ලංකාවේ ඉදිරි ආර්ථික සංවර්ධන ක‍්‍රමෝපායය ”කැසිනෝ” ව්‍යාපාරය ලෙස වත්මන් රාජපක්‍ෂ ආණ්ඩුව සමාජගත කරමින් සිටී. ආණ්ඩුවේ බහුතරයක් ඊට පක්‍ෂව කරුණු දක්වමින් සිටින අතර හෙළ උරුමය ඇතුළු සුළුතරයක් ඊට විරුද්ධත්වය ප‍්‍රකාශ කරමින් සිටී. රට තුළ කැසිනෝ ව්‍යාපාරයට එරෙහිව ඇති ඇල්මැරුණු විරෝධය හමුවේ ආණ්ඩුව විටෙක අඩියක් පසුපසට ගනිමින් ද නැවතත් අඩි දෙකක් ඉදිරියට තබමින් ද තමන් නිතිපතා විහිදුවා හරින මාධ්‍ය මෙහෙයුමේ ආරක්‍ෂාව හා ආශිර්වාදය මැද දිය යටින් වේගයෙන් ඇදී යන දිය වැලක් සේ මතුපිටට නොපෙනෙමින් ක‍්‍රමිකව එහෙත් වේගයෙන් ඇදී යයි.
ආණ්ඩුවෙන් උලූප්පා දක්වන එකම කරුණ වන්නේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කොට එමගින් වැඩි විදේශ විනිමයක් අත් කරගැනීම සඳහා ඇති ප‍්‍රධානතම හා පහසුම මග වනුයේ මහා පරිමාණ කැසිනෝ හල් පිහිටුවා ලොව ප‍්‍රසිද්ධ කැසිනෝ අන්තුවන්ට ලංකාවේ දොරගුළු හැර දැමීම බවයි. ඊට සාක්‍ෂි ලෙස දක්වනුයේ දැනටමත් කැසිනෝ ව්‍යාපාරය පිහිටුවා ඇති රටවල් ආර්ථික වශයෙන් විශාල ප‍්‍රතිලාභ ලබන බවයි.



මෙහි දී පිළිතුරු සොයාගත යුතු බරපතළ කාරණා කිහිපයක්ම මතු වෙයි.


1. ශ්‍රී ලංකාවේ ආදායම වැඩි කරගැනීමට ඇති එකම මග සංචාරක ව්‍යාපාරය ද?
2. ලෝකයේ සංචාරක ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යන රටවල කැසිනෝ ව්‍යාපාරය ද ක‍්‍රියාත්මක වන්නේ ද?
3. ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කළ හැක්කේ කැසිනෝ හඳුන්වා දීමෙන්ම පමණක් ද?
4. ආණ්ඩුව ලංකාව තුළ ”කැසිනෝ” ව්‍යාප්ත කිරීමෙන් බලාපොරොත්තු වන ලංකාවේ ආදායම ඉහළ නැංවීම යථාර්ථයක් ද?
5. ලෝකයේ කැසිනෝ ව්‍යාපාරය පවත්නා රටවල ”කැසිනෝ” ව්‍යාපාරිකයන්ට බදු සහන සලසා තිබේ ද?

 


ලෝකයේ පිළිගත් රටවල් 193න් බොහොමයක් රටවල සංචාරක ව්‍යාපාරය ද එක් ප‍්‍රධාන ආදායම් මාර්ගයකි. එහෙත් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා කැසිනෝ ව්‍යාපාරය තම රට තුළ පිහිටුවීමට ඉඩ ලබා දී ඇත්තේ ඉන් රටවල් අතලොස්සක් පමණි. එසේ ඉඩ දී ඇත්තේ ද ඉතා දැඩි කොන්දේසි හා සුපරික්‍ෂාකාරී නියාමන ක‍්‍රමවේද යටතේය.

