව රටවැසියා ගැනය. නූතන රටවැසියා යනු යහපත් සමාජ ජීවිතයක් සඳහා විවිධ අයිතිවාසිකම් ඇත්තෙකි. බහුතරයක් සමඟ රටක පැවැතිය යුතු පාලනය පිළිබඳ තීන්දු ගැනීම එම රටවැසියාගේ එක් වගකීමකි.

ඡන්දය ඒ සඳහා භාවිත මෙවලමයි. ඡන්ද දායකයා යනු මැතිවරණ කාලපරිච්ඡේදයේ දී ක්‍රියාත්මක රටවැසියා හඳුන්වන එක්තරා ලේබලයකි. රටවැසියා හා ඡන්ද දායකයා යනු වෙනත් සත්වයන් යැයි එයින් අර්ථකථනය නොවේ. මහජන පරමාධිපත්‍යය ද මේ සමඟ ගැටගැසුණකි. ඇතැමුන් ඡන්දය ප්‍රකාශ කිරීම මහජන පරමාධිපත්‍යය හැටියට අර්ථකථනය කළත් එය නිවැරැදි නොවේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ ගැන කියැවෙන කාරණා තුනක් මෙහිදී වැදගත් වේ. ශ්‍රී ලාංකික පුරවැසියකු වීම, මානව අයිතිවාසිකම් නොඅඩුව භුක්ති විඳීමට තිබෙන සහතිකය හා ඡන්දයයි. මහජන පරමාධිපත්‍ය යනු මේ කාරණා තුනේම අවිච්ඡින්න බන්ධනයකි.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක රටවැසියාගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා ආණ්ඩුවක් පත්කර ගැනීමට තිබෙන අයිතිය ඡන්දයයි. පවතින මැතිවරණ ක්‍රමයේ දී අප අභ්‍යාස කරන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයයි. ශ්‍රී ලංකාවේ දෙකෝටි විසි ලක්ෂයක ජනගහනයක් වෙයි. එහෙත් පාලනයේ දී මේ දෙකෝටි විසි ලක්ෂයටම හවුල් විය නොහැකිය. එසේත් නැත්නම් මේ දෙකෝටි විසි ලක්ෂයෙන් එක්කෝටි හැට ලක්ෂයක් වූ ඡන්දදායක පිරිසට වුව ද ඍජුවම ආණ්ඩු පාලනයට සම්බන්ධ විය නොහැකිය. එනිසා ඔවුහු තමන් නියෝජනය කරමින් රට පාලනයට නියෝජිතයකු පත්කර ගනිති. එහෙත් මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ද බරපතළ සීමා තිබේ. මෙයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ ලංකාව වැනි රටවල දී විවෘත වෙළෙඳපොළ හඳුන්වාදීමෙන් පසුව හටගත් විකෘතිය.

එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ද හුදු පටිපාටිමය කෘත්‍යක් බවට පත්වීමය. එනම් ආණ්ඩුවක් පත්කරගත යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබේ. ඒ සඳහාම වූ මැතිවරණ පනත් ද තිබේ. පටිපාටිමය කෘත්‍ය නම් එසේ සඳහන් වන නිසා මැතිවරණ පැවැත්වීමය. එහෙත් අප පෙර කී පරමාධිපත්‍යය සමඟ ගැටගැසී තිබෙන සෙසු කාරණා යථාර්ථයක් නොවන තරම්ය. මැතිවරණයකින් පසුව ආණ්ඩුවක ක්‍රියාකාරිත්වය මොනම ආකාරයකින්වත් පාලනය කිරීමට හෝ හසුරුවා ගැනීමට ඊට හවුල්වීමේ ඉඩක් මහජනයාට නැතිවීම එහි ප්‍රකාශනයයි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණයකින් පසුව නූල කඩා දැමූ සරුංගලයක් බඳුය. එනිසා වඩා දියුණු ප්‍රජාතන්ත්‍රවාදයකට මාරුවීමට කාලය පැමිණ තිබේ. එය නම් සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයයි. එහි අංග කීපයකි. පළමුවැන්න නම් තමා තෝරා පත්කළ නියෝජිතයා එම ඡන්දය ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ ප්‍රතිපත්තිවලට පටහැනිව පක්ෂ මාරු කිරීමයි.

