IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


එතෙර ධනකුවේරයන්ට ලංකාවෙන් හදන යාත‍්‍රා

ලෝකයේ සුපිරි ධනවතුන්ගේ විනෝදාශ්වාදය සඳහා අවශ්‍ය සුඛෝපභෝගී සංචාරක රුවල් යාත‍්‍රා නිෂ්පාදනය කරදීමට ගාල්ල කොග්ගල ප‍්‍රදේශයේ තරුණයින් පිරිසක් සමත්ව සිටි. කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි බැරමුණ්ඩි බෝට් යාඞ් පෞද්ගලික සමාගම ඒ සඳහා මූලිකත්වය ගෙන කි‍්‍රයා කරයි. ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් හා ශ‍්‍රමිකයින්ගේ දායකත්වයෙන් මේ වනවිටත් එවැනි යාත‍්‍රා තුනක් නිෂ්පාදනය කොට විදේශීය ධනවතුන්ට විකුණා හමාරය. ඊට අමතරව තවත් යාත‍්‍රා තුනක් මේ දිනවල නිපදවමින් පවතී. ”කැටමරන්” යන නමින් හඳුන්වන මෙම රුවල් යාත‍්‍රාවේ දිග අඩි 51කි. පළල අඩි 28කි. තුඹ ගස සමග එහි උස අඩි 87ක් වේ. මිලදී ගන්නාගේ අවශ්‍යතාවය අනුව යාත‍්‍රාවේ දිග පළල අඩු වැඩිකර ගත හැකි වීමද විශේෂත්වයකි. ලෝකයේ නාවික ක්ෂේත‍්‍රය ආශි‍්‍රත පරිසරයට සරිලන අමු ද්‍රව්‍ය මෙම රුවල් යාත‍්‍රා නිෂ්පාදනයට යොදා ගනී. ප‍්‍රධාන අමු ද්‍රව්‍ය වූ ”ෆයිබර්” සිංගප්පූරුව හා යුරෝපීය රටවලින් ගෙන්වා ගනු ලබයි. ඊට අමතරව තේක්ක වැනි දැව වර්ග මෙරටින් ලබාගනී. කොග්ගල නිදහස් වෛළෙඳ කලාපයේ බැරමුණ්ඩි බෝට් යාඞ් පෞද්ගලික සමාගමට අනුයුක්ත තරුණයින් හැට දෙනකු අතින් නිෂ්පාදනය වෙන රුවල් යාත‍්‍රාවක් රුපියල් කෝටි හයක් දහයක් අතර මුදලකට අලෙවි කෙරේ. සම්පූර්ණයෙන් යාත‍්‍රාවක් නිපදවීමට මාස අටක පමණ කාලයක් ගතවේ. දැනට විදේශිකයින්ගේ ඇණවුම් මත පමණක් ඒවා නිෂ්පාදනය කිරීමට භාර ගෙන තිබේ. සුඛෝපභෝගි නිවසක පවතින සියලූ අංග මෙම යාත‍්‍රාව තුළ පවතී. විශේෂයෙන්ම නිදන කාමර හතරක් නාන කාමර මුළුතැන් ගෙය ජෙනරේටරයක්, එන්ජින් දෙකක්, ශීතකරණයක්, විදුලි උදුන්, රෙදි සෝදන යන්ත‍්‍රයක් ආදි සියලූ දේවලින් එම යාත‍්‍රා පරිපූර්ණය. ගබඩාකර තිබෙන ජලය හිඟ වූ අවස්ථාවකදී මුහුදු ජලය යන්ත‍්‍රානුසාරයෙන් පෙරා පානය කිිරීමට සුදුසු ජලය බවට පත්කරදීමේ යන්ත‍්‍රයක්ද එහි සවිකර තිබේ. ඊට අමතරව විදුලි බලය සූර්ය තාපයෙන්ද ලබාගත හැකි පරිදි සකස්කර ඇත. මෙවැනි රුවල් යාත‍්‍රා ශීත රටවල වැඩිපුර භාවිතා කරන හෙයින් වායු සමනය කර නොමැත. එහෙත් යම් ගැණුම්කරුවෙකුට වායු සමනය කර ගැනීමට අවශ්‍ය නම් එම පහසුකම්ද සලසා දීමට කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටී. දැනට වසර තුනකට පෙර ආරම්භ කළ මෙම යාත‍්‍රා නිපදවීමේ ව්‍යාපෘතියට මුල් කාලයේදී විදේශිකයින් සිය දායකත්වය සපයාදී තිබුණි. එහෙත් අද වනවිට සියලූ දේ කිරීමට මෙරට තරුණයින්ට හැකියාව ලැබී තිබීම සතුටට කරුණකි. පිට රටින් ගෙන්වන ලද විශේෂ ෆයිබර් වර්ගයක් යොදා ගැනීම නිසා