අපේ අසල්වැසි මහා රාජ්‍යය, ඉන්දියාව තුළ ”කැසිනෝ” සපුරා තහනම්ය. එහෙත් ඔවුන් සංචාරක කර්මාන්තය ඔස්සේ ඉතා විශාල ආදායමක් ලබමින් සිටී. ලෝකයේ වැඩිම සංචාරකයන් පිරිසක් ඇදී එන ප‍්‍රධානතම රටවල් දහය අතර පසුගිය තිස්පස් වසර තිස්සේම රැුඳී සිටින චීනයේ ද කැසිනෝ ව්‍යාපාරය සපුරා තහනම්ය. වේගයෙන් ඉහළ ආර්ථිකයක් පෙන්වන අසල්වැසි කුඩා රාජ්‍යය මාලදිවයිනේ තත්ත්වය ද එලෙසමය. 1978 වසරේ දී මුවම්මර් අබ්දුල් ගයුම් ජනාධිපති ලෙස පත්වී  බලයට ආ විගසම රටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ ඉඩකඩ සොයා බැලූවේය. ඒ සඳහා උපදෙස් ලබාගනු පිණිස එංගලන්තයේ විද්වත් මණ්ඩලයකට තම රටට පැමිණෙන්නැයි හෙතෙම ආරාධනා කළේය. සති ගණනාවක් කරුණු සොයා බැලීමෙන් පසු ඔවුන් අබ්දුල් ගයුම්ට දුන් උපදෙස් වූයේ ප‍්‍රමාණවත් භූමියක් එක තැනෙක නැති බැවින් ද දුපතෙන් දුපතට යාමට ඔරු හෝ බෝට්ටු සේවයක පිහිට පතන්නට වන බැවින් ද සංචාරක කර්මාන්තය එරට තුළ ස්ථාපිත කිරීම ප‍්‍රායෝගික නොවන බවයි. අබ්දුල් ගයුම් උත්සාහය අත්හැරියේ නැත. හෙතෙම දෙවැනි වර ඉතාලි ජාතික සංචාරක ව්‍යාපාරයේ උපදේශක කණ්ඩායමකට ආරාධනා කළේය. ඔවුනගේ නිගමනය වූයේ ”පෞද්ගලිකත්වය” (Privacy)රැකෙන පරිදි සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ලොව පුරා ධන කුවේරයන් ඉලක්ක කරගනිමින් මාලදිවයිනේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ඉතා පුළුල් අවස්ථාවක් ඇති බවය. ඒ සංකල්පය ඔස්සේ සංචාරක කර්මාන්තය ආරම්භ කොට  ඉතා සාර්ථක ප‍්‍රතිඵල නෙළාගත් නමුදු ඔවුන් කිසි විටෙකත් ”කැසිනෝ” නමැති බූවල්ලාට තම රටේ දේශයේ සාරය උරා බීමට ඉඩ තැබුවේ නැත. පසුගිය 2012 වසරේ මාලදිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 9,58,000කි. එය, එම වසරේම පිටකොටුවේ බර උසුලන්නට පැමිණෙන නාටාමිවරුන්, හෝටල් සහ තොග කඩවල අත්උදව්කරුවන්, ඉදි කිරීම් ව්‍යාපෘති සඳහා ලංකාවට ගෙන්වූ චීන ජාතික සිරකරුවන් ද ඇතුළුව ලංකාවට පැමිණියේ යැයි ගණන් ගැනුණු සංචාරකයන් සංඛ්‍යාව මෙන් දෙගුණයක මෙන් ප‍්‍රමාණයකි. කැසිනෝ නොතිබුණි. සංචාරකයන් පැමිණ තිබුණි.

 



වැදගත් අනෙක් කරුණ වන්යේ ”කැසිනෝ” ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන අතලොස්සක් වූ රටවල් කිහිපයේ ද ඒ සඳහා කොන්දේසි ගණනාවක් වීමයි. ඒ අතරින් ප‍්‍රධානතම කොන්දේසිය වනුයේ සිය රටේ ජනතාවගෙන් කැසිනෝ කර්මාන්තය ඉවත් කොට තැබිය යුතු වීමයි.

