අලුත් අවුරුද්දට පෙර මෙරට කොරෝනා ආසාදිතයන් වාර්තා වීම තිබුණේ අතිශය අවම මට්ටමකය. එහෙත් අවුරුද්දෙන් පසුව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාත්මකව ඉහළ ගිය ආකාරය අපට නිරීක්ෂණය විය. ඒවා වාර්තා වූයේ පොකුරු හැටියටය. අලුත් අවුරුද්දට පෙර යාපනයෙන් එක් පොකුරක් වාර්තා වූ අතර එය පාලනය විය. ඉන්පසුව වාර්තා වූයේ කුරුණෑගල ඇඟලුම් කම්හල් කීපයක පොකුරුය. දහස් ගණනක් සේවය කරන එම කම්හල්වල සේවක පවුල්වලට රෝගය ආසාදනය වීම එහි දී අපට දකින්නට ලැබිණි.

අවුරුදු උත්සවවලට සහභාගී වූවන් විනෝද චාරිකාවලට සම්බන්ධ වූවන් ලෙසින් ද වාර්තාවන්නට පටන් ගත්තේය. අන් කාලවලට වඩා වාර්තා වන පිරිසේ සංඛ්‍යාත්මක ඉහළ යෑම මෙහි දී කැපී පෙනේ. එයින් කියවෙන්නේ ආසාදිතයකුගෙන් තවත් අයට රෝගය පැතිර යෑමට ඇති හැකියාව ඉහළ ගොස් ඇති බවය. කෙසේ වෙතත් මෙවරත් ආසාදිතයන් අප හඳුනාගනු ලබන පොකුරුවල ආශ්‍රිතයන්ගෙන් වාර්තා වෙද්දී ඊට පිටස්තරව වාර්තා වන සිදුවීම් ද තිබේ. මේ අයගෙන් රෝග ලක්ෂණ වැඩි අය වාර්තාවීම ද ප්‍රවණතාවකි. මෙම පිරිසට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසන කරුණු ද මෙහි දී අපගේ සැලකිල්ලට ගත යුතුය. වෛද්‍යවරුන් පවසන ආකාරයට මීට පෙර සාමාන්‍යයෙන් වයස අවුරුදු හැටට වැඩි අයට රෝගය ආසාදනය වීම වාර්තා වුණේ සියයට 10ක් පමණය. එහෙත් ඉතිරි සියයට 90 න් වැඩි පිරිසක දුටු පොදු ලක්ෂණය වූයේ ඔවුන්ගෙන් රෝග ලක්ෂණ නොපෙන්වීමය.

එහෙත් දැන් තත්ත්වය වෙනස් වෙලාය. එසේ වාර්තා වන අයගෙන් වැඩි පිරිසක් දැන් රෝග ලක්ෂණ පෙන්වති. ඔවුන්ගෙන් ඔක්සිජන් ලබා දිය යුතු දැඩිසත්කාර ඒකකයට යොමු කළ යුතු පිරිස ද වැඩි වී තිබේ. මෙයින් කියවෙන්නේ කොරෝනා වයිසරයේ හැසිරීම දැන් වෙනස් වී ඇති බවය. එසේම පී.සී.ආර්. පරීක්ෂණවල දුටු නිරීක්ෂණයක් වූයේ එංගලන්තයේ වාර්තා වූ වයිරස ප්‍රබේද ලක්ෂණය. එනිසා මේ පැතිර යන්නේ එංගලන්ත වයිරස ප්‍රබේදය යැයි මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර් යේෂණවලින් තහවුරු වී තිබේ.

ඉන්දියාවේ අප දකින තත්ත්වය සමග ශ්‍රී ලංකාව ගැන ද සමාජ සාකච්ඡාවක් ආරම්භ වී ඇති ආකාරය අපට දැකගත හැකිය. එය තීරණය වන්නේ සමාජ සංස්කෘතිය අනුවය. විශේෂයෙන්ම ඉන්දියාවේ තත්ත්වය මේ සා දරුණු වීමට බලපෑවේ කිසිදු සෞඛ්‍ය නිර්දේශයක් අනුගමනය නොකර එරට පැවැත් වූ ක්‍රිකට් තරග, ආගමික උත්සව සහ ගොවි විරෝධතාය. ජනයා මහා පරිමාණයෙන් වූ ඒකරාශි වීම් නිසා කොරෝනා රැල්ල අද වනවිට ඉන්දියාවේ සුනාමියක් වී ඇත්තේ කිසිදු පාලනයක් නැතිවය. ඉතින් අපට කොරෝනා අවදානම ගැන ගත හැකි හොඳම නිදසුන ද ඉන්දියාවයි. මෙරට ජනයාත් කිසිදු වගවිභාගයක් නොමැතිව සෞඛ්‍ය නිර්දේශ සැලකිල්ලට නොගන්නේ නම් අවදානමක් මතුවේ.