උදාහරණයකට ගතහොත් ඡන්දදායකයකු ඡන්දය දෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වෙනුවෙන් වූ පොරොන්දුවකටය. එහෙත් එයින් තේරී පත්වූ නියෝජිතයා පාර්ලිමේන්තුවේ දී ඡන්දය දෙන්නේ ප්‍රතිත්‍රස්ත පනතට පක්ෂවය. තවත් සරලව කිවහොත් ඡන්ද දායකයකු ‘ඒ’ පක්ෂයට ඡන්දය දුන් විට එයින් පත්වන නියෝජිතයා ‘බී’ පක්ෂයට සම්බන්ධ වේ. එවැනි අවස්ථාවල සිය නියෝජිතයා නැවත කැඳවීමට (Right of recall) ඡන්ද දායකයාට අවස්ථාව තිබිය යුතුවේ. ස්විට්සර්ලන්තයේ කැන්ටන්වලත් පාර්ලිමේන්තුවේත් එම අවස්ථාව තිබේ. නැවත කැඳවීමේ අවස්ථාව ඡන්ද දායකයාට දුන් විට මහජන නියෝජිතයා ප්‍රතිපත්තිවලට ප්‍රතිපක්ෂව කටයුතු කිරීම ගැන දෙවරක් සිතා බලයි. සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති අනෙක් කරුණ වන්නේ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නා ඉදිරිපත් කරන සංවර්ධන සැලැස්ම ද ඒ සඳහා වූ වාර්ෂික අයවැය ද නැවත ජනමතයට ඉදිරිපත් කිරීමය. වාද විවාද සහිත මෙය දීර්ඝ ක්‍රියාවලියකි. එම ක්‍රියාවලිය පුරා ජනතාව සක්‍රීය වේ. එවැනි තත්ත්වයක් තිබෙන්නේ නම් එම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ද සක්‍රිය වේ. මන්දයත් රට පාලනයට ආණ්ඩුවක් පත්කර ගැනීමෙන් නොනැවතී ආණ්ඩුව පාලනයට ද ජනතාව සම්බන්ධ වන හෙයිනි. ලංකාවේ දී ක්‍රියාත්මක නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය මැතිවරණවලින් පසුව නූල කැඩුණු සරුංගලයක් බවට පත්වන්නේ මෙවැනි පරිසරයක් නැති නිසාය.

මැතිවරණයක් ළං වනවිට දැනුවත් සමාජය නැතහොත් නාගරික මැද පන්තිය සිවිල් සමාජය යැයි කියමින් විවිධ තේරීම් කිරීමට ඉදිරිපත් වෙයි. විවිධ පක්ෂවලට සන්ධානවලට සහාය දෙති. පහුගිය කාලයේ දී ලංකාවේ දේශපාලනයෙහි මෙය විලාසිතාවක් වූ තරම්ය. මෙහි කූටප්‍රාප්තිය වූ අවස්ථාව හැටියට 1994 මැතිවරණ හැඳින්විය හැකිය. 1994 මැතිවරණ ළංවනවිට ස්වාධීන කලා හා සමාජ ක්‍රියාකාරීන්ගේ විශාල එකතුවක් නිර්මාණය වී තිබිණි. පැවැති ආණ්ඩුවට විරුද්ධව නව බලවේගයකට සහාය දෙන්නේ තමන් ස්වාධීනව සිටිමින්ය යන්න ඔවුන්ගේ එක් ප්‍රකාශයක් විය. නුගේගොඩ එළිමහන් රංගපීඨයේ පැවැති එම රැස්වීමට දේශපාලකයන් කිසිවෙකුත් සහභාගි කරගත්තේවත් නැත. එහි සහායට පැමිණි දේශපාලකයන්ටත් සිදුවුණේ වේදිකාවට නොගොස් ප්‍රේක්ෂකයන් බවට පත්වීමටය. එහෙත් මැතිවරණය නිමා වී මාස කීපයක් ගතවෙද්දී සමාජයට දකින්නට ලැබුණේ වේදිකාවේ සිටි ප්‍රධාන පෙළේ කථිකයන් ආණ්ඩුවේ තනතුරු දරන්නන් බවට පත්ව සිටි අයුරුය.

