IMG-LOGO

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා


කුඩු මාෆියාවේ සමාජයීය බලපෑම

විෂ මත්ද්‍රව්‍ය ප්‍රබලතම සංවාදශීලී සමාජ කතිකාව බවට නූතනයෙහි පත්ව ඇත. පසුගිය දින කිහිපය තුළ දී ඉතිහාසයේ මේ දක්වා ගොඩබිමින් ඇල්ලූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන කිලෝ 635ක මත් ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ තොරතුරු දැන් මුළු රටම දන්නා ප්‍රවෘත්තියක් වී ඇත. පොදුවේ සලකතොත් ජාතික අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ වාර්තාවලට අනුව මේ ප්‍රශ්නයේ පැතිරීම අතිශයින්ම බිහිසුණු බව අවිවාදාත්මකය.

එම වාර්තා පෙන්වා දෙන්නේ දැනට මත්ද්‍රව්‍ය සම්බන්ධව 1,13,708 ක තරම් විශාල පිරිසක් අත්අඩංගුවට ගැන ඇති බවයි. 2025 වර්ෂයේ මුල් මාස 7 ඇතුළත පමණක් අත්අඩංගුවට ගත් අයිස් කිලෝ ප්‍රමාණය කිලෝ 1390 ඉක්මවා ඇත. සංසන්දනාත්මකව බලතොත් 2023 වර්ෂයට වඩා 2024 වර්ෂයේ දී මත්ද්‍රව්‍ය නිසා අත්අඩංගුවට ගැනීම් සියයට 40 කින් පමණ වැඩි වී ඇති අතර 2025 වසර වන විට මෙම තත්වය සියයට 48 දක්වා ඉහළ ගොස් ඇත. මෙහි දී අවධාරණය කළ යුතු වැදගත් කරුණක් ඇත. එනම් මෙම අත්අඩංගුවට ගත් වැඩි පිරිස අවුරුදු 19ත් 29 ත් අතර තරුණ වියේ පසුවන්නන් වීමය. මෙම කරුණු ගැඹුරින් විමසීමේ දී පැහැදිලි වන වැදගත් කරුණු කිහිපයක් මෙහි දී සලකා බැලිය යුතුය. මත්ද්‍රව්‍ය හුදු රසායනික ද්‍රව්‍යයක් මූලික කරගත් දෙයකට වඩා ඒ හා බැඳුණු තවත් සමාජ, දේශපාලන, සංස්කෘතික මූලයන් රැසක්ම විද්‍යමාන වීම ඉන් පළමු වැන්නය. සාපරාධී චර්යාවකට මං පාදන මත්ද්‍රව්‍ය හා බැඳුණු අනෙක් සාපරාධී උපකරණය වනුයේ බිහිසුණු ගිනි අවිය.

මත්ද්‍රව්‍ය, ගිනි අවි සමග එකට බැඳී ඇති තවත් දැවැන්ත සංවිධානමය ව්‍යූහයක් ද ඒ සමග හඳුනා ගත හැකිය. එය ඝාතන රැසක් මතින් ගොඩනැගී වර්ධනය වෙමින් පවතින බලකාමී දේශපාලන සංවිධාන රටාවකි. සමාජයෙන් මතුපිටින් දිස් වන්නේ අයිස් හෝ හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය පමණක් වුව ද ඉන් එහාට වීහිදී ගිය මෙවැනි සුවිශාල ජාලයක් අපට පෙන්වා දෙන්නේ කුමක්ද? මෙය එක්තරා ආකාරයක මාෆියාවක් වෙමින් මෙරට ජන ජීවිතය වෙළා ගනිමින් සිටින බවය. මත්ද්‍රව්‍ය පිළිබඳව කොතෙකුත් කතා කළ ද, මෙම මාෆියාව පිළිබඳව අවධානය මෑතක් වන තුරුම මතු වී නොපැවතුණ බව ඒ සමගම කිව යුතුය. මේ නිසා මෙම ක්‍රියාවලිය, සඟවා ගත් මත්ද්‍රව්‍ය සොයා ගැනීමත්, වරදකරුවන් නීතිය හමුවට පත් කිරීමත්, පසුව ඇප ලබා ගැනීමත් වැනි සරල ප්‍රවේශයකට ලඝු කොට පැවැති බව අප පිළිගත යුතුය. ඒ නිසාම අප මෙම ප්‍රශ්නය පුළුල්ව විමසිල්ලට ලක් කළ යුතුය.