හඳුනා ගන්නා ආසාදිතයන් වහා රෝහල්ගත කර ආශ්‍රිතයන් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමුකිරීමේ ශීඝ්‍රතාව ඉහළ මට්ටමක පවත්වාගත හැකි නම් තවමත් ලංකාවේ අප සිටින්නේ කළමනාකරණය කරගත හැකි අදියරකය. මීට පෙර ද ආසාදිතයන් දහසක් වාර්තා වූ අවස්ථාවේ තත්ත්වය කළමනාකරණය කරගැනීමට අපට හැකිවිය. කෙසේ වෙතත් කිසිවකු හෝ අපෙන් සෞඛ්‍ය අංශයේ ධාරිතාව කොපමණදැයි ඇසුවහොත් ඊට රෝහලක ඇති ඇඳන් සංඛ්‍යාව ගණනය කරන්නා සේ පිළිතුරු දිය නොහැකිය. එය නිදසුනකින් මෙසේ කිව හැකිය. මෙරට කොරෝනා වයිරසය පැතිරීම ආරම්භ වනවිට එනම් 2020 ජනවාරි මාසය වනවිට කොරෝනා රෝගීන් සඳහාය කියා කිසිදු රෝහලක එක ඇඳක් හෝ වෙන්කර තිබුණේ නැත. එහෙත් රෝගීන් වාර්තාවීමත් සමග අපි ඔවුන් සඳහාම රෝහල් වෙන් කළෙමු. ඉන් පසුව 2020 ඔක්තෝබරයේ දෙවැනි රැල්ලක් එද්දී ඊට අවශ්‍ය සම්පත් තවත් ඉහළ දැම්මෙමු. මේ ආදී ලෙස රෝගීන් ඉහළ යද්දී ඊට පහසුකම් සපයන්නේ කෙසේද කියා අපට සැලසුමක් තිබේ. එහෙත් ඕනෑම අවස්ථාවක එම ධාරිතාව ඉක්මවා ආසාදිතයන් වාර්තාවීමේ හැකියාවක් නැතිවා නොවේ. මන්දයත් ලංකාවේ රෝහල්වල ඇඳන් පවතින්නේ යම් නිශ්චිත සංඛ්‍යාවක් නිසාය. එය ලංකාවට පමණක් නොව ලොව ඕනෑම රටකට පොදු තත්ත්වයකි. වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු මානව සම්පත සැලකුවත් එසේය. කෙසේ වෙතත් පවතින සම්පත්වලින් නිවාඩු නොගෙන රාජකාරි කර හෝ උපරිම සේවයට කැපවීමට අපේ සෞඛ්‍ය අංශය සූදානම්ය.  

කොරෝනා යනු ගෝලීය වසංගත තත්ත්වයක් නිසා මුළු ලෝකයම එය පාලනය කරනතුරු අප ආරක්ෂිත යැයි කියන්නට බැරිය. ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ද කොරෝනා සමග තවත් වසර කීපයක් ජීවත් වීමට අපට සිදුවනු ඇති බවය. රෝගීන් වාර්තා නොවන තත්ත්වයක දී වුවද අපට කොරෝනා මර්දන ක්‍රියාවලිය අත්හැර යා නොහැකි බව සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් අවධාරණය කළේ එහෙයිනි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වූ ආකල්ප ලිහිල්වීමක් පසුගිය කාලයේ දී අපි දුටුවෙමු. එය එසේ නොවූයේ නම් මේ තරම් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ නැත. මේ දිනවල වාර්තා වන ඇතැම් ආසාදිතයෝ පසුගිය සමයේ අවුරුදු උත්සවවලට සහභාගී වූවෝය. නැතිනම් පවුල් පිටින් විනෝද චාරිකා ගිය පිරිස්ය. මේ පිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශ අමතක නොකළේ නම් ඔවුන් පමණක් නොව තවත් සිය ගණනකට රෝගය පැතිර යාම වළක්වාගත හැකිව තිබිණ. මීටරයක දුර පවත්වාගන්නැයි ද මුහුණු ආවරණ පළඳින්නැයි ද අප කීව ද පසුගිය කාලයේ මේ පුරුදු ආරක්ෂා වුණේ නැත. විවිධ ප්‍රිය සම්භාෂණ සාමාන්‍ය පරිදි පවත්වා තිබුණේය. යළි ආරම්භ වූ කන්තෝරුවල කම්හල්වල බොහෝ පිරිස් ආහාර ගෙන තිබුණේ එකටය.