එහි යථාර්ථය නම් මැතිවරණයට පෙර ගොඩ නැගූ අතිශය ස්වාධීන යැයි කී සිවිල් ව්‍යාපාරයේ නිමාවයි. 2005 දීත් 2015 දීත් මෙම අත්දැකීම අපි ලැබුවෙමු. විශේෂයෙන්ම එම කණ්ඩායම් එක් තැනකට රාශිභූත නොවී වෙන වෙනම මැතිවරණ ව්‍යාපාරයෙහි නිරත වන ආකාරය ද අපි දුටුවෙමු. එහෙත් නැවත දුටුවේ ද 1994 ට වෙනස් ආකාරයකින් නැවතත් ඇතැම් පුද්ගලයන් ආණ්ඩුව සමඟ සම්බන්ධ වීමය. ඉන්පසුව වඩාත්ම ශෝචනීය කරුණ වූයේ ඔවුන් සම්බන්ධ වූ ව්‍යාපෘති සම්බන්ධයෙන් ආණ්ඩුවලට චෝදනා එල්ලවෙද්දී මේ සිවිල් යැයි කියන ක්‍රියාකාරිකයන් ඒවාට උත්තර බැඳීමට පෙරට ඒමය. මේ නිසා අවසාන විග්‍රහයේ දී අප දුටුවේ ස්වාධීන යැයි කී සිවිල් ක්‍රියාකාරිකයන් ආණ්ඩුවල දුක්ගන්නාරාලලා බවට පත්වන අයුරුය. මෙහි දේශපාලන නපුර වන්නේ කොළඹ සිවිල් සමාජයෙන් මෙසේ ඉදිරිපත් වන පිරිස් තමන් ඉදිරිපත් වන්නේ ජනතාව නියෝජනය කිරීම වෙනුවෙන් යැයි කීමය.

එහි තාර්කික අන්තය වන්නේ ඔවුන් ආණ්ඩුවල පංගුකාරයන් වූ පසුව ජනතාව අතරමං වීමය. ජනතාව නමැති කුලකය මැතිවරණ කාලයේ දී මුහුණ දෙන උභතෝකෝටික ගැටලුවක් බවට එය පත්ව තිබේ. එයින් සිදුවන්නේ එක්තරා ආකාරයකට රටවැසියා දේශපාලනික වශයෙන් බලසම්පන්න වීම වැළැක්වීමකි. ජනතාව එවිට කරන්නේ මැතිවරණ දෙකක් අතර කාලපරිච්ඡේදය අත්හැර දැමීමය. ඡන්දය දිය යුත්තේ කාටද යන මහජන මතයට පමණක් සාවධාන වීමය. එකී මතය අනුව ආණ්ඩුවක් නිර්මාණය වුණත් නැතත් මහජනතාව කරන්නේ ඉන්පසුව සිය භූමිකාව අත්හැර දැමීමය. ස්වාධීන ලෙස බලපෑම් කණ්ඩායම් නිර්මාණයට ඇති අවකාශය හැකිළී යාමය.

