නිදහසින් පසු අපේ ජීවිත කාලවලත් ලොකයේ මින් පෙර ඇති නොවූ දැවැන්ත ව්‍යසනයකට අපි මුහුණ දී සිටින්නෙමු. ඒ කොරෝනා වසංගතයටය. ලොව පුරා මිනිස් ජීවිත ලක්‍ෂ 41 කට වැඩි ගණනක් අහිමි කිරීමට මේ වන විට කොරෝනා වසංගතය හේතුවී තිබේ. ඒ වගේම ලොව පුරා නැව්තොට, ගුවන්තොට වසා දමමින් සංචරණ සීමා පනවමින් කර්මාන්තශාලා දහස් ගණනින් අඩපණ කර අවසන්ය.

මේවායේ සේවය කළ අයගේ රැකී රක්‍ෂා කෝටි ප්‍රකෝටි ගණනින් අවහිර කරමින් බඩගින්න, මන්දපෝෂණය හා ලොව දුගීබව වැඩි කරමින් තිබෙන දැවැන්ත ලෝක අර්බුදය වන්නේ කොරෝනා වසංගතයයි.

එහෙත් මේ සියලු දුෂ්කරතා ඇති ලෝකයේ එකම රට ලංකාව වශයෙන් දැකීමට විපක්‍ෂයේ අය යොමුව සිටිති. එය අවාසනාවට කරුණකි. ලංකාවේ විපක්‍ෂයත් ආණ්ඩු විරෝධී බලවේගත් සංඛ්‍යා දත්ත කිසිදු තර්කානුකූල ශාස්ත්‍රීය පදනමකින් තොරව තම තම නෑණ පමණින් විග්‍රහ කර ගැනීම එයට හේතුවය. තම සිතට නැගෙන ඕනෑම අදහසක් බුද්ධිමය දෘෂ්ටියකින් තොරව ඇද බෑමට විපක්‍ෂ සාමාජිකයෝ කටයුතු කරමින් සිටිති. ඒ නිසා ආර්ථික අර්බුදයේ ඇත්ත ස්වරූපය සම්පූර්ණයෙන්ම වසන් වී තිබේ.

ආර්ථිකයේ මේ දිනවල පවතින අර්බුදයේ ප්‍රධාන කොටස් තුනකි. රාජ්‍ය මූල්‍ය පිළිබඳ අර්බුදය ඉන් පළමු වැන්නය. විදේශ විනිමය අර්බුදය දෙවැන්නය. ආර්ථීක ක්‍රියාකාරීත්වය ඇනහිටීමේ අර්බුදය තෙවැන්නය. විෂ්‍යානුබද්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු පවා මෙකී අර්බුද ත්‍රය ගැඹුරෙන් විශ්ලේෂණ කර ඇතැයි මම නොසිතමි. එයට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන් අදහන දේශපාලන දෘෂ්ටිකෝණයෙන් මෙකී අර්බුද කියවාගෙන තිබීමය. බරපතළ අර්බුදයක් එලෙස දේශපාලන පාට කණ්ණාඩියකින් දැකීම බෙහෙවින්ම කනගාටුදාකය.

රාජ්‍ය මූල්‍ය පිළිබඳ අර්බුදය මූලින්ම විමසා බැලිය හැකිය. රාජ්‍ය මූල්‍ය පිළිබඳ ප්‍රධාන වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව  පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවටය. එහෙත් රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම මෙරට පාර්ලිමේන්තුව ඉටුකරන බවක් පෙනෙන්නට නැත. රාජ්‍ය මූල්‍යයට අයත්වන ප්‍රධාන කරුණු කීපයකි. රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම, රාජ්‍ය අයවැය හිඟය හෝ අතිරික්තය, එය පියවා ගන්නා ආකාරය, ඒ සඳහා ණය ගැනීම එකී කරුණුය. පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් පත්කර එවනු ලබන්නේ මෙය සිදුවන්නේ කෙසේද? යන්න ශාස්ත්‍රීය පදනමකින් විග්‍රහ කිරීමටය. රාජ්‍ය මූල්‍යයේ ඇති සියලු මුදල් දේශපාලන පක්‍ෂයක හෝ දේශපාලනඥයන්ගේ පෞද්ගලික වත්කම් නොවේ. ලංකා ආණ්ඩුවට හිමිවන මුළු ආදායමෙන් වැඩි ප්‍රමාණය ලබාගන්නේ ජනතාව මත බදු පැනවීමෙනි. උපතේ සිට මරණය දක්වා ජීවත්වන තාක් සියල්ලෝම ඍජුව හෝ වක්‍රව හෝ රජයට බදු ගෙවිය යුත්තෝය. මෙසේ ගෙවන බදුවලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා භාණ්ඩවල මිලට එකතුව තිබේ. අල, ලූනු, මිරිස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ගත්තත් කල් පවතින භාණ්ඩ හෝ සුඛෝපභෝගී භාණ්ඩ ගත්තත් ඒ සෑම භාණ්ඩයකම මිලට බදු එකතුවී තිබේ. කවුරු ආණ්ඩු කළත් ජනතාව බඩු මිලදී ගන්නා සෑම අවස්ථාවකදීම රජයට බදු ගෙවන බව අමතක නොකළ යුතුය. මේ බදු ආදායම සහ අනෙකුත් ආදායම් වන ලාබ, ලාභාංශ, පොලී, බදු පොලීය ඇත්තේ කුඩා ප්‍රමාණයකි. පාර්ලිමේන්තුව තිබෙන්නේ මේ ආදායම් කළමනාකරණය කිරීමටය. මුදල් අමාත්‍යාංශ ඇත්තේ ද ඒ වෙනුවෙනි.