එකම කම්හලේ තැන් දෙකක සේවය කළ ඇතැමුන්ට රෝගය ආසාදනය වී තිබුණේ දිවා විවේකයේ එක ළඟ සිට ආහාර ගැනීමෙනි. සමීපයේ සිට ආහාර ගැනීමේ දී මුහුණු ආවරණ ගලවන නිසාත් එකිනෙකා කතාබහ කරන නිසාත් ඉතා පහසුවෙන් රෝගය පැතිර යා හැකිය. එමෙන්ම රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයන් වහාම සිය ප්‍රධානීන්ට ඒ බව දන්වා කඩිනමින් සෞඛ්‍ය අංශවල සේවය ලබාගන්නේ නම් මෙම රෝගය පැතිර යාම වළක්වාගත හැකිය. එක්තරා රාජ්‍ය බැංකුවක කොරෝනා පැතිර ගියේ රෝග ලක්ෂණ පෙන්වද්දී ද එය නොතකා සේවයට වාර්තා කිරීමෙනි. එසේම මෑන් පවර් හා වෙනත් ආකාරවලට අවිධිමත් ලෙස සේවයට සම්බන්ධ කරගන්නා ශ්‍රමික පිරිස ද ලංකාවේ ඉහළය. සේවය ලබාගන්නේ කවර ආකාරයෙන් වුවද සේවකයන්ගේ සෞඛ්‍ය ගැන උනන්දු වී වාර්තා තබා ගනිමින් අවශ්‍ය අවස්ථාවල දී ඔවුන් පරීක්ෂණවලට යොමුකිරීම සේව්‍යයන්ගේ ද වගකීමයි.

කොරෝනා වසංගතයේ දරුණුවීම සමග මේ වනවිට ලොව පුරාම එන්නත්කරණයට ඇත්තේ විශාල ඉල්ලුමකි. මේ යෝධ ඉල්ලුමට සැපයුම් කිරීමට අවශ්‍ය තරමින් නිෂ්පාදන සිදුවන්නේ නැත.

මේ නිසා නිෂ්පාදන බෙදාහැරීමේ සීමා දැන් පැන නැගී ඇත. නිදසුනකට ඇමෙරිකාවේ නිෂ්පාදන භාවිත කරන්නේ ඇමෙරිකානුවන්ටය. යුරෝපා කලාපය ගත්තත් ඉන්දියාව ගත්තත් දැන් තත්ත්වය එසේය. ඉන්දියාවට මේ වනවිට සිය නිෂ්පාදන පවා ප්‍රමාණවත් නොවන නිසා වෙනත් රටවලින් එන්නත ලබා ගැනීමට සිදුව තිබේ. එනිසා ඉන්දියාවෙන් ලංකාවට එන්නත් ලැබෙන කාලයක් ගැන සහතික දිය නොහැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රමුඛව කොවැක්ස් පහසුකම යටතේ පොදු බෙදාහැරීමකට කළ උත්සාහය ද දැන් තිබෙන්නේ අතරමගය. එය ශ්‍රී ලංකාවට ද බලපෑවේය. එනිසා අපට හැකියාව ලැබුණේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දහයකට පමණ එන්නත ලබා දෙන්නටය. එය මෙරට එන්නත ලබාදිය යුතු පිරිසෙන් සියයට 5කි. එය ලෝක තලයේ දී හොඳ මට්ටමකි. මේ අතර සයිනොෆාම් එන්නත ලක්ෂ හයක් අපට ලැබී ඇති නමුත් එය භාවිතය පමා වී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි නොවීම හා ආරක්ෂක දත්තවල කිසියම් ගැටලුවක් නිසාය. කෙසේ වෙතත් මේ සතිය අවසන් වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය යම් තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කරන අතර එසේ වුවහොත් එයින් තවත් ලක්ෂ තුනක පිරිසකට එන්නත ලබා දීමට හැකියාව ලැබේ. රුසියාවේ ස්පුට්නික් එන්නත සඳහා කළ සාකච්ඡාව ද සාර්ථක වී ඇති අතර ඉතා ඉක්මනින් එය ලැබෙනු ඇත. ඒ අතරේ ෆයිසර් එන්නත ලබා ගැනීමට ද අවශ්‍ය කටයුතු කෙරෙමින් තිබේ. එවිට අපේ ප්‍රමුඛතා අනුපිළිවෙළ අනුව ඉලක්කගත ජනගහනයට එන්නත ලබාදීමට අපට හැකිය.