ඇතැමුන් අසන ප්‍රශ්නයක් වන්නේ විසිරී සිටින සාමාන්‍ය ජනයා නමැති ප්‍රජාවට නායකත්වය දෙන්නේ කවුද යන්නයි. එය සැබැවින්ම අර්ධ සත්‍යයක් මත පිහිටා කරන ප්‍රශ්න කිරීමකි. මන්දයත් මෙසේ විසිරී සිටින්නේ යැයි කියන මහජනයා සැබැවින්ම සිටින්නේ ග්‍රාමීය සමාජයේ වන බැවිනි. නගරය එසේ නොවේ. විවිධාකාරයෙන් රංචු ගැසීමට අවස්ථාව නගරයේ තිබේ. වෛද්‍යවරුන්ගේ නීතිඥයන්ගේ ගණකාධිවරුන්ගේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධාන, වෘත්තීය සමිති ඊට එක් නිදසුනකි. දියුණු රටවල ගම සහ නගරය අතර පරතරය අඩුවෙද්දී මේ ප්‍රශ්නයට විසඳුම් ලැබීම ඉක්මන් වේ. එහෙත් ලංකාවේ දී එය පමා නිසා ජනතාව හැසිරවීමේ ශක්‍යතාව තවමත් මේ කියන ඊනියා සිවිල් සමාජය සතුව තිබේ. අවාසනාවකට අප කියන නාගරික සමාජ සංවිධාන එකතු ද පවතින විවෘත වෙළෙඳපොළ යටතේ අතිශයින් දූෂණයට ලක්ව ඇති නිසා ඒවායේ අරමුණු ද කුහක වත්පිළිවෙත් මත පිහිටා තිබේ. මධ්‍යම පන්තියක් හැටියට යම් සුවපහසු ජීවිතයක් ගත කිරීමේ හැකියාව ඇති නිසා පොදු ජනතාව යැයි කියන පිරිස වෙනුවෙන් ආණ්ඩු සමඟ ගැටුමට යාමේ අවශ්‍යතාවක් නොවීම ඊට හේතුවයි. ඔවුන් එක්තරා ආකාරයකට ගමන් කරන්නේ ඇඟ රිදෙන්නේ නැති ප්‍රතිසංස්කරණ සමඟ පමණි. මේනිසා එවැනි කණ්ඩායම් මැතිවරණයක් අවසාන වී ඊළඟ මැතිවරණයක් පවතින කාලය දක්වා බලපෑම් කිරීමේ පිරිස් බවට පත්වන්නේ නැත. ඉතින් ලංකාව වැනි රටක දී පොදු ජනතාවට පාර කියා දෙන්නට එන පිරිස්වල ප්‍රජාතන්ත්‍රවාදී භාවිතා ද අතිශය ජුගුප්සාජනකය.

ජනාධිපතිවරණයට පෙර මේ ගතවෙමින් තිබෙන්නේ අන්තිම පැය විසි හතරයි. රටවැසියන් ඡන්ද දායකයන් හැටියට දැන් ගෙවමින් තිබෙන්නේ මැතිවරණයට පැය හතළිස් අටකට පෙර මැතිවරණ ප්‍රචාරණ කටයුතු නවතා ඇති කාලයේය. එවැනි කාලයක් ඔබට ලබා දී තිබෙන්නේ ඇයි? මූලිකව ගතහොත් මැතිවරණ කොමිසමට මැතිවරණ රාජකාරිවල නියුතු නිලධාරින් ස්ථානගත කරමින් ඒ සඳහා අවශ්‍ය භෞතික සම්පත් කළමනාකරණයට කාලයක් අවශ්‍යය. විශාල වශයෙන් කෙරෙන මැතිවරණ ප්‍රචාරණයක් අතරේ එම කටයුතු කිරීම ප්‍රායෝගික නැත. දෙවැනිව ගතහොත් ඡන්ද දායකයන්ට ද සිය සේවා ස්ථානවල සිට ගම්බිම් බලා යන්නට නිශ්චිත කාලයක් අවශ්‍යය. නිදසුනකට කොළඹ ඇඟලුම් කම්හලක සේවය කරන තරුණියකට රාත්‍රී සේවා මුරය කර පසුදින අවදි වී තන්තිරිමලය වැනි දුර බැහැරකට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උදේ පාන්දරින් අවදිව ගමන් කිරීම පහසු නැත. අනෙක් කරුණ වන්නේ මැතිවරණ රාජකාරි සඳහා යොදන විශාල ආරක්ෂක බළකායයි. මැතිවරණ ප්‍රචාරණය අතරේ එවැනි විශාල හමුදා හා පොලිස් භට පිරිසක් රාජකාරියේ යොදද්දී සාමය කඩවීම් බහුලවීමට ද ඉඩ තිබේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් ඉටුකරගැනීම සඳහා මෙවැනි නිස්කලංක කාලපරිච්ඡේදයක් අවශ්‍ය බව පැහැදිලිය.