රුවල් යාත‍්‍රාවක බර ටොන් දහයක් පමණ වේ. එහෙත් මෙරට ෆයිබර් යොදාගතහොත් එහි බර ටොන් විසි පහක් පමණ විය හැකි බව බැරමුන්ඩි බෝට් යාඞ් සමාගමේ අදහසයි. සුළඟ තිබෙන තාක් කල් මෙම යාත‍්‍රාවෙන් එක දිගට මුහුදේ ගමන් කළ හැකිය. ආරක්ෂාකාරි ක‍්‍රම විධි අනුව සකස් කර තිබෙන නිසා ලෝකය වටේ වුවද සංචාරය කළ හැක. දැනට ලංකාවේ මෙවැනි රුවල් යාත‍්‍රා භාවිතා නොකරයි. ඊට ප‍්‍රධාන හේතුව අධික මිලකින් යුක්තවන නිසාය. එහෙත් යම් කිසි අයෙකුට මෙවැනි යාත‍්‍රාවක් මිලදී ගැනීමේ ශක්තියක් ඇත්නම් රුවල් යාත‍්‍රාවක් සාදා නිම කරදීමට මෙම ආයතනය සූදානමින් සිටී. එසේ වුවහොත් ලෝකයේ සුපිරි ධනවතුන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා කරන රුවල් යාත‍්‍රාවල සුළු හෝ සවාරියක් යාමට මෙරට පදිංචිකරුවන්ටද අවස්ථාව උදාවනු ඇත. එකවර දස දෙනෙකුට ගමන් කළ හැකි පරිදි සියලූ පහසුකම්වලින් මෙම යාත‍්‍රා සමන්විතය. ආයෝජන මණ්ඩලය යටතේ කි‍්‍රයාත්මක බැර  මුරුණ්ඩි බෝට් යාඞ් පෞද්ගලික සමාගමේ හිමිකරුවන්නේ බෙල්ජියම් ජාතික පියර් පි‍්‍රන්ජර්ස් මහතාය. එහි ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසද කටයුතු කරන ඔහු ආයතනයේ සියලූ මූල්‍ය හා මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කරනු ලබයි. වසර තිහක කාලයක් තිස්සේ මෙරට ජීවත්වන පියර් පි‍්‍රන්ජර්ස් මහතා සුනාමි ව්‍යසනයේදීද අවතැන්වූ දකුණේ ජනතාව වෙනුවෙන් නිවාස සාදාදී විශාල සුභ සාධන රැසක් ඉටුකළ අයෙකි. මෙම ව්‍යාපෘතිය හරහාද කොග්ගල හා ඒ අවට පදිංචිකරුවන් දෙසීයකට පමණ ඍජු සහ වක‍්‍ර ලෙස රැකියා මාර්ග ලැබී තිබේ. ”කැටමරන්” රුවල් යාත‍්‍රාවලට අමතරව එන්ජින් මගින් ධාවනය වන කුඩා යාත‍්‍රා හා විදුලි බලය ජනනය කළ හැකි සුළං පෙති නිපදවීමටද මෙම තරුණයන් සතුව දැනුම හා තාක්ෂණය පවතී. මේ පිළිබඳව අදහස් දැක්වූ බැරමුන්ඩි බෝට් යාඞ් පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී අජන්තා එදිරිවීර මහතා මෙසේ කීය. ”නාවික හමුදාවේ කපිතාන්වරයකු ලෙස රැකියාව කොට මා විශ‍්‍රාමිකවයි සිටින්නේ. එහිදී ලබාගත් දැනුම හා අත්දැකීම් මේ රුවල් යාත‍්‍රා නිෂ්පාදනය කිරීමේ කටයුත්තට මට බෙහෙවින් ඉවහල් වෙනවා. සියයට සියයක්ම මෙරට ශ‍්‍රමිකයින්ගේ දායකත්වය මතයි මේ යාත‍්‍රා නිපදවන්නේ. එය අපේ රටට ආඩම්බරයක්. ඒ සඳහා දක්ෂ පළපුරුදු තරුණ පිරිසක් අපට සිටිනවා. මෙය තනිවම කළ හැකි දෙයක් නොවෙයි. සියලූ දෙනාගේ සාමුහික කැපවීම හා උත්සාහය මතයි මේ වැඩ සිදු කරන්නේ. ඒ සඳහා රජය හා ආයෝජන මණ්ඩලය ලබා දෙන සහයෝගය විශිෂ්ට මට්ටමක  පවතිනවා. අපි ඉදිරියේදී මීටත් වඩා ඉහළ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙනුවෙන් නිකුත් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. කැටමරන් යාත‍්‍රා නිෂ්පාදන කළමනාකරු බී.