සිය මිතුරන්ට එල්ලුම් ගස පෙන්වීමට අවශ්‍ය බව කියමින් පිරිසක් සමග බීමත්ව පැමිණි රාජ්‍ය අමාත්‍යවරයකු ඉකුත් සතියේ දිනක බන්ධනාගාර මූලස්ථානයට අයුතු ලෙස ඇතුළුවූ බව කියන පුවත අප පුවත්පත ඊයේ වාර්තා කළේය. බන්ධනාගාර ආරංචි මාර්ග උපුටා දක්වමින් පළ කර තිබූ එම ප්‍රවෘත්තියෙහි වැඩි දුරටත් සඳහන් වන්නේ මෙම රාජ්‍ය අමාත්‍යවරයා සිය පිස්තෝලයද කරකවමින් බන්ධනාගාරය තුළට පිවිසීමට ඉඩ නොදුන් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවය. රාජ්‍ය අමාත්‍යවරයා සමග පැමිණි බීමත් පිරිස කොට කලිසම් වලින් සැරසී සිටි බවත් එම පිරිස අතර කාන්තාවක්ද සිටි බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. බන්ධනාගාරය තුළට ඇතුළුවීමට ඉඩ නොදීමත් සමග එම පිරිස තමන් පැමිණි සුඛෝපභෝගී රථවලින් පිටව ගොස් තිබේ.

එල්ලුම් ගස් යැවිය යුතු තරමේ වරදකි. බන්ධනාගාර ආඥා පනතට අනුව බන්ධනාගාරයට කිසිවකුට අයුතු ලෙස ඇතුළුවීමට අවසර නැත. එමෙන්ම බීමත්ව හා අසංවර ඇඳුමෙන් සැරසී කිසිවකුටවත් බන්ධනාගාරය තුළට පිවිසීම තහනම්ය. මෙම රාජ්‍ය ඇමැතිවරයා රටේ නීතිය නොදන්නෙක්ද? නොඑසේ නම් තමන්ගේ බල පරාක්‍රමය ඉදිරියේ රටේ නීතිය මිනිස් කසල මෙන් නොවටිනා දෙයකැයි මේ බේබදු රාජ්‍ය අමාත්‍ය වරයා සිතුවේද? හේතුව කුමක් වුවත් රාජ්‍ය ඇමැතිවරයා කර තිබෙන්නේ බන්ධනාගාර බසයකින්ම කුදලාගෙනවිත් එල්ලුම් ගහ සමීපයේම කුඩුවෙහි ගාල් කළ යුතු තරමේ වරදකි. “එක රටක් - එක නීතියක්” නම් මෙම රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු බේබද්දන් මේ වනවිටත් මහ උළු ගෙදර යකඩ කූරු ගණන් කරමින් සිටිය යුතුය. එහෙත් ඉතිහාසයේ මෙන්ම වර්තමානයේත් බොහෝ ප්‍රතිඥා මැතිවරණ ප්‍රකාශනවල මුද්‍රිත අකුරු ලෙසම පැවතෙමින් තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතාගේ පිළිතුර වී තිබෙන්නේ “එවැනි සිදුවීමක් තමන් නොදන්නා” බවය. ඔහු කියන්නේ එවැනි සිදුවීමක් ඔහු නොදන්නා බව මිසක් සිදු නොවූ බව නොවේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පත්ව ඇති අසරණකම තේරුම් ගැනීමට කිසිවකුට හෝ අසීරු නොවේ.
මෙම රාජ්‍ය ඇමැතිවරයා ඇතැම්විට එල්ලුම් ගස දැක තිබෙන්නට ඇත. නොඑසේනම් එල්ලුම් ගස ආසන්නයටම ගොස් නැවත හැරී ආ අයකු විය හැකිය. ඔහු එල්ලුම් ගස දැක නොතිබ්බේ නම් ඒ සඳහා නිරීක්ෂණ චාරිකාවක් හෝ යොදා ගෙන එම මනදොළ සපුරාගත හැකිව තිබිණි. එයින් පෙනී යන්නේ ඔහුට අවශ්‍ය වූයේ තම බීමත් රස්තියාදුකාර සගයන්ට එල්ලුම් ගස පෙන්වීමට බවය. රාජ්‍ය අමාත්‍යවරයකු වන තමන්ට එබන්දක් කළ නොහැකි නම් හැට නව ලක්ෂයේ ජන වරමෙන් වෙන කුමක් කරන්නදැයි ඔහු සිතුවා විය හැකිය.

