චින්තනයේ අතු රිකිල්ල විසල් ගසක් බවට පත්වනු දැකීම ආරියශිල වික‍්‍රමනායක නම් දිරිය මිනිසාගේ අභිලාෂය බවට පත්ව තිබුණි. හැකියාව අස්වද්දා නෙළාගත් කහවනු අස්වැන්නෙන් බිහිවුණු ජීවය මාස්ටර් ඩයිවර්ස් නම් විය. එය ගොඩනැඟීමේදී ඔහුට මහා ශක්තියක් වෙන්නට ඔහුගේ සොහොයුරු රුවන් වික‍්‍රමනායකද සෑම තැනකදීම ඔහු හා සිටියේය. ඔහුද අතිදක්ෂ කිමිදුම්කරුවෙකු ලෙස පැසසුමට ලක් වූවෙකි. ටග් වෙරි ටස් නම් වූ ඉන්දියානු සාගරයේ තිබූ විශාලම නැව මිලට ගැනීමෙන් පසු ආරියශිල වික‍්‍රමනායක තරුණයාට වුවමනා වූයේ තෙල් නැවක් මිලට ගැනීමය. ඒ කල්පනාව අනුව ගිය හෙතෙම තෙල් නැව් දෙකක්ම මිලට ගත්තේය. ඒ තෙල් නැව් දෙක මාස්ටර් ඩයිවර්ස් වෙත තව තවත් රුපියල් උපයා දුන්නේය. කොළඹ වරාය ඇතුළට නොපැමිණි නැව් වලට පිටතට ගොස් තෙල් ලබාදීමේ හැකියාව ඒ නැව් සතුවිය.  සසල රළ පෙළ මත ජීවිතයේ වටිනාකම් උදෙසා දහදිය වැපිරූ ඔහුත් ඔහුගේ සොහොයුරාත් අපේ මුහුද මත තිබූ සුද්දාගේ නැව් පිළිබඳ අධිකාරිමය බලය තමා වෙත අත්පත් කර ගත්තේය. උග් ඔමජනැර ්බා ක්‍දපච්බහ යන නමින් හැඳින්වූ නැව් එන්ජින් අලූත් වැඩියා කිරීමේ සමාගම ද ඔහු මිලට ගත්තේය. ඒ උතුරේ දෙමළ ත‍්‍රස්තවාදී අරගලය ලංකාවේ අටදිසාවේම මුල් විහිදුවමින් පැවති යුගයයි. මහ මුහුදේ පෑ හැකි විකුම් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව සයුරෙන් සටන් බිමට පිවිසි ශ්‍රී ලංකා නාවික හමුදාවට සහයෝගය ලබාදෙනු පිණිස යෙදවිය යුතුයැයි යන සිතුවිල්ල ආරියශිල වික‍්‍රමනායක මහතාගේ සිතේ උපන්නේය. මුහුදේ ගිලෙන නාවික හමුදාවේ නෞකා ගොඩ ගැනීමේ කාර්යයට මාස්ටර ඩයිවර්ස් අත ගැසුවේ කිසිදු මුදලක් අය නොකරමිනි. ගිලූණු නැව් ගොඩගැනීමට මාස්ටර් ඩයිවර්ස් සතුවූ තාක්‍ෂණය ඉතාමත් පොහොසත් විය. මම හිතුවා ත‍්‍රස්තවාදීන්ට එරෙහිව අපේ හමුදා යුද්ධ කරද්දී නාවික හමුදාවට උදවු කරන්න පුළුවන් හැකියාව අපට තියනවා කියලා. නාවික හමුදාවේ ගිලූණු නැව් ගොඩගැනීම නොමිලේම අප කළේ ඒක අපට රට වෙනුවෙන් කරන්න පුළුවන් යුතුකමක් හැටියට කල්පනා කරලා.. ආරියශීල මහතා පැවසුවේය. ඒ 1992 ඔක්තෝබර් 09 වැනිදාය. කණ්ඩුල නෞකාව කල්පිටිය අසල ගැඹුරු මුහුදේ ගිලී ගියේ කොළඹ සිට තලේමන්නාරම දක්වා යුද සෙබළුන්ට ආහාර ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරමින් සිටියදීය. කෝටි දහයක පමණ වටිනාකමින් යුතුවූ කණ්ඩුල නැවට එකවරකට සෙබළුන් දෙදහසක් පහසුකම් සහිතව ප‍්‍රවාහනය කිරීමේ ශක්තිය තිබුණි.  