පළමු එන්නත ලබාගත් පිරිසට දෙවැනි එන්නත ලබාදීම ගැන ද යම් සාකච්ඡාවක් තිබේ. මෙය අප විද්‍යාත්මකව බැලිය යුතු කරුණකි. පුද්ගලයකුට කොරෝනාවට එරෙහිව පූර්ණ ප්‍රතිශක්තිය ලැබීමට නම් එන්නත් දෙකක් දිය යුතුය. පළමු එන්නතින් ප්‍රතිශක්තිය ලැබුණත් සති දොළහක් පමණ යද්දී එය ක්‍රමානුකූලව වියැකේ. එවිට රුධිරයේ ප්‍රතිදේහ අඩු වේ. එහෙත් අපේ සෛලවල ගබඩා වී ඇති මතකය හේතුවෙන් වයිරසය පැමිණියහොත් එම මතකය ඔස්සේ නැවත ප්‍රතිදේහ නිෂ්පාදනය වීමක් සිදුවේ. එහෙත් මෙම ක්‍රියාවලිය තරමක් මන්දගාමීය. අප දෙවැනි එන්නතක් ලබාදෙන්නේ මේ නිසාය. පළමු එන්නත දුන් පසු ප්‍රතිශක්තිය පූර්ණ ලෙස ලබාගැනීමට හොඳම කාලය සති හතර යැයි මුල දී සොයාගෙන තිබූ නමුත් පසුව එය සති දොළහක් යැයි වෙනස් විය. රජය දෙවැනි එන්නත සති දහයත් දොළහත් අතර කාලයේ දී ලබාදෙන්නට තීරණය කළ නමුත් අතුරු ආබාධ ආදී කාරණා සමග එය සති දාහතරක් බවට තීරණය කළේය. බෝ නොවන රෝග පිළිබඳ උපදේශන කමිටුව මේ ගැන විශේෂයෙන් සාකච්ඡා කළ අතර අවදානම් ප්‍රමුඛතාව අනුව මෙම සතියේ දී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා දෙවැනි එන්නත ලබා දිය යුතු බවට තීරණය කළේය.

අප මෙසේ කියන විට සති දොළහකින් දෙවැනි එන්නත ලබා නොගතහොත් කුමක් වන්නේදැයි පැනයක් මතු වනු ඇත. එවැන්නන්ගේ ප්‍රතිශක්තියේ අඩුවීමක් වන නිසා සමස්ත වයිරසයට ගොදුරුවීමක් විය හැකිය. එක් එන්නතක් ලබා දී ඇති නිසා රෝගය දරුණු ආකාරයෙන් පීඩාකිරීමක් නොවනු ඇත. කෙසේ වෙතත් අදාළ පුද්ගලයාගෙන් වෙනත් අයට බෝවීමට හැකිය. එයින් කියන්නේ අපේ අපේක්ෂාව ඉටු නොවන බවය. එහෙත් පමා වී හෝ අදාළ තැනැත්තන්ට දෙවැනි එන්නත ලබාදුන් විට දුර්වලතා අකාමකා දමා ප්‍රතිශක්තිය ඇතිවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පමා වී හෝ එන්නත ලබා දෙන්නැයි කියන්නේ ඒ නිසාය. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් තොග කළමනාකරණය ගැන කියන දේද වැදගත්ය. එයින් කියන්නේ රටේ තත්ත්වය තක්සේරු කරන්නැයි කියාය. නිදසුනකට ඉන්දියාව වැනි රටක දී දෙවැනි එන්නත ලබා දීමට හැකිවන කාලය ගැන නොසිතා හැකි උපරිම පුද්ගලයන් ගණනකට පළමු එන්නත දීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයයි.