මැලේසියාව කැසිනෝ හඳුන්වා දී ඇති රටකි. එහෙත් හතු පිපෙන්නාක් මෙන් රට සෑම තැනම කැසිනෝ හල් ආරම්භ කිරීමට ඉඩ සලසා නැත. රටටම ඇත්තේ එකකි. එය ද ”ගෙන්ටින් හයිලන්ඞ්” නම් වූ මිනිස් වාසයෙන් තොර ප‍්‍රදේශයක් වූ රටේ ඈත කෙළවරක පිහිටි භූමියක පිහිටුවා ඇත. එයට  ඕනෑම වාහනයකින් යා නොහැකිය. සියලූ කොන්දේසි සපුරාලූ පසු අදාළ ආයතනයේ වාහනයෙන් සූදු කෙළින්නා රැගෙන යා යුතුය.

ලොව පුරා විශාල සංචාරකයන් සංඛ්‍යාවෙන් නිතිපතා ඇදී එන සිංගප්පූරුවට ඇත්තේ කැසිනෝ හල් දෙකකි. ආසියාවේ විශාලතම කැසිනෝ ආයතනය ”මරීනා බේ සෑන්ඞ්ස්” කැසිනෝහල ඇත්තේ සිංගප්පූරුවේය. එහෙත් එය සිංගප්පූරු ජාතිකයන්ගෙන් ඉවත්ව තැබීමට සිංගප්පූරු රජය පියවර ගෙන ඇත. සිංගප්පූරු ජාතිකයෙකු මෙම කැසිනෝහල් දෙකින් එකකට යන්නේ නම් උපරිම වශයෙන් වියදම් කළ හැක්කේ සිංගප්පූරු ඩොලර් සියයක් පමණි. එහෙත්, එම සූදු කෙළින්නාගේ පවුල් අය ඊට විරුද්ධත්වය දැක්වුවහොත් නැවත දිනෙක පැමිණෙන්නේ නම් සිය පවුලේ උදවියගෙන් කැසිනෝ ගැසීමට අනුමැතිය දුන් ලිපියක් රැුගෙන ආ යුතුය. ඊට අමතරව කැසිනෝ නියාමනයට ද අවශ්‍ය නීති ප‍්‍රතිපාදන සලසා ඇත. වැදගත් වනුයේ එසේ නීතියෙන් නියාමන ප‍්‍රතිපාදන සලසා තිබීම නොවේ. ඒවා ප‍්‍රායෝගික තලයේ සැබෑවටම ක‍්‍රියාත්මක වීමයි. රජයේ බදු නිලධාරීන් ද ආරක්‍ෂක නිලධාරීන් ද දින 365 පුරාවටම පැය 24ක් තිස්සේ කැසිනෝ ශාලාවල ඇස ගසාගෙන සිටී.

කොළඹ නගරයම කැසිනෝ නගරයක සිරි ගන්වන්නට ආණ්ඩුව සැරසෙනුයේ රටට ඉහළ ආදායමක් ලැබෙන බව පෙන්වමිනි. කැසිනෝ සඳහා දැඩි කොන්දේසි යටතේ හෝ ඉඩ දී ඇති අනෙකුත් රටවල් ඉන් ආදායම් ලබනුයේ ඒ මත බලපත‍්‍ර ගාස්තු හා බදු මුදල් පැනවීමෙනි. එහෙත් අපේ ලංකාවේ පාලකයන් කැසිනෝ සූදු අන්තුවන් ගෙන්වනුයේ ලෝකයේ කිසිදු රටක කිසිදු ව්‍යාපාරයකට නොදුන් බදු සහන ඉතා දීර්ඝ කාලයකට ලබා දීමෙනි.
යම් රටක අත්‍යාවශ්‍ය ක්‍ෂේත‍්‍ර වෙනුවෙන් එකී ක්‍ෂේත‍්‍ර පාඩු රහිතව පවත්වාගෙන යාම අපහසු වන විටෙක බදු සහන සලසා දෙයි. එසේම, මහා පරිමාණයෙන් රටේ රැුකියා උත්පාදනය ඉහළ නැංවීමට තුඩු දෙන දස දහස් ගණනින් රැකියා අවස්ථා බිහි කරන කර්මාන්ත ශාලා සඳහා ආයෝජකයන්ට කිසියම් කෙටි කාලයක් සඳහා බදු සහන සපයයි. ජේම්ස් පැකර්ගේ කැසිනෝ ව්‍යාපෘතිය රටේ පැවැත්මට අත්‍යාවශ්‍ය ව්‍යාපෘතියක් නොවේ. එසේම ඉන් උපදවන්නේ යැයි ප‍්‍රකාශ කර ඇති රැකියා ගණන 2,600කි. මේසා විශාල බදු සහන කැසිනෝ වැනි රටේ සදාචාරයේ පිරිහීම හා සම්බන්ධිත ක්‍ෂේත‍්‍රයකට නොවී අන් ක්‍ෂේත‍්‍රයකට ලබා දෙන්නේ නම් රැකියා ලක්‍ෂ ගණනින් බිහි කරලන කර්මාන්තශාලා ලංකාව තුළ ඉදි කිරීමට  ඕනෑ තරම් ජාත්‍යන්තර කර්මාන්තකරුවන් ඉදිරිපත් වනු ඇත.

