දියුණු වෙමින් පවතින රටක් වශයෙන් ලොව අනෙකුත් රටවලට සාපේක්‍ෂව ලංකාවේ සමාජ ප‍්‍රශ්න ප‍්‍රමාණය වැඩි වෙමින් පවතී. ඒ අතර ස්ත‍්‍රී දූෂණ, ළමා අපචාර හා අපයෝජන, මත්ද්‍රව්‍ය භාවිතය, සිය දිවි නසා ගැනීම, දරිද්‍රතාවය, ගණිකා වෘත්තිය, ගබ්සාව වැනි සමාජ ප‍්‍රශ්න රැසකි. මෙම සමාජ ප‍්‍රශ්න අතුරින් ගබ්සාව හැර අනෙකුත් සමාජ ප‍්‍රශ්න පිළිබඳව බොහෝ විද්වතුන් නිරන්තරයෙන් විවෘත සංවාද කරති. නමුත් ගබ්සාව පිළිබඳ විවෘතව කතා කරන්නන් වත්මන් සමාජයේ විරලය. සමාජයට බිහි වීමට සිටින පුද්ගලයෙකුගේ එම අයිතිය නැති කිරීම ආගමික, සදාචාරාත්මක සහ නීතිමය වශයෙන් ද බොහෝ සමාජ ප‍්‍රතික්‍ෂේප කරති. එසේ වුව ද එවැනි දරු උපත් සිදු වීම මගින් කාන්තාවකට සිදු විය හැකි සෞඛ්‍යමය ගැටලූ හා සමාජ ගර්හාව වැනි හේතු පිළිබඳව සමාජය තුළ කතිකාවක් දක්නට ලැබෙන්නේ නැත. කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය වසන්තා සුබසිංහ විසින් ගබ්සාව පිළිබඳව සිදු කරන ලද පර්යේෂණයන්හි දත්ත පදනම් කොට ගෙන මෙම ලිපිය සැකසේ. ගබ්සාව යන ප‍්‍රශ්නය තුළ අප ගබ්සාව හඳුනා ගන්නා කොටස් දෙකක් දැක්විය හැකිය. එය ස්වාභාවික ගබ්සාව සහ සාපරාධී ගබ්සාව යනුවෙනි. ස්වාභාවික ගබ්සාව නීත්‍යනුකූල වෛද්‍යවරුන් විසින් සිදු කරයි. දරු ගැබ නිසා මවගේ ජීවිතයට හානියක් වේ නම් යන පදනම මත එවැනි ගබ්සාවක් සිදු කරනු ලබයි. ඒ සඳහා නීතිමය අවසරය ලබා දී තිබේ. එමෙන්ම ස්වාභාවික ගබ්සාව මවගේ ශරීරයේ ඇති රෝගී තත්ත්වයක් හේතු කොට ගෙන ස්වභාවයෙන්ම සිදු වීමට ද හැකිය. අද නීති විරෝධී ගබ්සාව සමාජයට ප‍්‍රශ්නයක් වී තිබේ. එය ප‍්‍රශ්නයක් බවට පත්ව තිබෙන්නේ ගබ්සා කිරීම ලංකාව වැනි සමහර රටවල නීති විරෝධී තත්ත්වයක් ලෙස පවතින බැවිනි. නිල නොලත් වාර්තාවලට අනුව දිනකට 800-1000ත් අතර ප‍්‍රමාණයක් නීති විරෝධී ගබ්සා සිදු වේ. ගබ්සාව පිළිබඳව පළමු පර්යේෂණය සිදු කරන ලද්දේ 1998 දීය. එයින් හෙළිදරව් වූ කරුණක් නම්, ලංකාවේ වසරකට සිදු වන දරු උපත් ප‍්‍රමාණය 3,75,000කට ආසන්න වන බවයි. නමුත් ලක්‍ෂ තුන ඉක්මවා ප‍්‍රමාණයක් ගබ්සා සිදු වීම බරපතළ අර්බුදයක් බවට පත්ව ඇත. ගණනය කිරීම මගින් දක්නට ලැබෙන ප‍්‍රශ්නය මෙය වුවත් මින් එහා ගිය සමාජ ප‍්‍රශ්න රැසක් නීති විරෝධී ගබ්සාව නිසා දැකිය හැකිය. වෛද්‍යවරුන්ගේ හිපොක‍්‍රටිස් දිවුරුම තුළ කිසිම අවස්ථාවක වෛද්‍යවරයෙක් ගබ්සාවකට සහභාගි නොවිය යුතුයි යන්න සදහන් වේ. එය තව දුරටත් පැහැදිලි කිරීමේ දී තම රටේ ගබ්සාවන් කිරීම සඳහා අවසර දෙන්නේ නම් පමණක් එය කළ හැකි බව ඔස්ලෝ ප‍්‍රකාශනයේ දක්වා