සිංහල හින්දු අලුත් අවුරුද්දට රට වසා තැබිය යුතුව තිබුණා නොවේදැයි ඇතැම්මු අසති. එය ද එක් ක්‍රමයකි. එහෙත් එවැනි ක්‍රමයකින් රට පවත්වාගෙන යා හැකිද කියාත් අපට සිතන්නට සිදුවේ. රටක මානසික සෞඛ්‍යය මෙන්ම ආර්ථික ක්‍රියාවලිය කියා ද දෙයක් තිබේ. රස කැවිලි, රතිඤ්ඤා සිට රෙදිපිළි ඇතුළුව විශාල ආර්ථිකයක් සිංහල අලුත් අවුරුද්ද වටා බැඳී පවතී. යැපෙන්නෝ ලක්ෂ ගණනක් සිටිති. ඇත්තටම ප්‍රශ්නය තිබෙන්නේ රට වසා දැමීමෙහි නොව මිනිසුන්ගේ ස්වයං විනයේය. පළමු රැල්ල අවස්ථාවේ රට වසා දැමීමෙන් සමස්ත සමාජය මත එල්ල වූ පීඩනය අපි හොඳින් දුටුවෙමු. එනිසා එවැනි තීරණ ගන්නට සිදුවන්නේ අවදානම් තක්සේරු කර හොඳින් සිතා මතාය. නිදසුනකට උතුරු කොරියාවට විදේශයන්ගෙන් පැමිණෙන තැනැත්තෝ දින තිහක නිරෝධායනයට ලක් කෙරෙති. දැන් අපේ රටේත් එසේ කළහොත් අවදානම සැලකිය යුතු ලෙස අඩු කරගත හැකි වනු ඇත. එහෙත් එය අප වැනි රටකට කළ හැකි දෙයක් නොවේ. ප්‍රායෝගිකව සිතා තීන්දු ගන්නට වන්නේ මේ නිසාය.

පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාත්මකව ඉහළ දමන්නැයි මතුරන මැතිරිල්ල ද මා දකින්නේ එසේය. මේ වසංගතයේ පසුබිම ගැන නිසි අවබෝධයකින් තොරව අඳබාලයන් විසින් කියනු ලබන කතාවකට වැඩි දෙයක් එහි නැත. චීනයේ ඇතැම් අවස්ථාවල එක සිදුවීමක දී මුළු පළාතක් වසා මිලියන ගණනින් පී.සී.ආර්. පරීක්ෂණ කරයි. එහෙත් එසේ කළාය කියා වැය කරන මුදලට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැත. අප කෙතරම් කැමැති වුණත් නැතත් ශ්‍රී ලංකාව යනු මධ්‍යම ඌන සංවර්ධිත රටකි. එවැනි රටකට වැය කළ හැකි සම්පත් හා විදේශ විනිමය ප්‍රමාණයක් තිබේ. අප ඒවා පාවිච්චි කළ යුත්තේ උපරිම ඵලදායිතාවෙනි. අප පී.සී.ආර්. පරීක්ෂා කරන්නේ ඉලක්කගතවය. එසේය කියා නිරෝධායනය අවසන් කරන්නන් හෝ විදේශයන්ගෙන් පැමිණෙන්නන් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් නොකර සිටින්නේ නැත. ආශ්‍රිතයන් මෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නෝ ද පරීක්ෂණයට යොමු කෙරෙති. එමෙන්ම අහඹු පරීක්ෂණ ද කරන්නෙමු. මිනුවන්ගොඩ, යාපනය, කුරුණෑගල කොරෝනා පොකුරු ඇතුළුව එකි නොකී පොකුරු රැසක්ම හඳුනාගත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එසේ බලද්දී සෞඛ්‍ය අංශය අවශ්‍ය තීරණ ගන්නේ තාර්කිකව සංඛ්‍යා දත්ත මත පිහිටාය. ජනතාව තමන්ගේ පැත්තෙන් සිය වගකීම ඉටුකරන්නේ නම් එය ඉතා වටී.

 

(***)
(සාකච්ඡා සටහන - බිඟුන් මේනක ගමගේ)