ජී. චමින්ද සංජීව මහතා:- ”ජාත්‍යන්තර මුහුදු ගමනා ගමනය සඳහා අවශ්‍ය සියලූ සම්මත උපකරණ හා ක‍්‍රමවේදයන් මේ යාත‍්‍රා සඳහා උපයෝගී කරගෙන තිබෙනවා. ලෝකයේ පිළිගත් නිර්ණායක හා සම්මතවලට අනුවයි සම්පූර්ණ යාත‍්‍රාව නිමකර තිබෙන්නේ. ”කැටමරන්’’ යාත‍්‍රාවල නිෂ්පාදන අයිතිය පවතින්නේ අප සමාගම සතුවයි. ලංකාවේ මෙම යාත‍්‍රා නිපදවන්නේ අපි විතරයි. මෙය ලෝකයේ ජනපි‍්‍රය ආරක්ෂාකාරී යාත‍්‍රාවක්. බෑ දෙකකින් සමන්විත නිසා කිසිම විදියකට පෙරළෙන්නේ නැහැ. මෙම යාත‍්‍රා අපි මුහුදට එක් කරන්නේ වැලිගමට ගෙනල්ලයි. ගල්පර නොමැති මුහුදු සීමාවක් එහි තිබෙනවා. කොග්ගල සිට ප‍්‍රධාන මාර්ගය ඔස්සේ රෝද සවිකරන ලද ටේ‍්‍රලර් ආධාරකයක් මත තබා ගෙනයි රුවල් යාත‍්‍රාව වැලිගම දක්වා ගෙන යන්නේ. විශාල නිසා අපි රාති‍්‍ර කාලය ඒ සඳහා යොදා ගන්නවා. මුහුදට ගැනීමෙන් පසු ගාල්ල ධීවර වරාය වෙත ගෙන ගොස් නිල වශයෙන් විදේශීය ගැනුම්කරුවන්ට රුවල් යාත‍්‍රාව භාර දෙනවා. ඔවුන් දැඩි සතුටකට පත්වයි එය රැගෙන යන්නේ. යාත‍්‍රාවේ ආකෘතිය අපිට වෙනස් කරන්න බැහැ. නමුත් ගැණුම්කරුවාගේ අවශ්‍යතාවය මත බාහිර අලංකරණ කටයුතු සිදුකරගන්න පුළුවන්. එම සැලසුම් කටයුතු දිනුෂා එරන්ගි මෙනවිය ඇතුළු යොහාන් යසස් හා ප‍්‍රභාත් කුමාරසිංහ යන මහත්වරු යටතේ සිදු කෙරෙයි. සැපයුම් අංශයේ සමන් කුමාර, අමිල පේ‍්‍රමරත්න, අමිල කරුණාරත්න, අශෝක විදානගම මානව සම්පත් අංශයේ රුවනි සැමුවෙල් යන මහත්ම මහත්මීන්ද මේ සඳහා විශේෂිත වූ කාර්ය භාරයක නිරතව සිටී. අතීතයේ අප රටේද වෙළෙඳ කටයුතු හා නාවික කටයුතු සඳහා රුවල් යාත‍්‍රා භාවිතා කෙරිණි. එහෙත් වර්තමානය වනවිට රුවල් යාත‍්‍රාවක් දැක බලා ගැනීමටවත් නොහැකි තරම්ය. එය ශ්‍රී ලාංකීය ඉතිහාසයට ද සුභදායක කරුණක් නොවේ. එහෙත් ශ්‍රී ලාංකික අභිමානය ලොවට ප‍්‍රදර්ශනය කිරීමට කොග්ගල ප‍්‍රදේශයේ මෙවැනි ව්‍යාපෘතියක් ශ්‍රී ලාංකික තරුණයින් පිරිසක් විසින් දියත් කිරීම පැසසිය යුතුය. එම කටයුත්ත තව දුරටත් පුළුල් කර ගත හොත් අනාගතයේදී අප රටේ වැසියන්ටද ඉන්ධන සඳහා කිසිදු මුදලක් වැය නොකර රටට සම්පතක්ව පවතින සුළගින් මුළු ලෝකය වටා යාමට හැකියාව ලැබෙනු ඇත.

ඡායාරූප හා සටහන - මාතර කි‍්‍රෂාන් ජීවක ජයරුක්
මෙරටදී සාදන ලද කැටමරන් වර්ගයේ රුවල් යාත‍්‍රාවක් මුහුදේ ගමන් කරන අයුරු. යාත‍්‍රා කොටස් සකසමින් විශේෂිත ආකෘතියකට නිම කළ තවත් යාත‍්‍රාවක්



අදහස් (0)

එතෙර ධනකුවේරයන්ට ලංකාවෙන් හදන යාත‍්‍රා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 501 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 471 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site