පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග කලින් සැලසුම් කළ පරිදි පැවැත්වීම සැක සහිත යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසී යැයි සඳහන් පුවතක්  අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

කොරෝනා මාරක වසංගතයේ බරපතළම බලපෑම වර්තමානයට නොව අනාගතයටය. අප ප්‍රවෘත්තිය එයට කදිම සාක්ෂියකි. උසස් පෙළ 2021 විභාගය නොවැම්බර්  මස 15 වැනිදා සිට දෙසැම්බර් මස 10 වැනි දින දක්වාත් සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ පෙබරවාරි මස 21 වැනි දින සිට මාර්තු මස 21 වැනි දින දක්වාත් පැවැත්වීමට කලින් සැලසුම් කර තිබිණි. එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ එම සැලසුමට අනුව විභාග පැවැත්වීම සැක සහිත බවය.

සියල්ලටම ඉහළින් ජීවිතය වඩාත් වැදගත් බව ඒකාන්ත සත්‍යයකි. විභාග සමත්වීමට පළමුව ජීවත්වී සිටිය යුතුය. කොරෝනා වගුර බොහෝ සෙයින්  කැළඹෙමින් තිබේ. එහි ස්වභාවය කුමක් විය හැකිදැයි පුරෝකථන හැකියාවෙන් එපිටය. තවමත් කොරෝනා මරණ දිනකට 200කට ආසන්නය. තුන් දහසකට ආසන්න ආසාදිතයන් පිරිසක් දිනකට හඳුනා ගැනේ. කොරෝනා පොකුරු පිපෙන වේගයට පරවෙන සෙයක් නොපෙනේ. ඊට අමතරව කොරෝනා ප්‍රබේදයේ විකෘතිතා සම්බන්ධ අනතුරු ඇඟවීම් එකක් පසුපස එකක් වශයෙනි. උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත්වලට අනුව පරිස්සමෙන් ජීවත්වීම නිර්දේශ වී ඇති එකම විකල්පය වේ.

කොරෝනා දෙවැනි රැල්ල ගංවතුරක් මෙන් ගම් නගර නියම්ගම් ජනපද සිසාරා ගලා යමින් බිහිසුණු චිත්‍රයක් රට හමුවේ මවා පා තිබියදීත් ලක්ෂ තුන හමාරකට වැඩි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් අපොස උසස් පෙළ විභාගයට මුහුණ දුන්හ. ජාතියේ වාසනාවට ‘උසස් පෙළ පොකුරු’ මතු නොවීය. එබඳුම පරිසරයක පහ වසර ශිෂ්‍යත්වය විභාග ද පැවැත්විණි. කිසිදු අනතුරක් එහිදී ද මතු නොවීය. උපරිම සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන්නේ නම්   අනතුරු නොකැඳවා අරමුණු කරා යා හැකි බවට එය කදිම නිදසුනකි.

කොරෝනා පහව යන දිනයක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද මුනිවත රකී. ඒ මෙම වසංගතයේ ස්වභාවය නිසාය. ඇතැම් සෞඛ්‍ය විශේෂඥයන්ගේ අනුමානය කොරෝනා තුරන්වීම සඳහා තව වසර දෙක තුනක් බලා සිටීමට සිදුවන බවය. සිය වසකට පමණ පසුව පැමිණි කොරෝනා වසංගතය අප රටටත් ලෝකයටත් කර ඇති බලපෑම එපරිදිය. මෙම පරිසරය තුළ කුමක් කළ යුතු ද යන්න සම්බන්ධයෙන් ගැඹුරු සාකච්ඡාවක් ඇතිවිය යුතුමය.

රටක පදනම අධ්‍යාපනය වේ. සාහිත්‍ය කලාව විද්‍යාව තාක්ෂණය, ආර්ථිකය සහ සංස්කෘතික ඇතුළු සෑම ක්ෂේත්‍රයකම ප්‍රගමනයේ තීරකයා අධ්‍යාපනය වේ. එම අධ්‍යාපනය කඩාකප්පල්වීම යනු පතුළ නොපෙනෙන මහා ප්‍රපාතයකට රට තල්ලුවීමකි. රටකට අත්වීමට ඊටත් එහා ගිය විනාශයක් නැත. බොහෝ රටවලට මෙන්ම අප රටට ද අත්වෙමින් තිබෙන්නේ එම  විනාශය වේ. එම විනාශය අත් වූ කොරෝනා වලින් තොර රටක් වුව ද අරුතක් නැත. මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු වන්නේ එහෙයිනි.

අප රට යනු අභියෝග ඉදිරියේ පසුබාගිය රටක් නොවේ. අප රටට ‘අභියෝග’ යනු ‘අවස්ථාවක්’ විය. කොරෝනා අභියෝගය ද අප අවස්ථාවක් බවට පත්කර ගත යුතුය. ඒ සඳහා අවශ්‍ය ශක්තිය හා අධිෂ්ඨානය අප සතුය. මෙබඳු මාරාන්තික වයිරසයක් ඉදිරිපිට අතපය වකුටුකර ගුලිවී සිටීම වෙනුවට සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යාමට විධිමත් පරිසරයක් සකස් කර ගත යුතුය. එසේ නොමැතිව දෙදහස් පන්සිය වසරක ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් සම්බන්ධයෙන් පාරම් බෑමෙන් පමණක් ප්‍රයෝජනයක් නැත.

මේ මොහොතේ දී තීන්දු තීරණ ගත යුත්තේ මොළයෙනි. සෞඛ්‍ය ක්ෂේත්‍රයත් අධ්‍යාපන ක්ෂේත්‍රයත් ඒකාබද්ධ කළ විධිමත් යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. කොරෝනා මාරාන්තික වයිරසය සම්බන්ධයෙන් තමන්ගේ ක්ෂේත්‍රයට අදාළ ඇසින් පමණක් බලන්නේ නම් නිවැරදි පින්තූරය නොපෙනෙනු ඇත. සමස්තය දෙස බැලිය යුත්තේ ප්‍රායෝගිකවය. රට වැසීම මෙම ප්‍රශ්නයට ඇති එකම විසඳුම යැයි යමකු කියන්නේ නම් එය ප්‍රායෝගික නැත. අවශ්‍ය කරන්නේ රටක් විවෘතව තබා ගනිමින් සාමාන්‍ය ජන ජීවිතය ද පවත්වාගෙන යා හැකි වටපිටාවකි. එය පහසු නැත. සෑහෙන කැප කිරීම් කළ යුතුය. එහෙත් මිල කීය වුව ද රටේ හෙට දවස ගැන අවධානය යොමු කළ යුතුය.

විභාග පැවැත්වීම පහසු කාර්යයක් නොවේ. අදාළ විෂය නිර්දේශ ආවරණය කර තිබිය යුතුය. ඒනිසාම ගුරු ප්‍රජාව සතුව මේ මොහොතේ අති මහත් වගකීමක් තිබේ. සෞඛ්‍යාරක්ෂිතව විභාගවලට මුහුණ දීම සඳහා දරුවන් උනන්දු කරවීම ගුරු ප්‍රජාවගේ වගකීමය. සියල්ලන්ම  තම තමන්ගේ වගකීම් නිසි පරිදි හඳුනාගෙන කටයුතු කරන්නේ නම් අපට ජයගත නොහැකි අභියෝගයක් නොමැති බව දැඩිව අවධාරණය කළ යුතුය.

(***)