සිංගප්පූරුවේ කැසිනෝ ආයතන දෙක පිහිටුවීමට බදු සහන දුන්නේ නැත. ඒ වෙනුවට එරට තුළ කැසිනෝහලක් විවෘත කිරීමේ අවසරය ලබා දීම ටෙන්ඩර් කළේය. ඒ සඳහා ලොව පුරා කැසිනෝ ව්‍යාපාරිකයන් ඉහළම මිල ගණන් ගෙවීමට ටෙන්ඩර්පත් ඉදිරිපත් කළ අතර අවසානයේ දී ඉතා විශාල මුදලකට ඇමෙරිකාවේ ලාස් වේගාස් සෑන්ඞ්ස් ආයතනයට සිංගප්පූරුව තුළ ”මරීනා බේ සෑන්ඞ්ස්” නමින් අනුබද්ධ ආයතනයක් පිහිටුවීමට අවසර දුන්නේය.

ලංකාණ්ඩුව ගනුදෙනු කරන කැසිනෝ රජාට තම මව් බිම වූ  ඕස්ටේ‍්‍රලියාවේ කැසිනෝහල් දෙකක් ආරම්භ කළ හැකි වූයේ එරට ආණ්ඩුව පැනවූ ඉතාම දැඩි කොන්දේසි ගණනාවකට එකඟ වීමෙන් පසුවය. එරට සිඞ්නි නුවර ආරම්භ කළ පැකර්ගේ කැසිනෝහල ආරම්භ කිරීමට ඔහුට පළමු ගඩොල් කැටය බිම තැබිය හැකි වූයේ ඩොලර් මිලියන සියයක මුදල් එරට රජයට ගෙවීමෙන් පසුවය.

පසුවදා සිට ලැබෙන ආදායමින් 29%ක මුදලක් එරට ආණ්ඩුවට ගෙවීමට ද නියම විය. එසේම වාර්ෂිකව මුදල් ගෙවා බලපත‍්‍ර ගාස්තු අලූත් කරගත යුතු විය.
 ඕස්ටේ‍්‍රලියාව කැසිනෝ සඳහා 29%ක බද්දක් අය කරන විට ”මැකෝවා රටේ කැසිනෝ බද්ද 40%කි. සිංගප්පූරුවේ කැසිනෝ ආදායම් බදු ලෙස 25%ක් හා වැට් බදු ලෙස 17%ක් ගෙවිය යුතුය. පිලිපීනයේ ආදායම් බදු ලෙස 27%ක් හා වැට් බදු ලෙස 30%ක් ගෙවිය යුතුය.