මෙබඳුම සිදුවීමක් මෙයට දෙතුන් මසකට ඉහතදී වාර්තා විය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ බීමත් රාජ්‍ය ඇමැතිවරයකු බීමත් සගයන් පිරිසක් සමග මධ්‍යම රාත්‍රියේදී රුවන්වැලි සෑ රදුන්වහන්සේ වන්දනා කිරීමට පැමිණි බවය. අවේලාවේ බැවින් පොලිස් නිලධාරීන් ඒ සඳහා අවසර නොදුන්විට එම පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණවැදී ප්‍රකෝපකාරීව හැසිරී පසුව ඉන් පිටව ගිය බවය.

මෙම සිදුවීම් දෙකෙහිම සමානාත්මතා තිබේ. එනම් සිදුවීම් දෙකෙහිම ප්‍රධාන චරිතය රාජ්‍ය අමාත්‍යවරයෙකි. දෙවැන්න ඔහු අංක එකේ බේබද්දෙකි. තුන්වැන්න ඔහු ළඟින් සිටින්නේ තුට්ටු දෙකේ රස්තියාදුකාර බේබද්දන්ය. සිව්වැන්න ඔහුට ඇතුළු වීමට අවශ්‍ය වන්නේම අවේලාවේය. පස්වැන්න නීතිය ගණන් නොගැනීමය. අනෙක් අතට මෙම රාජ්‍ය ඇමැතිවරයා ස්ත්‍රී සොඬෙකු යැයි අනුමාන කළ හැකිය. මන්දයත් බන්ධනාගාරයට ඇතුළුවීමට ඔහු පැමිණ තිබෙන්නේ කාන්තාවකද සමගින් වීමය.

මනෝ විද්‍යාවට අනුව නිතර බේබදුව සිටීමට ඇතැමකු පෙළඹෙන්නේ අතීත අවතාර ඔහුගේ සිහිය විකල් කරන හෙයිනි. මනා සිහි බුද්ධියෙන් සිටින විට අතීතයේ කළ අපරාධ, මිනී මැරුම් ආදිය සිහිපත් වීමෙන් සංත්‍රාසයට පත්වන හෙයින් නිතර බේබදුව සිටීමට ඔවුහු පෙළඹෙති. මෙම රාජ්‍ය ඇමැතිවරයාත් එබන්දකු දැයි අපි නොදනිමු. එබන්දකු නම් වහා ප්‍රතිකාර කළ යුතුය. ඒ අර්ථයෙන් ඔවුන්ට අනුකම්පා කළ යුතුය. එහෙත් මෙබඳු මානසික රෝගීන් සමාජයේ නිදැල්ලේ සිටීම අතිශයින්ම භයානකය. විශේෂයෙන්ම නීති සම්පාදනය කරන නීති සම්මත කරන හා රටේ මූල්‍ය විනය ආරක්ෂා කිරීමේ වගකීම ඇති ඒ අර්ථයෙන්ම රටේ උත්තරීතම ආයතනය ලෙස  විරුදාවලිලත් පාර්ලිමේන්තුවේ සිටීම අතිශයින්ම භයානකය.

බොහෝ අකාරුණිකවූත් දුෂ්කරවූත් කොන්දේසි වලට යටත්ව මෙරට සාතිශය බහුතරයක් ජනයා මෙම ආණ්‍ඩුව බලයට ගෙන එනු ලැබුවේ පැරණි පිටපත්වලට අලුත් රංගන දැකීමේ ආශාවෙන් නොවේ. අලුත් බලගතු ආදර්ශ සමගින් මෙම රට ආර්ථික සමෘද්ධියේ මතු මහළට ඔසොවා තබා යුක්තිගරුක නීතිගරුක සදාචාරවත් රටක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙනි. එහෙත් රාජ්‍ය ඇමැතිවරයාගේ හැසිරීම එයට මුළුමනින්ම ප්‍රතිපක්ෂය. එම හැසිරීම ළය විනිවිද යන කිණිසි තුඩක් පරිද්දෙන් මෙරට ජනයාට දැනෙන්නේ එහෙයිනි.

(***)