තිබේ. ආසියාතික රටවල ලිංගිකත්වය සම්බන්ධයෙන් නොයෙකුත් වාරණයන් දක්නට ලැබේ. ලිංගිකත්වය යනු ස්වාභාවික පේ‍්‍රරණයකි. ආහාර, විවේකය, නින්ද වැනි දේ සමගම අපට තිබෙන ස්වාභාවික පේ‍්‍රරණය ලිංගිකත්වයයි. මෙහි දී වඩා වැදගත් වන කාරණය නම් මෙම පේ‍්‍රරණය හේතුවෙන් සමාජ ප‍්‍රගමනයක් සිදු වීමයි. අපේ සමාජය තුළ මෙකී පේ‍්‍රරණය පිළිබඳව විවෘත සාකච්ඡුාවන් දක්නට නොලැබේ. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය තුළ ද ජීවේනේද්‍රිය පද්ධතියේ සියල්ල පිළිබඳව විවෘත සාකච්ඡුාවන් සිදු කෙරුණ ද ලිංගික ප‍්‍රශ්න පිළිබඳව අවබෝධයක් ලබා දීමක් සිදු නොවේ. අනවශ්‍ය ලිංගික එක් වීමක දී ගැබ් ගැනීම, සමාජ රෝග, ලිංගාශ‍්‍රිත රෝග, ඒවාට ප‍්‍රතිකර්ම කිරීම, ඒඞ්ස් වැනි රෝග තත්ත්වයන් ඇති වීම පිළිබඳව සාකච්ඡුාවන් විසඳුම් දක්නට නොලැබීම දුර්වලතාවක් ලෙස දැකිය හැකිය. එවැනි තත්ත්වයන් ගබ්සා ඇති වීමට හේතු වී ඇති බව අනාවරණය වී තිබේ. මෙහි තවත් පැතිකඩක් ලෙස අප ගැහැනු දරුවන් නිරන්තරයෙන් දැනුවත් කළ යුතුය. එයින් ලිංගික අපයෝජනය බොහෝ දුරට වළක්වා ගත හැකිය. කන්‍යාභාවය පිළිබඳ සමාජ ආකල්ප යන පර්යේෂණය තුළින් කන්‍යාභාවය හඳුනා ගැනීම, කන්‍යාවිය යනු කවු ද වැනි දෑ සාකච්ඡුාවට බඳුන් කළ අතර එහි තවත් පැතිකඩක් ලෙස ගබ්සා කිරීම පිළිබඳව අධ්‍යයනයෙහි වැදගත්කම මෙහි දී පෙන්වා දිය හැකිය. ලංකාවේ ගබ්සාවන්ගේ ස්වභාවය සලකා බැලීමේ දී වැඩි වශයෙන් ගබ්සා කිරීමට පැමිණෙන්නේ විවාහක වයසේ සිටින කාන්තාවන් වන අතර ඔවුන්ගේ වයස් පරතරය 24-30ත් අතර වේ. පොදුවේ එම වයස් මට්ටම 20-40ත් අතර වේ. මෙහි දී විවාහක කාන්තාවන් ගබ්සාව කෙරෙහි යොමු වීමට විවිධ හේතු බලපානු ලැබේ. දරුවන් තිදෙනකුට වඩා වැඩි මව්වරුන් බහුලව ගබ්සා කිරීමට යොමු වේ. මේ කෙරෙහි බලපාන හේතු දක්නට ලැබේ. එනම් දරුවන් අතර විශාල වයස් පරතරයක් පැවතීම, දරුවන් ඒ තුළින් සමාජයේ ලජ්ජාවට බඳුන් වේ යැයි සිතීම එම කරුණු ලෙස පෙන්වා දිය හැකිය. අඩු පරතරයකින් යුතු දරුවන් සිටින විට දී ද නොදැනුවත්භාවය නිසා කාන්තාවන් පවුල් සැලසුම් ක‍්‍රමයක් බවට ගබ්සාව භාවිතයට ගනු හඳුනා ගත හැකිය. ආර්ථික අපහසුතාවන් ද ගබ්සාව කෙරෙහි යොමු වීමට බලපාන හේතුවක් ලෙස පෙන්වා දිය හැකිය. අසීමිත අවශ්‍යතා හේතු කොට ගෙන මිනිසුන් ආර්ථික අපහසුතාවට ලක් වේ. මෙවැනි තත්ත්වයන් යටතේ කාන්තාවන් ගබ්සාව කෙරෙහි යොමු වන ප‍්‍රමාණය වැඩිය. එමෙන්ම රැකියාවේ පවතින අර්බුදකාරි තත්ත්වයන් හේතු කොට ගෙන ද ගබ්සාව කෙරෙහි යොමු වේ. නිවාඩු නොමැති වීම, ඇතැම් රැකියා සඳහා විවාහක හා දරුවන් සිටින