කාබනික පොහොර වැඩසටහන ක්‍රියාත්මක කරන්නට ගොස් වසර 32ක දේශපාලන ජීවිතය විනාශ වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා ප්‍රකාශ කළ බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය. ගොවි සංවිධාන ජාතික බල මණ්ඩලය සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක් අමතමින් ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ මහ කන්නයේ කාබනික වගා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගොවීන් කරන චෝදනා අසාධාරණ නැති බවය.

පසුතැවීම තරම් නරක අත්දැකීමක් තවත් නැත. අලුත්ගමගේ ඇමැතිවරයා පසුවන්නේ පසුතැවීමෙනි. පසුතැවීමට සිදුනොවන ලෙස  වැඩ කිරීමට මිනිසුන් සමත් විය යුතුය. එයට තුන්කල් දක්නා ඉසිවර නුවණින් තීන්දු තීරණ ගත යුතුය. එය පෞද්ගලික ජීවිතයේදීත් සමාජ ජීවිතයේදීත් අත්‍යවශ්‍ය වූවකි. මෙම ජීවිත දෙකට අමතරව අමාත්‍යවරයාට දේශපාලන ජීවිතයක්ද තිබේ. එහෙත් ඇමැතිවරයා පවසන්නේ කාබනික වගා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යාමෙන් තමන්ගේ තිස් දෙවසරක දේශපාලන ජීවිතය විනාශ වූ බවය.

කාබනික පොහොර ව්‍යාපෘතිය මේ මවු පොළොවට අත්‍යවශ්‍ය වූවකි. රසායනික පොහොර භාවිතය නිසා වකුගඩු රෝගය ඇතුළු බොහෝ රෝග වැළඳෙන බව සත්‍යයකි. හඳුනා නොගත් රෝගවලින් පුරවැසියන් මරණයට පත්වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ද රසායනික පොහොර භාවිතය බව නොරහසකි. එහෙයින් මෙම රසායනික පොහොර මර උගුලෙන් ගැලවිය යුතුය.

රසායනික පොහොර මර උගුලෙන් ගැලවීම පහසු නැත. දශක ගණනාවක් පුරා පොළව රසායනික පොහොරට හුරුවී සිටී. එහෙයින් එම උගුලෙන් ගැලවීම කළ යුත්තේ සීරු මාරුවටය. විද්‍යාත්මක පදනමින්ය. එහෙත් කාබනික වගා සංග්‍රාමය ආරම්භ කරනු ලැබුවේ ඒ කිසිදු සූදානමකින් නොවන බව පැහැදිලිය. විශේෂයෙන්ම කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ගොවියා මනා ලෙස දැනුවත් කළ යුතුය. එහෙත් එවැන්නක් සිදු වූ බවක් නොපෙනේ. ගොවි බිම් මතින් මෑත්වී ගොවියන් කළ උද්ඝෝෂණවලින් ඒ බව තහවුරු වෙයි.

කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ගොවියා මෙන්ම ජනතාවද දැනුවත් කළ යුතුය. එබඳු වැදගත් ව්‍යාපෘතියකට ජනතා සහයෝගය ලැබෙන්නේ එවිටය. එහෙත් මෙවර ජනතාවට සිදුවූයේ ගොවි අරගල දෙස බලා සිටීමටය.

කාබනික වගා වැඩසටහන රටටත් ජනතාවටත් ඉතා වැදගත් වැඩපිළිවෙළක් නිසා තමා ඉදිරියටත් එම වැඩසටහන සාර්ථක කර ගැනීමට ජනාධිපතිවරයා හා රජය සමග කැපවන බවද අමාත්‍යවරයා කියයි. යළිත් අඳුරේ අතපත නොගෑ යුතුය. ගොවිජනයා මත එම ව්‍යාපෘතිය බලහත්කාරයෙන් පැටවිය යුතු නැත. ගොවි සංවිධාන දැන් පවසන්නේ මහ කන්නයේ වී අස්වැන්න සියයට 40ත් 50ත් අතර ප්‍රමාණයකින් අඩු විය හැකි බවය. මෙය රටේ පැවැත්මට ජන ජීවිතයට තීරණාත්මක තත්ත්වයකි. රජය පිටරටින් හාල් ගෙන ඒමට සූදානම් වෙයි. ඒ අතරවාරයේ හාල් මිල ගුවන්ගතවී තිබේ. ඇතැම් තැනක හාල් හිඟයක්ද තිබෙන බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

එළවළු මිල තීරණය වීමටද කාබනික පොහොර වැඩසටහන  බලපෑවේය. අල්ල පිරෙන්නට සල්ලි රැගෙන ගොස් මල්ලක් පිරෙන්න එළවළු ගත හැකිව තිබූ රටක් අද පත්ව තිබෙන්නේ මල්ලක් පිරෙන්නට සල්ලි රැගෙන ගියද අල්ල පිරෙන්නට එළවළු මිල දීගත නොහැකි තත්ත්වයකටය. තරාතිරම් බේදයකින් තොරව රටේ පොදු මහජනයා  මෙම අකාරුණික ඉරණමට ලක්ව සිටිති. ක්‍රමානුකූලව පියවරෙන් පියවර ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළක් එක රැයකින් ක්‍රියාත්මක කිරීමට යාමෙන් රටට එම ඉරණම අත්විය.

මහින්දානන්ද අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ කාබනික වගා වැඩපිළිවෙළට සෞඛ්‍ය අමාත්‍යංශයේත් පරිසර අමාත්‍යංශයේත් නිසි සහාය නොලැබුණ බවය. ව්‍යාපෘතියට අනිවාර්යයෙන් දායක කර ගත යුතු අමාත්‍යංශ දෙකක සහාය නොලැබෙන විට ව්‍යාපෘතිය අසාර්ථක වන බව මුලින්ම අවබෝධ කරගත යුතුය. එම තත්ත්වය අදාළ අංශවලට දැනුම්දී නිසි පියවර ගත යුතුය. එහෙත් එවැන්නක් සිදුවී ඇති බවක් නොපෙනේ. ඒ වෙනුවට සිදුවුණේ කෘෂිකර්ම අමාත්‍යංශය ලේකම්වරුන් ගෙදර යැවීමය.

මෙබඳු ව්‍යාපෘති ඇඟෙන් කළ නොහැකිය. කළ යුත්තේ විචාර බුද්ධියෙනි. එසේ විචාර බුද්ධියෙන් වැඩ නොකිරීම නිසා මහින්දානන්ද ඇමැතිවරයාට සිදුවී තිබෙන්නේ තිස් දෙවසරක දේශපාලන ජීවිතය විනාශ කර ගැනීමටය. මේවා අනිත් මැති ඇමැතිවරුන්ටද ආදර්ශයකි. පසුනොතැවී වැඩ කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට කාබනික පොහොර වගා වැඩසටහන ආදර්ශ මොඩලයක් කර ගන්නේ නම් එය අනාගතයට සුබදායක වනු නියතය.

(***)