ලංකාවේ අතිශය ප්‍රචණ්ඩ මැතිවරණ කාලපරිච්ඡේද තිබුණේ 90 දශකයේය. එම ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයවීම ආරම්භ වුණේ අදාළ සිදුවීම් හා ඒවා හා බැඳුණු දේශපාලකයන්ගේ නම් ගම් හෙළිදරව් වීම සමඟය. එසේ තොරතුරු හෙළිදරව් වීම ආරම්භ වුණේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු ආරම්භ වීම සමඟය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානය ඊට කදිම නිදසුනකි. අද තනි සංවිධානයක් හැටියට අනන්‍ය වුවද 80 දශකයේ අගභාගයේ දී පැෆරල් පිහිටුවන්නේ සංවිධාන රැසක එකතුවීමක් හැටියටය. 80 ජූලි වර්ජනයෙන් පසුව නිමල් ප්‍රනාන්දු, එස්.ජී පුංචිහේවා වැන්නන්ගේ අදහස් පරිදි සර්වෝදය වැනි ආයතන ද ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාකාරී වූ කුඩා කණ්ඩායම් ද සන්ධානගතවය. එකල අප ද ඇතුළුව සියලු‍ දෙනා ඊට සම්බන්ධ වූයේ ස්වෙච්ඡාවෙනි.

එහෙත් අද වන විට එම සංවිධාන මැතිවරණ කොමිසමෙන් නිල පිළිගැනීම ලත් විශාල වශයෙන් විදෙස් මූල්‍යාධාර ලබන දැවැන්ත ව්‍යාපෘති බවට පත්ව තිබේ. කෙසේ වෙතත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම වීම සඳහා නිරීක්ෂකයන්ගේ මැදිහත්වීමෙන් වූ බලපෑම ගැන සැලකිය යුතු කෘතගුණවේදයක් තිබිය යුතු බව මම කියමි. විශේෂයෙන්ම නිරීක්ෂකයන්ගේ හෙළිදරව් කිරීම් සමග නිදහස් හා සාධාරණ මැතිවරණයක් යන්න සමාජ අවශ්‍යතාවක් බවට පත්වීම කැපී පෙනුණි. 2019 ජනාධිපතිවරණය වනවිට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවන තරම් වූ පරිසරයක් ගොඩනැගෙ න්නේ මෙකී ක්‍රමික විකාශනයෙහි බව අවධාරණ කටයුතුය. එහෙත් අවාසනාවට මැතිවරණ නිරීක්ෂකයන් තවමත් බර තබා ඇති බවක් පෙනෙන්නේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා දෙසටය. ඉතා සුළු වශයෙන් වාර්තා වන ප්‍රචණ්ඩ ක්‍රියා යනු පොලිසියට හා දේශපාලන පක්ෂවලට විසඳාගත හැකි කාරණාය.

මැතිවරණ නිරීක්ෂකයන් සෙවිය යුත්තේ එතැනින් එහා වර්ධනයක් ගැනය. රාජ්‍ය හා ජනමාධ්‍ය සම්පත් අවභාවිතය එහි ප්‍රමුඛය. නිරීක්ෂණ සංවිධාන කිසිවෙක් ජනමාධ්‍යයේ වගකීම සම්බන්ධයෙන් තීරණාත්මක මැදිහත්වීමක් කරන්නේ නැත. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ මූල්‍යකරණය සම්බන්ධයෙන් සොයා බැලීමක් කර ඒ ඒ ජනාධිපති අපේක්ෂකයන් කර ඇති ප්‍රචාරණ වියදම් ගැන හෙළි කරන්නට කටයුතු කර තිබේ. එහෙත් ඒ අතරේම ඔවුහු ජනමාධ්‍යයේ අවභාවිතය, මහජන සංඛ්‍යාත අයිතිය ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රශ්න නොකරන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන බවට පත්ව තිබේ. ඊට හේතුව නම් මැතිවරණ නිරීක්ෂකයන්ට සිය ආධාර ව්‍යාපෘති සඳහා මැතිවරණ කොමිසමේ පිළිගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වීමය. මෙවැනි සංස්ථාගත සම්බන්ධතාවල ප්‍රතිඵලය වී තිබෙන්නේ මැතිවරණ දෙකක් අතර කාලපරිච්ඡේදයේ රටවැසියන්ගේ වගකීම අතහැරීමය. රටක යහපත් දේශපාලන පරිවර්තනයක් යනු හුදු ආණ්ඩු මාරුවක් හෝ ජනපති මාරුවක් නොවේ. දේශපාලන පරිවර්තන සිදුවන්නේ සමාජයක අභ්‍යන්තරයෙන් එන අවංක වුවමනා මතය.