යුද මෙහෙයුම් සඳහා මෙන්ම යුද උපකරණ, සෙබළුන්ගේ ආහාර ද්‍රව්‍ය ප‍්‍රවාහනය සඳහාද මෙම නෞකාව යොදා ගැනුණි. එහි පළල අඩි 25ක් පමණ විය. දිග අඩි 105කි. උස අඩි 30කි. එදා ඔක්තෝබර් 09 සන්ධ්‍යවේදී කල්පිටිය ශාන්ත ආනා දෙව් මැදුරට සැතපුම් 1.5ක දුරක් තිබියදී මුහුදේ රළු කුණාටු සහිත බවක් ඇතිවී ඇත. අවසානයේ කණ්ඩුල පීඩන අවපාතයකට ගොඳුරු විය. ඒ වෙද්දී නැවේ නැව්පති ලෙස කටයුතු කළේ ලූතිනන් කොමාන්ඩර් සුසිත් වීරසේකරය. අඩි 125ක් ගැඹුරු මුහුදේදී විපතට පත් කණ්ඩුල නැවේ සියලූ දෙනා බේරා ගන්නා ලද්දේ කොමාන්ඩර් ආරියදාසගේ ප‍්‍රධානත්වයෙන් ආ සූර්යා නෞකාවයි. කණ්ඩුල නැව ගොඩගැනීමට විදේශවලින් විශේෂඥ උපදෙස් ලබා ගන්නට එවක නාවික හමුදාපති ක්ලැන්සි ප‍්‍රනාන්දු මහතා කල්පනා කළේ නැත. එදා කණ්ඩුල නැව ගොඩ ගොඩනැගීමේ කාර්යයේදී ගැඹුරු මුහුදේ කිමිදුම් හා ගිලීගිය නැව් ගොඩගැනීම පිළිබඳ ඇමෙරිකාවේ හය මාසික ජාත්‍යන්තර පාඨමාලාවක් හදාරා ප‍්‍රථම ස්ථානය දිනාගෙන පැමිණ සිටි ලූතිතන් කොමාන්ඩර් තිස්ස ගුණතිලකගෙන්ද ඉතා අනගි සහායක් ඊට ලැබුණි. ලූතිතන් කොමාන්ඩර් චිත‍්‍රක මුනින්ද්‍රදාසද මේ කාර්යයේදී විශාල සහායක් ලබා දුන්නේය. ත‍්‍රීකුණාමලයේ තිබූ පබ්බත නැව කණ්ඩුල නැවට අතිශයින් සමානවිය. එය පළමු කොට ගවේෂණය කළ ඔවුහු පසුව නැවත කල්පිටියට පැමිණියහ. මෙම නාවික හමුදා නිලධාරීන් දෙදෙනා සමග කොමාන්ඩර් රංජිත් වෑත්තෑවද කිමිදුම් කණ්ඩායමක් හා අදාළ මුහුදු ප‍්‍රදේශයට ඇතුළු වූ අතර නැව ගිලූණු තැන සොයා එතන සලකුණු කොට නැවත ගොඩබිමට පැමිණියහ. කණ්ඩුල ගොඩගැනීමේ කාර්යයට මාස්ටර් ඩයිවර්ස්ද තම සහයෝගය ලබා දෙන්නට නොපැකිලිවම ඉදිරිපත් වුණේය. නැවේ කාමරවල ජලය ඉවත් කෙරුණි.  වායුව පුරවා සීල් තැබුණි. නැව් බඳෙහි හුළං පිරවූ බැලූන් සවි කෙරුණි. ඇතැම් අවස්ථාවකදී නාවික හමුදාව හා මාස්ටර් ඩයිවර්ස් කිමිදුම් කරුවන් දවසකට පැය දහඅටක් පමණ මේ කාර්යය වෙනුවෙන් කැපවී සිටියහ. කණ්ඩුල නැව ගොඩ ගැනීමට මාස එක හමාරකකට ආසන්න කාලයක් ගතවිය. ඒ සෑම දවසකදීම වික‍්‍රමනායක මහතා තම මෝටර් රථයනේ කල්පිටිය වෙත ගියේය. කොළඹ සිට කල්පිටිය බලා යද්දී තෝසේ හා වඬේවලින් හොඳහැටි සප්පායම් වෙන ඔහු කණ්ඩුල නැව ගොඩගැනීමේ කාර්යයේ යෙදී සිටි සෙස්සන් වෙතද තෝසේ සහ වඬේ රැගෙන ගියේය. මාස්ටර් ඩයිවර්ස් කිමිදුම්කරුවන් මුහුද මැද රාජකාරියේ යෙදී සිටියදී නැවටත් කිමිදුම්කරුවන්ටත් ආරක්‍ෂාව සැපයුවේත් අවශ්‍ය තැන්හිදී දායකත්වය සැපයුවේත් නාවික හමුදාව විසිනි. ඒ සියලූ කාර්යයන් අවසන්ව කණ්ඩුල නැව ගොඩ ගන්නට තිබූ දවසයි.  