IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


කළු කඩ ජාවාරමට විසඳුමක් නැද්ද?

අර්බුදකාරී ආර්ථික පරිසරයක් රට තුළ නිර්මාණය වී ඇති බව නොරහසකි. රටේ ආර්ථිකය මෙහෙයවන බොහෝ දෙනා නොදකින, නොපිළිගන්නා සංකීර්ණ ගැටලු‍ ගණනාවක් මහපොළොවේ යථාර්ථයක් බවට පත් වී තිබේ. මෙහිදී වාණිජ සහ ආර්ථික අංශයේ ක්‍රියාත්මක වන ඇතැම් මජර වැඩ නිසා ජනතාව සිටින්නේ බලවත් පීඩාවකිනි. දිනෙන් දින ඉහළ යන භාණ්ඩ මිල ගණන් මෙන්ම භාණ්ඩ සහ සේවාවන්ගේ හිඟය ජනතාව මුහුණදෙන ප්‍රමුඛතම ගැටලු‍ අතර මුලටම පැමිණ තිබේ. ජනතාව ඉල්ලන තරමට භාණ්ඩ සහ සේවා සැපයුමක් සිදුනොවන නිසා මිල ඉහළ යාම ඉබේම සිදුවන්නකි. ආර්ථික විද්‍යාවේ ඉතා සරල න්‍යායක් වන ඉල්ලු‍ම් සැපයුම් තත්ත්වය ඔස්සේ මිල තීරණය වන බව කුඩා දරුවකු වුවද දන්නා කරුණකි.

භාණ්ඩ හා සේවාවන් හිඟවන විට හටගන්නා එකම ප්‍රතිඵලය මිල ඉහළ යාම පමණක් නොවේ. භාණ්ඩ හිඟය සමඟ නිර්මාණය වන කළුකඩ ක්‍රමය බෙහෙවින් පීඩාකාරීය. එම අත්දැකීම මෙරට වත්මන් සමාජය දැන් අත්දකිමින් සිටියි. අපට අසන්නට දකින්නට ඇති ආකාරයට රටේ කළුකඩ ගණනාවක් දැන් ප්‍රසිද්ධියේම ක්‍රියාත්මක වෙයි.

මෑතකදී මුලින්ම කළුකඩය සක්‍රිය වූයේ රටේ විනිමය වෙළෙඳපොළ තුළය. ඩොලර් හිඟය ඇතිවන විට ඩොලර් අලෙවිය කළුකඩය විසින් අනියමින් පාලනය කරන්නට පටන් ගත්තේය. ඒ සමඟ රටේ විනිමය අනුපාත ගණනාවක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී. ඉන් පළමුවැන්න මහ බැංකුව විසින් වාණිජ බැංකුවලට නියම කරන නිල විනිමය අනුපාතයයි. එය අද අමෙරිකානු ඩොලරයට රුපියල් 204ක් හෝ 205 කි. ඒ සමඟ තවත් විනිමය අනුපාතයක්ද මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ විදේශිකයන් මෙරටට එවන මුදල් වෙනුවෙනි. එහිදී ඩොලරයකට අමතරව රුපියල් දහයක් එක්කොට ඩොලරයකට රුපියල් 214ක් හෝ රුපියල් 215ක් ගෙවනු ලැබේ. මෙම විනිමය අනුපාත දෙකට අමතරව කොළඹ විනිමය කළුකඩය විසින් තවත් විනිමය අනුපාතයක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව ඩොලරයක වටිනාකම මේ සතිය වන විට රුපියල් 247කි. මෙම කළුකඩයේ බැංකුවල නැති ඩොලර් ඕනෑ තරම් ගබඩා කරගෙන තිබේ. විදේශ රැකියාවල නියුතුවන්නෝද අද බැංකුවලට ඩොලර් නොඑවා කළු කඩයෙන් වැඩි මිලක් ලබාගනිති. ඒ සමඟ රටේ උග්‍ර ඩොලර් හිඟයක් හටගෙන තිබේ. 

ඩොලර් කළුකඩයට අමතරව පොහොර, සිමෙන්ති, සහල්, කිරිපිටි ඇතුළු බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා රට තුළ දැන් කළුකඩ ක්‍රියාත්මකය. පසුගිය කාලයේ ගෑස් හිඟය නිසා කළුකඩය ගෑස් වෙළෙඳාමටද බැස තිබිණි. දැනට පවත්නා ඇතැම් බෙහෙත් වර්ගවල හිඟය හේතුවෙන් හෙට අනිද්දා වනවිට බෙහෙත් ඖෂධ සඳහාද කළුකඩයක් නිර්මාණය නොවුණහොත් පුදුමය. 