ජනාධිපතිවරණයේ දී ඡන්දය වර්ජනය කරන්නැයි ඉල්ලා උතුරු පළාතේ අත්පත්‍රිකා බෙදීමක් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කර තිබිණ. දෙමළ ජාතික ජනතා පෙරමුණ නමින් ද තවත් පිරිස් නිර්නාමිකව ද මෙම අත්පත්‍රිකා බෙදා ඇති නමුත් පවතින මැතිවරණ නීතිය යටතේ එය වරදක් නොවේ. ඡන්දය දීම සඳහා සුදුස්සකු තමාට නැතැයි ප්‍රකාශ කිරීමට ක්‍රමයක් ලොව දියුණු රටවල භාවිත වේ. එහෙත් එය ඡන්ද වර්ජනය කිරීමක් නොවේ. එය කිසිදු අපේක්ෂකයකුට සහාය නොදැක්වීම යටතේ සිය මනාපය සලකුණු කිරීමේ නෝටා ක්‍රමයයි. එය ද ප්‍රජාතන්ත්‍රවාදය අභ්‍යාස කරන එක් ක්‍රමයකි. ලංකාවේ එක් කලෙක කිව්වේ ඡන්දපොළට ගොස් කටු ගාන්නටය. ඇතැම් විට ඡන්දපොළට නොයන්නටය. ලංකාවේ දී නම් මහ මැතිවරණයකට වඩා නෝටා ක්‍රමය වලංගු වන්නේ ජනාධිපතිවරණයක දී ය. විශේෂයෙන්ම මෙවර ජනාධිපතිවරණයට නිල හා නොනිල වශයෙන් දරා ඇති පිරිවැය කෝටි ප්‍රකෝටි ගණනකි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව බලතල සීමිත ජනපති කෙනෙකු වෙනුවෙන් එවැනි පිරිවැයක් දරන්නේ මන්ද? ඉදිරියේ එන මහ මැතිවරණයේ දී මහජන නියෝජිතයන්ගෙන් ඇසීමට එම පැනය තබමු.  

කෙසේ වෙතත් මේ ජනාධිපතිවරණය නියත වශයෙන්ම ඊළඟ මහ මැතිවරණය සමඟ ගැටගැසී තිබේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පවතින ආණ්ඩුව 2020 මාර්තු මාසය වනතුරු පවතී ද යන්න තීරණය වන්නේ ද ජනාධිපතිවරණ ප්‍රතිඵල මත නිසාය. ඒ කෙසේ වුව තවත් මාස කීපයකින් හෝ මහ මැතිවරණයක් පැමිණීම අනිවාර්ය වන අතර එම මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ සංයුතිය තීරණය කරන තීරණාත්මක සාධකයක් බවට මේ ජනාධිපතිවරණය පත්වනු ඇත. ඒ නිසාම ජනාධිපතිවරණයේ දී මහජන මතය සැකැසීමට පෙරට පැමිණි පිරිස්වලට තවත් මාස ගණනක් යනතුරු සිය රාජකාරි අවසන් කිරීමට නොහැකි වනු ඇත. ඔවුන් මෙතෙක් අත්හළ රටවැසියාගේ භූමිකාව ගැන දැනුවත් කිරීමේ වගකීම එම අවස්ථාවේදීවත් ඉටු වේ නම් එය ඉතා වටී. එනම් මැතිවරණයක් අවසන් වූ විගස රටවැසියාගේ වගකීම අවසන් නොවන බව ඔවුන්ට ඒත්තු ගැන්වීමය. එය දැන් පටන් ආරම්භ කළහොත් අඩුම තරමින් මහජන අවකාශය සැබැවින් පුළුල් කළ ස්වාධීන කණ්ඩායම් හැටියටවත් ක්‍රියාකාරී වීමට ඔවුන්ට අවස්ථාව උදාවනු ඇත. රටවැසියා දේශපාලනිකව බලාත්මක වනු ඇත්තේ ද එවැනි මගකින් පමණි.

සටහන-බිඟුන් මේනක ගමගේ