පළමු කොට පෙනී යන්නේ මෙම ගැටලු‍ව පිටුපස පවතින සංවිධානාත්මක බලව්‍යුහයකි. පසුගිය දශක තුනක පමණ කාලයක මෙරට දක්නට ලැබුණු දේශපාලන බල ව්‍යූහයේ සංවිධාන රටාව විමසීමෙන් මෙම කරුණ වඩාත් හොඳින් අවබෝධ කරගත හැකිය. මෙම කාලය තුළ අපට දැක ගත හැකි වූයේ මෙරට දේශපාලන ආධිපත්‍යය එක්තරා පවුල් කිහිපයක් මත පමණක් රඳා පැවතීමයි. එම පිරිස දැරූ මතවාදීමය පිළිගැනීමක් වූයේ අඛණ්ඩව එක දිගට ඔවුන්ගේ පවුල් පමණක්ම මෙම ආධිපත්‍යය දැරිය යුතු බවය. මෙය එක්තරා දුරකට අධිපතිවාදී මානසික තත්වයකි. මෙම කරුණ අරබයා ජන මතය තමන් වෙත ඇඳ බැඳ තබා ගැනීමෙහිලා විවිධ උපක්‍රම භාවිත කිරීම ද ඒ සමග දක්නට ලැබිණ. මෙය හොඳින් තේරුම් ගත හැක්කේ පසුගිය කාලයේ මෙරට සිදු වූ ඝාතන රැල්ල හොඳින් පිරික්සීමෙනි. තමන්ගේ පෞද්ගලික දේශපාලන අවශ්‍යතා සඳහා පුද්ගලයන් ඇඳ බැඳ තබා ගැනීමත්, ඔවුන් හරහා බලකාමී පරිසරයක් නිර්මාණය කර ගැනීමත් මෙහිදී හඳුනා ගත හැකිය. පුද්ගල මනස මෙබඳු විකෘතික බල තරගයකට ඇද දැමීමේ දී ඒ සඳහා පුද්ගලයන් නම්වා ගැනීමේ ප්‍රබල වැඩ කොටසක් මත්ද්‍රව්‍ය විසින් ඉටු කරන බව නොරහසකි. එමෙන්ම නෛතික වශයෙන් සාපරාධී වූ දුර්දාන්ත දේශපාලන ක්‍රියා සඳහා සංවිධානය වූ පිරිස් තමනට අවශ්‍ය රැකවරණය ලබා ගන්නේ දේශපාලන අධිකාරියෙන් බව කිව යුතුය.

දෙවැනුව මත්ද්‍රව්‍ය සමාජ ප්‍රශ්නයක් තරමටම එහි සංස්කෘතික පැත්තක් ද අප හඳුනාගත යුතුව ඇත. එහිලා හඳුනා ගත හැකි වැදගත් කරුණක් වන්නේ ඉහත දැක්වූ පරිදි පාසල් හැර ගියවුන් සහ මූලික විභාග අසමත්ව වෘත්තීය අංශයට ද නැඹුරු නොවී සිටින විශාල පිරිසකගේ හැසිරීමයි. මෙම පිරිස සැබැවින්ම අරාජික ලෝකයක අපේක්‍ෂා භංගත්වයට පත්ව සිටින පිරිසකි. මෙරට සාක්‍ෂරතාව සියයට 94 ක් වුවත් පරිගණක සාක්‍ෂරතාව ඇත්තේ සියයට 43 ක් තරම් අඩු ප්‍රමාණයකි. මේ එකම මට්ටමකින්වත් මෙම පිරිස් තෘප්තිමත් කළ නොහැකි අතර, ඔවුන්ගේ ජීවිතය කලකිරීම වෛරය සහ බලාපොරොත්තු කඩවීමෙන් පිරුණු එකක් වී ඇත. මත්ද්‍රව්‍ය කාර්යාංශ වාර්තාවලින් පෙනී යන්නේ නූතන මත්ද්‍රව්‍ය භාවිතයේ වැඩිම පිරිස නියෝජනය කරනු ලබන්නේ මෙම පිරිස අයත් වන වයස් කාණ්ඩයේ වන අය බවය. අනෙක් අතට තියුණු විභාග තරගය, විභාග අසමත්වීම. ඒ සඳහා මූලික සානුබලයන් නොලැබීම නිසා හටගත් ව්‍යාකූල මානසිකත්වය එම තත්වයේ සිට රැකියාවක් ලබා ගත නොහැකිවීම යන එකිනෙකට බැඳුණු කාරණා රැසකට ගැට ගැසුණු ජීවිත විශාල ප්‍රමාණයක් අද මෙම මත්ද්‍රව්‍ය මාෆියාවේ කොටස්කරුවන් බවට පත්ව සිටින බව නොරහසකි. මෙහිදී සැබැවින්ම දැකිය හැක්කේ සමාජය හා පුද්ගලයා අතර නිර්මාණය වන එක්තරා ආකාරයක ගැටුමකි. මෙය ආත්ම කේන්ද්‍රය වූ පුද්ගලයා හා තරගකාරී සමාජය අතර ඇති ගැටුමක් ලෙස ද හඳුනා ගත හැකිය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඉහත පෙන්වා දුන් පරිදි අසමත්වීමේ හෝ අසාර්ථකවීමේ හෝ සම්භාවිතාව මත පුද්ගලයා තුළ වඩාත් අනාරක්‍ෂිත හැඟීම් ජනිත වේ. එයින් ක්‍ෂණිකව මිදීමේ මගක් ලෙස මත්ද්‍රව්‍යවල පිළිසරණ පැතීම සිදුව ඇතැයි විශ්වාස කළ හැකිය.