කළුකඩ පාලනය කොට රටේ සාධාරණ වෙළෙඳ පරිසරයක් ඇතිකිරීම සඳහා ආයතන රුසක්ද නීති අණ පනත් ගණනාවක්ද ක්‍රියාත්මකය. පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය, ප්‍රමිති ආයතනය, මහ බැංකුව ආදී ආයතන ගණනාවකට මේ සම්බන්ධව නොයෙක් බලතල නීතියෙන් පවරා ඇත. එම බලතල හා නීති තිබියදීම කළුකඩය ජයටම ක්‍රියාත්මක වෙමින් පවතී. මෙයින් බලවත් පීඩාවට පත් ජනතාවට අද සමහර භාණ්ඩ හා සේවා මිල ගණන් දරාගන්නට අසීරු වී අන්ත අසරණභාවයට පත්ව සිටිති.

ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සුලභ නොවීම, නීති මගින් කළුකඩය පාලනය නොවීම ආදී ගැටලු‍ ගැන රට කරවන බලධරයන්ට අවබෝධයක් ඇතත් ඔවුන් මේ සම්බන්ධයෙන් විධිමත් පියවර ගන්නේද යන්න ප්‍රශ්නයකි. පසුගිය කාලයේ හටගත් කොරෝනා ව්‍යසනය නිසා රටේ ආදායම අහිමි වෙද්දී ඊයේ පෙරේදා හටගත් යුක්‍රේන අර්බුදය නිසා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන ඇතුළු බොහෝ භාණ්ඩ වර්ගවල මිල අධික ලෙස ඉහළ යමින් තිබේ. එවැනි අපට පාලනය කළ නොහැකි සාධක ඇතත් රටේ මීට වඩා සාධාරණ වෙළෙඳ පරිසරයක් ඇතිකිරීමේ වගකීම රජය සතු බව අවධාරණය කරනු වටී. 

රටේ පවත්නා නීතිය අනුව මූල්‍ය පාලනයේ බලතල ඇත්තේ පාර්ලිමේන්තුවටයි. නීති සම්පාදන බලය ඇත්තේද පාර්ලිමේන්තුවටයි. එබැවින් පාර්ලිමේන්තුවෙන් පවත්නා තත්ත්වය සමනය කිරීමට කිසියම් විකල්ප වැඩපිළිවෙළක් සම්පාදනය විය යුතුය. ඒ සමග රටේ අත්‍යවශ්‍යම භාණ්ඩ හා සේවාවන් මෙයට වඩා සුලභ කිරීමටද රජය පියවර ගනු ඇත යන්න ජනතා අපේක්ෂාවය. එලෙස භාණ්ඩ හා සේවා සුලභ කළහොත් දැනට නිර්මාණය වී තිබෙන කළුකඩ බොහොමයක් වැසී යනු ඇත.

විශේෂයෙන් රටට බලපාන ඩොලර් හිඟය අද බලශක්ති අර්බුදයක් බවට පත්ව තිබේ. එය ජනතාව පිට කඩා වැටුණු තවත් මරාලයකි. ආර්ථික ප්‍රශ්නවලින් පීඩාවට පත්ව සිටින මිනිසුන්ගේ නිවෙස්වලට සැපයෙන විදුලියද කප්පාදු වනවිට ජනතාව මෙම අවනඩුව කියන්නේ කාටද? එනිසා අද රටේ පවත්නා දැවැන්ත අර්බුදය ගැන ජනතාවද ඒ ඒ දේශපාලන පක්ෂවල නායකයන්ද ගැඹුරින් තේරුම් ගත යුතුය. ජනතාව වඩාත් සකසුරුවම්කාරී අරපිරිමැසුම්දායක ජීවන රටාවකට හුරුවීම ඉතා වැදගත් කරුණකි. එසේම පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් කවුරුත් මෙම සංකීර්ණ අර්බුදය ආණ්ඩුවක ප්‍රශ්නයක් නොව රටේ ප්‍රශ්නයක් හැටියට සලකා ක්‍රියා කළහොත් සමාජයට කිසියම් සැනසිල්ලක් භුක්ති විඳින්නට අවකාශ සැලසෙනු ඇතැයි සිතේ.



අදහස් (0)

කළු කඩ ජාවාරමට විසඳුමක් නැද්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 143 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 989 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site