2020 වසරේ රජයේ මුළු බදු ආදායම රුපියල් බිලියන 1216 කි. රජය එදිනෙදා පවත්වාගෙන යාමට සහ රට දියුණු කිරීමට වියදම් කරන්නේ මෙම මුදල්ය. ලෝකයේ කොතැනකවත් නැති අපූරු වියදමක් මේ රටේ තිබේ. එනම් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්ය.

රජයේ මුළු බදු ආදායමෙන් සියයට 86 ක් කැප කරන්නේ රාජ්‍ය සේවකයන්ට වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමටය. 2020 වසරේ රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් වශයෙන් ගෙවූ මුදල රුපියල් බිලියන 1051 කි. වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවූ පසු රජයේ බදු ආදායෙමන් ඉතිරි වන්නේ රු. බිලියන 165 කි. රාජ්‍ය මූල්‍ය සංඛ්‍යා දත්ත මත මෙවන් රටක් ලෝකයේ වෙන කොතැනවත් සොයා ගැනීම උගහටය. රජයේ ආදායමෙන් වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවු පසු ඉතිරි වියදම් කරන ආකාරය පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනු දැක නැත. මේ වෙනුවෙන් ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග සම්බන්ධ සාකච්ඡාවක් මම නම් අසා නැත්තෙමි.

වසර 2020 දී ගෙන ඇති රාජ්‍ය ණය සඳහා ගෙවිය යුතු පොලිය පමණක් රු. බිලියන 980 ක්ව තිබුණි. වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවූ පසු ඉතිරි වූ මුදල පොලිය ගෙවීමටවත් ප්‍රමාණවත් නොවන බව මෙයින් පැහැදිලිය. පොලිය ගෙවීමටත් තවත් රුපියල් බිලියන 815 ක් හිඟය. සහන දීමට, ප්‍රාග්ධන වියදම් දැරීමට යනාදී සියල්ලටම අවශ්‍ය මුදල් රජය ලබා ගන්නේ ජනතාවගෙනි. 2020 වසරේ දී ප්‍රධානම බද්ද වන වැට්වලින් ලැබුණු මුළු ආදායම රු. බිලියන 233 කි. රාජ්‍ය ණය සඳහා පොලිය ගෙවීමට නම් වැට් බදු ආදායම හතර ගුණයකින්වත් වැඩි කළ යුතුය. එසේ බදු වැඩිකිරීමකට ආණ්ඩුවක් කැමැති වන්නේ නැත. ඒ වගේම ජනතාව ද කිසි ලෙසකින්වත් එවන් ඉහළ බදු ප්‍රතිශතයක් ගෙවීමට සූදානම් නැත. සෑම ආණ්ඩුවකටම වැඩි වශයෙන් ණය ලබා ගැනීමට සිදුව ඇත්තේ මේ නිසාය. ‘‘දියව් දියව් වැඩි වැටුප් දියව්’’ හෝ වෙනත් ඕනෑම දෙයක් දියව් දියව් කියන විට ඊට ප්‍රතිවිරුද්ධව කියැවෙන අදහස ද වටහාගත යුතුය. එනම් ‘‘ගනිව් ගනිව් ජනතාවගෙන් බදු ගනිව්’’ කියන සටන් පාඨයයි. එනිසා උද්ඝෝෂකයන්, විපක්‍ෂය කියන්නේ සටන් පාඨයේ එක් කොටසක් පමණි. දීමට නම් අවශ්‍ය දේ කොහෙන් හෝ ගත යුතුය. එය වටහාගත යුතු කාරණාවකි.