මත්ද්‍රව්‍ය මාෆියාවක් බවට පත්වීමේ ක්‍රියාවලිය නගරයෙන් විද්‍යමාන වුවද එහි උපත සිදු වන්නේ නගරයෙන් නොවන බව නූතනයේ ඒ පිළිබඳ කරනු ලබන නිරීක්‍ෂණවලින් පැහැදිලි වන තවත් වැදගත් කරුණකි. අද නූතන ගම රහසිගත මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන තැන් රැසකට තෝතැන්නක් වී ඇත. මෙය නූනත ගමේ වෙනස්වීමට අදාළ කරුණකි. අප අසා තිබූ ස්වංපෝෂිත සාම්ප්‍රදායයික ගම නූතනයේ බලගතු වෙනසකට ලක්ව තිබෙන බව නොරහසකි. සියලු‍ ගම් විවිධ හේතු මත අනුකලන තත්වයෙන් මිදී ඒකලනය වී ඇත. මෙය එක්තරා දුරටක අරාජිත අනෝමීය තත්වයකි. මෙබඳු ශෝචනීය තත්වයක් ඇතිවීමට බලපාන ප්‍රධාන කරුණක් වන්නේ විධිමත් සමාජ ප්‍රතිමාන බිඳ වැටීම නොහොත් නීතිය ක්‍රියාත්මකවීමට අපහසුවීම කරණකොටගෙන ඇති වන තත්වයයි. ගමේ සාම්ප්‍රදායයික නායකත්වය බිඳ වැටීම, ඒ තුළින් ගමක් තුළ පොදුවේ පිළිගත් සමාජීය ප්‍රතිමාන බිඳ වැටීමද ඒ සමග හඳුනාගත හැකිය. එමෙන්ම යම් යම් ලු‍ම්පන් කොටස්වලට දේශපාලන බල පුළුවන්කාරකම් කළ හැකි පරිසරයක් නිර්මාණය වීමද දැකිය හැකිය. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ සමාජයේ පොදුවේ පිළිගත් ප්‍රතිමාන ක්‍රියාත්මක නොවන තත්වයක් ඇතිවීමයි.

