කොරෝනා මාරාන්තික වයිරසය යම් පමණකට පාලනයවීම සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්ක 18ක ඇඳිරි නීතිය නිශ්චිත කාල සීමාවක් තුළ තාවකාලිකව ඉවත් කෙරුණි. එම ප්‍රදේශවල නැවත 25-26 දෙදින පුරා ඇඳිරි නීතිය පනවා පසුදින පෙරවරු 5.00ට ඉවත් කිරීමට නියමිතය. කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම යන දිස්ත්‍රික්කවල ද ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීම ලබන 27 වැනිදා සඳුදාට නියමිතව තිබේ. ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම මෙසේ තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කිරීමේ රජයේ අරමුණ ලෙස ද ප්‍රකාශයට පත් වී තිබේ.

කොරෝනා මාරාන්තික වයිරසය ගංවතුරක් මෙන් රටපුරා පැතිරී යැම ආරම්භවීමත් සමඟ රට පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය. ඒ මොහොතේ සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ‘රජය මේ මොහොතේ සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත’ බවය.

සැබැවින්ම විය යුත්තේ ද එයයි. රෝග, සාගත, වසංගත සම්බන්ධයෙන් දැනුම තිබෙන්නේ සෞඛ්‍ය විශේෂඥයන්ටය. කළයුත්ත හා නොකළ යුත්ත සම්බන්ධයෙන් නිර්දේශ නිකුත් කිරීමේ බලය එම නිර්දේශවලට යටත්වීම සෙසු සියල්ලන්ගේම වගකීමය. ඒ අනුව ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධ තීන්දුව ද සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් මත ගත් තීන්දුවකැයි අපි විශ්වාස කරමු.

රටපුරා පැවැති ඇඳිරි නීතිය ඉවත් කරනු ලබන්නේ එය පැනවීමට බලපෑ සාධකය හෙවත් අනතුර සහමුලින්ම තුරන් වීමෙන් පසුව නොවේ. දෛනිකව කීයක් හෝ උපයා සපයා ගනිමින් තම දරු පවුල් ආරක්ෂා කරන පිරිස් බොහෝ වෙති. එමෙන්ම විවිධ අවශ්‍යතාවන්ගෙන් පෙළෙන ජනයා ද එසේම වෙති. කඩ සාප්පු වසා දැමීමට සිදුවීම නිසා අපහසුතාවට පත් වූ පිරිස් ද එසේම වෙති. මෙම සියල්ලන්ගේම අවශ්‍යතා යම්තාක් දුරකට හෝ ඉටුවිය යුතුය. ඇඳිරි නීතිය ඉවත් කරනු ලබන්නේ එම අර්ථයෙනි.

නිදහස හා වගකීම යනු සමාන්තරව යෙදිය නොහැකි වචන දෙකක් විය හැකිය. මන්දයත් නිදහස අසීමාන්තිකවීමය. එය අනන්තය තෙක් පැතිරුණකි. එය එසේ වූවද වචනාර්ථය අනුව යමින් නිදහස භූක්ති විඳීමට යනු ‘වල් බූරු නිදහසක්’ භූක්ති විඳීමකි. නිදහස හා වගකීම යනු සමාන්තරව නොයෙදෙන වචන දෙකක් වූවද වගකීමෙන් තොර නිදහස බොහෝ අතුරු ආන්ත්‍රාවක් නිර්මාණය කරන බව පිළිගැනෙන්නේ එහෙයිනි.

කොළඹ කෙසෙල්වත්තේ බණ්ඩාරනායක මාවතේ 146 වත්ත හා ඩිමෙල් වත්ත ප්‍රදේශ මේ මොහොතේ ආදර්ශයක් බවට පත් කර ගත යුතුය. මෙම ප්‍රදේශවලින් පමණක් සොයා ගැනුණු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව පනහක් බව ඊයේ වාර්තා විය. ඒ ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 24 දෙනා ද සමඟින්ය. එකම දිනයකදී වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ලෙස ද එය ඉතිහාසයට එක් වේ.

මෙතරම් අනතුරුදායක තත්ත්වයකට මේ පළාත පත් වූයේ කෙසේද? කොරෝනා රෝගය පැතිරීම සම්බන්ධයෙන් නොයෙක් ආකාරයෙන් ජනතාව දැනුම්වත් කිරීම් සිදු කෙරේ. ඒ සම්බන්ධයෙන් තමන් අවශ්‍ය මට්ටමින් දැනුම්වත් වී නැතැයි යමකු ප්‍රකාශ කරන්නේ නම් ඒ සිහිමද ගතියෙන් පෙළෙන්නකු පමණි. එමෙන්ම ඕනෑම සමාජයක ජීවත්වන සාමාජිකයකුගේ වගකීම වන්නේ තමන් ජීවත්වන සමාජයට අනුගතවීමය. සමාජානුයෝජනය යනුවෙන් හැඳින් වෙන්නේ එයයි.

සමාජයේ ජීවත්වන ඕනෑම පුද්ගලයකුට පෞද්ගලික ජීවිතයක් තිබුණ ද එය සමාජ ජීවිතයට යටත්ය. තමන්ට කැමැති පරිදි, අභිමත පරිදි ජීවත්වීමට තමන්ට අවශ්‍ය යැයි යමකු සිතන්නේ නම්, එය නිදහස යැයි තේරුම් ගන්නේනම් ඒ වූකලී වරද්දා ගැනීමක් මින් අන් යමක් නොවේ. සමාජයේ පොදු තත්ත්වය එයට හිමි නිසි බරින් හඳුනා ගනිමින් කටයුතු කිරීම සෑම සාමාජිකයකුගේම වගකීමකි.

ඇඳිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් ද ඇතැම් පාර්ශ්වවලින් විරෝධයක් මතු වී තිබේ. ඔවුන්ගේ එම විරෝධය ද සාධාරණය. මන්දයත් සමාජයේ එක්තරා පිරිසක් ‘ගාල කඩාගත් හරක්’ මෙන් හැසිරෙන හෙයිනි. එහෙත් මේ මොහොත යනු අපගේ සුළු පමාව හෝ අප වෙත මරණය රැගෙන ඒමකි, එහෙයින් තමනුත් ආරක්ෂා වී රටත් ආරක්ෂා කිරීම සියලු දෙනාගේම වගකීමකි.