ගැනීමට සිදුවන්නේ රටේ ජනතාවගෙන්මය. ගැනීමට දෙයක් ජනතාව සතු නොවේ නම් ගත හැකි ක්‍රියා මාර්ග දෙකකි. ණය ගැනීම එකකි. දේපල, වත්කම් විකිණීමට දෙවැන්නය. මේ හැර වෙනත් විකල්ප තිබේ නම් ඒ පිළිබඳ සංවාදයක් පාර්ලිමේන්තුවේ ඇතිවිය යුතුය. එහෙත් අවාසනාවකට එවන් සංවාදයක් ඇතිවන්නේ නැත. ඒ නිසාම අපි දැවැන්ත රාජ්‍ය මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින්නෙමු. නිදහසින් පසු දිගු කාලයක් ආණ්ඩුවක් එදිනෙදා පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ආදායමක් නැති නිසා ජංගම ගිණුමේ ඇතිවන්නේ හිඟයකි. ප්‍රාග්ධන වියදම් දැරූ පසු අයවැයේ පුළුල් හිඟයක් ඇතිවේ. එකී අයවැය හිඟය පියවා ගැනීමට නිදහසින් පසු සෑම ආණ්ඩුවක්ම ණය ගෙන තිබේ. ගන්නා ණය ප්‍රමාණය ද එන්න එන්නම වැඩි වෙමින් තිබේ. ණය වාරික සහ පොලී ගෙවීම ද අපහසු තත්ත්වයකට ගමන් කරනු ඇත. මේ අනුව රාජ්‍ය මූල්‍ය අර්බුදය දැවැන්ත අර්බුදයක් ලෙසින් නොවිසඳී ඉතිරිව තිබේ.

දෙවැන්න වන විදේශ විනිමය අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවේ. 1977 විවෘත වෙළෙඳ ප්‍රතිපත්තිය ලංකාවට හඳුන්වාදීමත් සමග වසරින් වසර විදේශ විනිමය අර්බුදයක් නිර්මාණය වීම ආරම්භ වූවේය. වෙනත් ආකාරයකට කියන්නේ නම් ගෙවුමේ ශේෂ අර්බුදයකි. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මුදල් ඇමැති වශයෙන් 1977 වාසිදායක ගෙවුම් ශේෂයක් පවත්වා ගත්ත ද ඉන්පසු කිසි දිනෙක මෙරට වෙළෙඳ ශේෂය වාසිදායක වී නැත. අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩිවීම එයට හේතුවය. සාමාන්‍යයෙන් වසරක දී මෙරටින් කරන අපනයනවල වටිනාකම ඩොලර් බිලියන දහයක් එකොළහක් පමණය. රටට අවශ්‍ය පරිභෝජන භාණ්ඩ, අන්තර් භාණ්ඩ හා ආයෝජන භාණ්ඩ ආනයනය වෙනුවෙන් වසරක දී කරන වියදම ඩොලර් බිලියන 22 ක් පමණය. එනිසා සෑම වසරකම අඩු වැඩි වශයෙන් බිලියන දහයක පමණ හිඟයක් වෙළෙඳ ගිණුමේ පවතී.

මේ තත්ත්වය යහපාලනය යටතේ බෙහෙවින් නරක අතට හැරුණේය. විදේශ විනිමය සමග වක්කඩ කැඩුවා සේ ඔවුන් සෙල්ලම් කිරීම එයට හේතුවය. මෝටර් රථවාහන පමණක් නොව තේ, රබර් පවා ආනයනය කළේය. පාට පැන්සල්, සරුංගල් පවා මෙරටට ආනයනය ආරම්භ කළේ මහා පොහොසත් රටක් මෙනි. ආනයන භාණ්ඩවලින් වෙළෙඳපොළ පිරී ගියේය. දේශීය කර්මාන්ත වැසී ගියේය. එවිට කළේ විදේශවලින් තව තවත් ණය ගෙන භාණ්ඩ ආනයනය කර වෙළෙඳපොළ පිරවීමය. යහපාලනයේ අවසන් මාස 18 දී ජාත්‍යන්තර වෙළෙඳපොළට ගොස් අධික පොලියට ඩොලර් බිලියන 6.5 ක් එනම් මෙරට සංචිතවලටත් වැඩි ගණනක් ණයට ගත්තේය. මේවා ඉතා භයානක වන්නේ කල් පිරෙන දිනට පොලිය සමග සියල්ල එකවර ගෙවීමට සිදුවන විටය. සංවර්ධන බැඳුම්කර මගින් ලබාගන්නා ණයවල තත්ත්වය එයයි.