කාන්තාවන් සේවයට නොගැනීම, සේවා කාලය පිළිබඳ ප‍්‍රශ්න, වැටුප් රහිත නිවාඩු වැනි හේතු ද මේ සඳහා යොමු වීම කෙරෙහි මූලික වන්නේය. ඇතැම් අවස්ථාවල රෝගී තත්ත්වයන් නිසාවෙන් ද ගබ්සා කිරීම් කෙරෙහි යොමු වේ. විශේෂයෙන්ම හතිය, පිළිකා, හෘදයාබාධ වැනි තත්ත්වයන් යටතේ ඇති වන මානසික කඩා වැටීම් හේතු කොට ගෙන ගබ්සා කිරීම් වෙත කාන්තාවන් පෙළඹෙනු දැකගත හැකිය. අවිවාහක මාතෘත්වය ව්‍යාභිචාරය වැනි දේ අප සංස්කෘතිය තුළ දැඩි දෝෂ දර්ශනයට ලක්වන අතර එවැනි දෝෂ දර්ශනයන්ගෙන් පළා යාම උදෙසා ගබ්සාව උපයෝගි කරගනු ලබන බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.ගබ්සා කිරීම ආකාර කිහිපයකින් සිදු කෙරේ. කලලය විනාශ කිරීම සඳහා ගර්භාෂ සංකෝචනය කරවන ඖෂධ, බඩ විරේක කරවන බෙහෙත්, ඍජුවම කලලයට හානි පැමිණවීම, උපකරණ භාවිතය ආදී උපක‍්‍රමයන් ගබ්සා කිරීම සඳහා භාවිත කෙරේ. මීට අමතරව ඇතැම් අවස්ථාවල ගර්භාෂය තුළ දී කලලය විනාශ කොට ස්වාභාවික ප‍්‍රසූතිය මගින් ද දරු ගැබ විනාශ කරනු ලැබේ. අතීතයට සාපේක්‍ෂව වර්තමානය වන විට ගබ්සා කිරීමේ ක‍්‍රමවේද වෙනසකට ලක්ව තිබේ. මීට දශකයකට පමණ පෙර නීති විරෝධී ගබ්සාවක් සඳහා අය කරන ලද්දේ රුපියල් 800ක පමණ මුදලකි. අද වන විට ගබ්සා කිරීමේ ස්වභාවය මත මෙම මුදල රුපියල් 10,000ක් 20,000 සිට 50,000 හා ඊටත් අධික මුදලක් දක්වා වර්ධනය වී තිබේ. ඇතැම් නීති විරෝධී ගබ්සා ආයතනවල ගබ්සා කිරීම් සඳහා පැමිණෙන කාන්තාවන්ට නේවාසික ප‍්‍රතිකාර සඳහා ද අවකාශය උදා කර දී තිබෙනු හඳුනාගත හැකිය. එමෙන්ම දරු ගැබෙහි කාලය වැඩි වන විට ඒ සඳහා අය කරන මුදල ද ඉහළ යන අතරම එවැනි තත්ත්වයක පසු වන කාන්තාවකගේ ජීවිතය සම්බන්ධයෙන් පවතින අවදානම ද වැඩි වන බව පිළිගත යුතුය. අනාරක්‍ෂිත ගබ්සා කිරීම් නිසාවෙන් විවිධ අතුරු ඵලයන්ට ගොදුරු වීමට සිදු වේ. විවිධ රෝගී තත්ත්වයන්ට ලක්විය හැකි අතර අධික රුධිර වහනය නිසා මිය යාම වැනි භයානක තත්ත්වයන් ද ඇති විය හැකිය. අනාරක්‍ෂිත ගබ්සා කිරීම් නිසා මාතෘ මරණ ප‍්‍රමාණය 10%ත් 13%ත් අතර පවතින බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ. ප‍්‍රජනන පද්ධතිය ආශ‍්‍රිත රෝග ඇති වීම, ගර්භාෂය තුවාල වීම, මානසික අසහනය, දීර්ගකාලීන වමනය වැනි අතුරු ඵලයන්ට මෙන්ම එවැනි අතුරු ආබාධ ප‍්‍රතිකාර සඳහා යොමු වීමට පවතින නොහැකියාව, අධික බිය සහ ලැජ්ජාව, භාවිත කරන ලද ඖෂධ පිළිබඳ ඇති වන අනිසි බිය හේතු කොට ගෙන මානසික කම්පනය වැනි ගැටලූකාරි තත්ත්වයන්ට ද මුහුණ දීමට සිදු විය හැකිය. මෙවැනි තත්ත්වයන් නිසාවෙන් කාන්තාවන්ට සිදු වන අපහසුතාවන් පිළිබඳ අප අවධානය යොමු කළ යුතුය.  