මෙබදු බිහිසුණු සමාජ ප්‍රශ්නයක් මුළුමනින්ම මෙරටින් තුරන් කර දැමීමේ ක්‍රියාදාමයේ දී මත්ද්‍රව්‍යවලට ගොදුරුවූවන් ඉන් වළක්වා ගැනීම මෙන්ම ඔවුන් පුනරුත්ථාපනයට ලක් කිරීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු කළ යුතුය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ගැහැනු ළමයින් සඳහා කරනු ලබන පුනරුත්ථාපන වැඩසටහන් ඔවුන්ගේ ස්ත්‍රී ලිංගික අවශ්‍යතාවලට සරිලන පරිදි සැකසී තිබීම ඉතා වැදගත් වෙයි. ඔවුන් මුහුණ දෙන අභියෝග සහ පීඩා අවබෝධ කර ගනිමින් තමන් තුළ ආත්මාභිමානය වර්ධනය කරන ස්ත්‍රී සංවේදී නිවාරණ වැඩසටහන්වල වැදගත්කම මෙහිදී අවධාරණය කෙරේ. මවුපියන් සහ පවුලේ සාමාජිකයන් විසින් විශේෂයෙන්ම ගැහැනු දරුවන්ට දැඩි අවධානයක් දක්වමින් ආරක්‍ෂාව සහ ආදරය ලබා දී සමාජ ආකල්ප වෙනස් කිරීම වෙනුවට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට දැඩි දඬුවම් දීම සමාජ කොන් කිරීම සිදු නොකර, ඒ පිරිස සමාජයේ උපකාරය රැකවරණය ලැබිය යුතු පිරිසක්ය යන අදහසින් ක්‍රියාත්මකවීම මෙහිදී වැදගත් වෙයි. මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රශ්නයේදී අප අවධාරණය කළ යුතු තවත් වැදගත් පැත්තක් නම් පුද්ගල පෞරුෂ නවීකරණය එහිදී ප්‍රශස්ත ලෙස යොදාගත හැකිවීමය. මූලිකව මත්ද්‍රව්‍ය හෙරොයින්, අයිස්, ගංජා, මෙන්ම මත්පැන් හා දුම්වැටි පුද්ගලයාගේ මොළයට හා ශරීරයට මෙන්ම අනාගතයට ද කරන බරපතළ හානිය පිළිබඳව නිවැරැදි දැනුම ලබා දීම මෙහි දී වැදගත්ය. දෙවැනුව දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව මත්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කිරීමේ ශක්තිය පුද්ගලයා තුළ ඇති කළ යුතුය. මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වන මානසික ආතතිය නිවැරැදි ලෙස කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම මෙහිදී අවධාරණය කෙරේ. තමාගේ අනාගත අපේක්‍ෂා අධ්‍යාපනික ඉලක්ක වෙත යාමට තමා තුළ පැවැතිය යුතු ධෛර්යය විනය සහ සූදානම පුද්ගලයා වෙත අවධාරණය කළ යුතුය. තුන්වැනුව නිවැරැදි යහපත් මිනිසුන් ඇසුරු කිරීමට අවශ්‍ය පසුබිමක් ගොඩ නැගී පැවැතීම ද වැදගත්ය. ධනාත්මක චින්තනයෙන් යුතුව ජීවිතය දෙස බැලිය හැකි යහපත් විනෝදාංශවලට සහාය දෙන මිතුරු ඇසුරක අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරේ. සිවුවැනුව මත්ද්‍රව්‍යවල ගොදුරක් බවට පත් වූ විට අවශ්‍ය උපකාර ඉල්ලා සිටීමට පසුබට නොවීමේ ගුණාංගය පැවතීම ද වර්ධනය කළ යුතුය. ඒ සඳහා වෘත්තිකයන් හෝ අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය, ළඟම ඇති රජයේ රෝහලේ මනෝ වෛද්‍ය සායනය, පාසල් උපදේශකවරුන් සහ විවිධ උපදේශන සේවා සපයන රාජ්‍ය නොවන සංවිධාන රැසක් ඇත. ඒ පිළිබඳ දැනුම සහ අවබෝධය පැවැතීම අවශ්‍ය කරුණකි.

මත්ද්‍රව්‍ය ප්‍රශ්නයේ සලකා බැලිය යුතු විවිධ පැති රැසක්ම පවතින බව මෙයින් යළි යළිත් පෙන්වා දිය යුතුය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, ඉන් වැළකීම, මත්ද්‍රව්‍ය භාවිතය හා පුනරත්ථාපනය, ඉතා දීර්ඝකාලීන සැලැස්මක් ඔස්සේ ක්‍රමානුකූලව සිදු විය යුතු ව්‍යාපෘතියක් බව මෙයින් පෙනේ. එහිලා සමකාලීන සමාජ ආර්ථික දේශපාලන පරිසරය ද ඉන් සිදුවන බලපෑම් පිළිබඳව ද අවබෝධයෙන් සිටිය යුතුය.

මත්ද්‍රව්‍ය හුදෙක් එක්තරා විනාශකාරී රසායනික ද්‍රව්‍යයක් ලෙස ලඝු කර සැලකිය නොහැකි පුළුල් ව්‍යාපෘතියක් සහිත සමාජ ප්‍රශ්නයකි. ඒ හා බැඳුණු අවශේෂ අංග ඔස්සේ අද මත්ද්‍රව්‍ය, දරුණු සමාජ මාෆියාවක් ලෙස සමස්ත සමාජයටම අභියෝග එල්ල කරමින් සිටීම එයට හේතුවයි. ආගම, දේශපාලනය, අධ්‍යාපනය, පවුල ආදි සමාජ සංස්ථා ඔස්සේ කරනු ලබන එම තර්ජනයට නොබියව සහ නිවැරැදිව මුහුණ දීමට හුදු නෛතික විධි විධාන පමණක් ප්‍රමාණවත් යැයි සිතීම මුළාවකි. මෙම ප්‍රශ්නයෙහි සමාජයීය මූලයන් නිවැරැදිව තේරුම් ගැනීම ඉතා වැදගත්ය.

(***)



අදහස් (0)

කුඩු මාෆියාවේ සමාජයීය බලපෑම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 416 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 327 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site