එනම් 1992 නොවැම්බර් 16 වැනිදාය. උදෑසන එය ගොඩගැනීම කිමිදුම්කරුවන්ගේ අපේක්‍ෂාව වී තිබුණි. එවකට නාවික හමුදාපතිවරයාව සිටි ක්ලැන්සි ප‍්‍රනාන්දු මහතාද එම ස්ථානයට පැමිණෙන්නට නියමිත විය. එදා ක්ලැන්ස්ි ප‍්‍රනාන්දු මහත්තයා මට කතා කරලා මගෙන් විස්තර ඇහුවා. මම කීවා උදේ 9.00 වෙද්දී නැව ගොඩ ගන්නවා කියලා. ඉතින් මගේ සුදානම වුණේ උදේම එතෙන්ට යන්න. නාවික හමුදාපතිවරයාගේ ඉල්ලීම කොතෙක් බලවත් වුණත් වික‍්‍රමනායක මහතා කල්පනා කළේ තම කාලයෙන් උපරිම ඵල ප‍්‍රයෝජනයක් ගන්නටය. ”විකී යමු මාත් එක්ක. ඔයාගේ කාරෙකේ අපේ ගෙදර එන්න. ඔයාගේ කාරෙක අපේ ගෙදර දාලා ඊට පස්සේ මගේ කාරෙකේ ගිහින් එතන ඉඳන් ඩෝරා එකේ යමු. ක්ලැන්සි ප‍්‍රනාන්දු මහතාගේ ඉල්ලීම කාරුණිකව ප‍්‍රතික්ෂේප කළ වික‍්‍රමනායක මහතා කල්පිටිය බලා ගියේ කණ්ඩුල නැව ගොඩගැනීමේ කාර්යයට දායක වීමේ අභිප‍්‍රායෙනි. ”එදා මගේ ජීවිතේ බේරුනේ පුදුම විදිහට. ක්ලැන්සි ප‍්‍රනාන්දු මහතා ත‍්‍රස්තවාදී ඉලක්කයක් බවට පත්වුණේ එදා කල්පිටියේ එන්න ඩෝරා එක තියෙන තැනට එයාගේ මෝටර් රථයෙන් ගමන් කරද්දී” වික‍්‍රමනායක මහතා පැවසුවේය. ක්ලැන්සි ප‍්‍රනාන්දු මහතාගේ හදිසි මරණය පිළිබඳව ප‍්‍රවෘත්තිය ලැබෙනවිට වික‍්‍රමනායක මහතා සිටියේ නැව ගොඩ ගැනීමේ අවසන් අදියරේ කටයුතු වල නියැලෙමින් මුහුද යට වතුරේය. ඒ වෙලාවේ මාත් එක්ක හුඟාක් හිතවත් නාවික හමුදා නිලධාරියෙක් මට කීවා විකී නාවික හමුදාපතිතුමාට මෙහෙම කරදරයක් වෙලා කියලා. ඒ මොහොතේ මට ලොකු කම්පනයක් දැනුනා. මේ කම්පනය දරාගෙන තමා අපි නැව ගොඩ ගත්තේ. ඒ ගොඩගත් නැව කැළඹිලිකාරි සුළං හා කුණාටු මැද නැවත වතාවක් ගිලී ගිය අතර දෙසැම්බර් 10 වැනිදා එය නැවත ගොඩගෙන 11 වැනි්දා පෙරවරු 9.00ට කොළඹ තටාකාංගනය වෙත රැුගෙන ආහ. ගිලිලා තියෙන නැවක් ගොඩ ගැනීම ඉතාමත් අමාරුයි. නැව පාකරලා පෙරළෙන්නෙ නැතුව එය කළ යුතුයි. මගේ කිමිදුම් කරුවෝ දහයක් විතර එතන හිටියා. මම තමා ප‍්‍රධානියා වුණේ. මම තමා නැව් ගොඩගැනීමේ තාක්‍ෂණය හොඳින් දැන හිටියේ. ඔය විදිහට නාවික හමුදාවේ නැව් කිහිපයක්ම අපි ගොඩඅරන් තියෙනවා. ඒ වගේම යුද්ධ කාලේ භට පිරිස් බෝට්ටු වලින් යද්දී තුවක්කු මුහුදට වැටුණු වෙලාවල් තිබුණා. අපි කිමිදිලා ගිහින් ඒවාත් රැුගෙන දී තිබෙනවා. ඒ වගේම නාවික යාත‍්‍රාවල රේඩාර් යන්ත‍්‍ර සවි කරලාත් තියෙනවා... නැව් ගොඩගැනීමේ මතක පියමං කර වික්ටෝරියා ජලාශයේ පතුලට කිමිදී ගොස් කළ වික‍්‍රමයද වික‍්‍රමනායක මහතාගේ කිමිදුම් ජීවිතයේ සුවිශේෂි මතකයකි. එදා ඒ කාර්යයේදී ඔහුගේ සොහොයුරු රුවන් වික‍්‍රමනායක මහතාද සෙවනැල්ලක් සේ ඔහු ළඟ සිටියේය. ඒ කතාව අපි ලබන සතියේදී කියවමු.
සටහන - සංජීවිකා සමරතුංග
එදා භාවිත කළ කිමිඳුම් ඇඳුම ආරියශීල  වික‍්‍රමනායක