සත්‍ය වශයෙන්ම කැසිනෝ බදු සහන ආශ‍්‍රිත කතන්දරයේ සඟවා ඇති භයානකකම වන්නේ ඉදිරියේ පිහිටුවන කැසිනෝ ශාලාවලින් බදු නොලැබී යාම පමණක් නොව දැනට බදු ගෙවමින් පවතින කැසිනෝහල්වලින් ද බදු නොලැබී යාමයි. ආයෝජන ප‍්‍රවර්ධන ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගිය දිනෙක මාධ්‍යයට කරන ලද ප‍්‍රකාශය අනුව එය පැහැදිලි වේ.

”ඩොලර් මිලියන 200කට වැඩි ව්‍යාපෘති සඳහා ලංකාවේ බදු සහන දෙනවා. ඒ බදු සහන මත කාමර 400, 500 ඇති එපාට්මන්ට්, සුපර් මාකට් ඇතුළු විවිධ පහසුකම් ඇති ව්‍යාපෘති දෙකක් සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. එවැනි ව්‍යාපෘති අනුමැතිය ලබා දුන් විට ඒවායේ විනෝදාස්වාද කටයුතු සංචාරක කටයුතු සඳහා වූ දේවල් පවත්වාගෙන යාමට ඉඩ තිබෙනවා. නමුත් අපි ඒවා පවත්වාගෙන යාමට බලපත‍්‍ර දෙන්නේ නෑ. ඒ අයට කැසිනෝ සෙල්ලම් කරන්න අවශ්‍ය නම් බදු ගෙවන එකත් මාරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ බදු ගෙවන කැසිනෝ ස්ථාන 6ක් ලංකාවේ තියෙනවා නම් කොතැනකට වුවත් මාරු වෙන්න  ඕනෑ ඒ අයම තමයි.

මේ ප‍්‍රකාශයෙන් කියවෙන්නේ කුමක් ද? කැසිනෝ ශාලා ජේම්ස් පැකර්ගේ ව්‍යාපෘති හා සම්බන්ධ කළ විට ඔවුන්ගේ දැනට බදු ගෙවන කැසිනෝ ශාලා සඳහා ජේම්ස් පැකර්ට ලැබෙන බදු නිදහස ලැබෙන බවය. එනම්, ඔවුන් දැනට ගෙවන බද්දෙන් ද නිදහස් බවයි. 2011 වසරේ අයxවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමැති ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කැසිනෝවල ආදායම් බදු සියයට 40 දක්වා වැඩි කරන බවට කළ ප‍්‍රකාශය ආපසු හැරවෙන බවයි.

යම් රටකට යම් ක්‍ෂේත‍්‍රයක දියුණුව සඳහා සුදුසු යෝජනා ආණ්ඩුව වෙත ඉදිරිපත් කරනුයේ අදාළ ක්‍ෂේත‍්‍රයේ රාජ්‍ය ආයතනයයි. උදාහරණයක් ලෙස තේ අපනයනය දියුණු කරලීමට තේ පොහොර නම්, කුඩා තේ වතු හිමියන් ශක්තිමත් කළ යුතු බවත් ඒ සඳහා තේ පොහොර සහනදායිී මිලකට ලබා දිය යුතු බවටත් නිගමනය කර යෝජනා කරනුයේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා තේ මණ්ඩලයයි. එමෙන්ම ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා සුදුසු ක‍්‍රියා මාර්ග තීරණය කළ යුත්තේ ලංකා සංචාරක මණ්ඩලයයි. එහෙත් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ලංකාවේ කැසිනෝ ව්‍යාප්ත කළ යුතු බව ලංකා සංචාරක මණ්ඩලය කිසි දිනෙක වචනයකින් හෝ සඳහනක් කොට නැත. මෙය හුදෙක් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේ වුවමනාව මත සිදු වන්නකි.