ගබ්සාව වැනි සමාජ ප‍්‍රශ්නයක් තුළින් කාන්තාවන් අවාසි සහගත තත්ත්වයන්ට ගොදුරු වන්නා සේම ව්‍යාජ වෛද්‍යවරුන් මෙවැනි සමාජ ගැටලූ තුළින් ප‍්‍රතිලාභයන් අත්පත් කරගැනීම කනගාටුවට කරුණක් වන්නේය. දරු ගැබක් යනු පිරිමියා හා ගැහැනිය යන පාර්ශ්වයන් දෙකක එකතුවකින් නිර්මාණය වන්නකි. නමුත් ගබ්සාවක් වැනි තත්ත්වයක දී ඒ සඳහා මුහුණ දීමට සිදු වන්නේ කාන්තා පාර්ශ්වයට පමණි. මෙය එක්තරා අයුරකින් කාන්තා හිංසනයේ තවත් එක් පැතිකඩක් නිරූපණය කරන බව ද පැවසිය හැකිය. කෙසේ නමුදු ගබ්සා කිරීම වැනි තත්ත්වයක අවදානම් සහගත බව කාන්තාවන් මෙන්ම අනෙකුත් පාර්ශ්වයන් ද දැනුවත් වීම වැදගත්ය. ගබ්සා කිරීම පිළිබඳ නිශ්චිත විසඳුමකට කාලය එළඹ තිබේ. මෙමගින් අර්ථවත් කෙරෙනුයේ ගබ්සාව නීතිගත කළ යුතුය යන්න නොවේ. කාන්තාවන්ට ඒ සඳහා යම් යම්  සීමාවන් යටතේ හෝ නිසි ප‍්‍රතිකාර ලබා ගැනීමට ඉඩ ප‍්‍රස්ථාව ලබා දිය යුතුය. ලංකාවේ උපත් පාලනය සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩ සටහන් ඉතා හොඳ මට්ටමක පවතිනු හඳුනා ගත හැකිය. ජනගහණ වර්ධන වේගය 1% වැනි අවම මට්ටමක පවතිනුයේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. ගබ්සාව වැනි තත්ත්වයන් කෙරෙහි කාන්තාවන් යොමු වනුයේ ඔවුන් තුළ ඒ පිළිබඳ පවතින නොසැලකිලිමත්භාවය නිසාය. අනාවරණයවී ඇති තොරතුරුවලට අනුව ගබ්සාව කෙරෙහි වැඩි වශයෙන් නැඹුරු වන්නේ විවාහක කාන්තාවන්ය. අවිවාහක හා ලිංගික අපයෝජනයන්ට ලක්වන කාන්තාවන් ගබ්සාව කෙරෙහි යොමුව ඇත්තේ ඉතාම අවම ප‍්‍රමාණයකිනි. මේ නිසා විවාහක පාර්ශ්වයන් අතර මේ පිළිබඳ මනා දැනුවත්භාවයක් පැවතිය යුතුය. ගබ්සා කිරීම වැළැක්විය යුතු අතර ඒ සඳහා පාදක වන අවස්ථාවන් ද වැළැකිය යුතුය. මේ සඳහා විවිධ ක‍්‍රියා මාර්ගයන්ට යොමු විය හැකිය. ලිංගිකත්වය හා ප‍්‍රජනන සෞඛ්‍ය සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩ සටහන් මෙහි දී මූලික වේ. පාසල් අධ්‍යාපනය තුළ ද විෂයික මට්ටමෙන් මෙම දැනුවත් කිරීම සිදු කළ යුතුය. එමෙන්ම මේ සම්බන්ධ උපදේශන සේවා විධමත් කළ යුතු වන්නේය. පවුල් සැලසුම් ක‍්‍රම විධිමත් කළ යුතු අතර ජනමාධ්‍ය මගින් ද මේ සඳහා සුවිශාල දායකත්වයන් ලබාගත හැකිය. විශේෂයෙන්ම කාන්තාවන්ට නිසි ගෞරවයන් ලබා දීමටත්, රැක බලා ගැනීමටත් අවැසිය යන හැඟීම මිනිසුන් තුළ ජනිත කිරීම වැදගත්ය.
සටහන: චංචලා දිලිනි පේ‍්‍රමරත්න, සුනේත‍්‍රා කුමාරි කරුණාරත්න
කැලණිය විශ්ව විද්‍යාලයේ  සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය වසන්තා සුබසිංහ