කැසිනෝ මගින් ජාවාරම්කරුවන්ගේ කළු සල්ලි සුදු වන බව කියැවේ. ඒ තුළ කළු ආර්ථිකයක් බිහි වීම නොවැළැක්විය හැකිය. ඊටත් අමතරව, අල්ලසෙන්, දුෂණයෙන් මඩි තර කරගත්  ඕනෑම අයෙකුට කැසිනෝ පිට දමා චෝදනාවලින් ගැලවිය හැකිය. එවැනි චෝදනා ලත් අධික සම්පත් රැස් කරගත් යම් රාජ්‍ය නිලධාරියෙකුගේ මුදල් ලැබුණු ආකාරය ප‍්‍රශ්න කිරීමේ දී  ඒවා තමන් කැසිනෝවලින් ලත් දිනුම් ලෙස දැක්වුවහොත් එම විත්තිවාචකය නොපිළිගෙන සිටිය හැකි වන්නේ ද?

ආණ්්ඩුව කැසිනෝ කලාපය ඞී.ආර්. විජේවර්ධන මාවතෙන් ඔබ්බට ගෙන නොයන බවට සිව් දෙසටම දිව්රයි. එහෙත් පසුගියදා තාවකාලිකව ඉවත් කරගත් පනත් කෙටුම්පතේ ව්‍යාපෘති සඳහා වෙන් කරන ප‍්‍රදේශය ලෙස දක්වා තිබූයේ කොම්පඤ්ඤවීදියේ අක්බාර් මාවත සම්බන්ධ වන ග්ලෙනි වීදියයි. තව ද ඒවා හඳුන්වනුයේ මිශ‍්‍ර සංවර්ධන එනම්, කැසිනෝ ව්‍යාපාරයට අමතරව වෙනත් ක්‍ෂේත‍්‍ර ද ඒ තුළ දියුණු කරනු ලබන බවයි. මහල් නිවාස සිය ගණනින් ඒ තුළ සාදන බවත් කියැවේ. කැසිනෝ සූදු අන්තුවන් මාස ගණන්, අවුරුදු ගණන් මහල් නිවාසවල නැවතී සූදු කෙළින්නේ නැත. වැඩිම වුවහොත් සතියකි. දෙකකි. එතැන දී ප‍්‍රධාන ගැටලූ දෙකක් පැන නගී. පළමු වැන්න නම් ලංකාවේම කැසිනෝහල් එක විදියකට පමණක් සීමා කිරීමේ හල් අත්තේ දිවුරූ පොරොන්දුවට සිදු වන්නේ කුමක් ද යන්නයි. දෙවැනි කාරණය කැසිනෝ ශාලා මුවාවෙන් සියයට සියයක බදු සහන යටතේ ආනයනය කරනු ලබන ගොඩනැගිලි ද්‍රව්‍ය, නාන කාමර කට්ටල ඇතුළු උපකරණ නම්වල හා ගෘහ භාණ්ඩ යොදාගෙන නිවාස ඇතුළු වෙනත් ව්‍යාපෘතීන් නොව, ජාවාරම් කිරීමට හිතවත් ව්‍යාපාරිකයන්ට ඉඩ දෙමින් තිබෙන්නේ ද යන්නයි.

කැසිනෝ ආශ‍්‍රිතව පාදඩ සමාජයක් බිහි වීම නොවැළැක්විය හැකිය. සූදුව සමග සුරාව සහ නුරාව අත්වැල් බැඳගනී. මේ වන විටත් හිමිදිරිය වන්නට ආසන්නයේ කොල්ලූපිටිය ප‍්‍රදේශය අවටින් මහ පාරට ගොඩ බසින මද මත් ගතියෙන් හා නිදිමත බේරෙමින් සිටින ගැමි තරුණියන් ඊට හොඳ සාක්‍ෂියකි. එදා සුද්දන්ට යට ජංගි මහන එවුන් ලෙස එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු විරෝධීන්ගේ ගැරහීමට ලක්වූ අපේ අහිංසක ගැමි තරුණියන් මෙදා අඩ නිරුවතින් අතක මත්පැන් වීදුරුව ද දෙතොලේ සිගරැට්ටුව ද රඳවාගෙන කර වටා අත යවමින් සුද්දන්ගේ තුරුලේ නැළවෙනු දැක්ම මේ ආණ්ඩුව ධර්මද්වීපයක් කරා අපව ගෙන යන ගමනේ කවර සන්ධිස්ථානය ද?