ඒ අනුව මේ මාසයේ දී කල් පිරෙන ඩොලර් බිලියනකට වැඩි ගණනක බැඳුම්කරයක් පියවීමට තිබේ. එනිසා මහා භාණ්ඩාගාරයත් ශ්‍රී ලංකා මහ බැංකුවත් දැඩි ප්‍රයන්තයක් දරා මේ ණය මුදල එකවර ගෙවා දැමීමට අවශ්‍ය ඩොලර් රැස්කරගෙන තිබේ. මේ නිසා රට සතු විදේශ සංචිත තවත් අඩු වන්නට පුළුවන. එහෙත් කිසි විටෙකත් විදේශ ණය ගෙවීම පැහැර නොහැරි රටක් ලෙස නැවතත් ලංකාවට අලුත් ආරම්භයක් ලබාගත හැකිය.

ලංකාවේ වැඩිම විදේශ සංචිතය පැවතියේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා යහපාලනයට රට බාරදෙන අවස්ථාවේදීය. එය ඇ. ඩොලර් බිලියන 8.2 කි. ඉන්පසු කිසි දිනෙක එම පමණට විදේශ සංචිත නංවා ගැනීමට හැකිව නැත. දිගින් දිගටම සිදුව ඇත්තේ අඩුවීමකි. මෙසේ විදේශ සංචිත අඩුවන විට විපක්‍ෂය සිතන්නේ සියල්ල අඩපණ වී මෙතැන් ආර්ථිකය නතර වෙයි කියාය. එය අනවශ්‍ය භීතිකාවකි. ජාත්‍යන්තර සංචිතය මීට වඩා අඩු වූ අවස්ථා තිබුණි. වසර 2000 දී මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 1.0 කි. 2001 දී ඩොලර් බිලියන 1.3 කි. එවැනි මට්ටමකට විදේශ සංචිතය වැටුණත් එකී කාලවලදී ද ආර්ථීකය පවත්වාගෙන ගියේය. එනිසා මෙකී අර්බුදය කළමනාකරණය කරගැනීමට මීට වඩා වගකීමකින් පාර්ලිමේන්තුව කටයුතු කළ යුතුය. විදේශවල රඳවාගෙන තිබෙන හෝ ස්වජාතිකයන් සතුව මුදල් තිබේ නම් ඒ සියල්ල මෙවැනි විනිමය අර්බුදයකදී ගෙන්වාගත යුතුය. ඒ වගේම ඍජු විදේශ ආයෝජන හැකිතාක් ඉහළ නංවා ගැනීම අවශ්‍යය. භාණ්ඩ හා සේවා අපනයන ඉපැයුම් වැඩි කරගත යුතුය. සංචාරක ව්‍යාපාරයෙන් වසරක දී ඩොලර් බිලියන පහකට ආසන්න ගණනක් ලැබුණි. පාස්කු ප්‍රහාරයෙන් පසු සංචාරක ව්‍යාපාරය කඩා වැටුණේය. කොරෝනාවත් සමග එම ව්‍යාපාරයට යන එන මං නැති වුණි. එනිසා මේ විනිමය අර්බුදයට මුහුණදීමට සංචාරක ඉපැයීම් කෙසේ හෝ ඉහළ නංවාගත යුතුය. රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ග ඇහිරී ගියහොත් කොරෝනා එන්නත ගෙන්වා ගැනීමට ණයවර ලිපියක් විවෘත කර ගැනීමටවත් නොහැකි වන්නට පුළුවන. එනිසා මේ අර්බුදය රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් එක්වී පරෙස්සමෙන් කළමනාකරණය කරගත යුතුය.

ආර්ථික පසුබෑම තෙවැන්නය. මේ පසුබෑම ඇති වූයේ ගෝඨාභය ජනාධිපතිවරයා අසමත් නිසා නොවේ. මේ පසුබීම ආරම්භවූයේ 2015 පටන්ය. 2015 ට පෙර ලංකා ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් යටතේ අඛණ්ඩව ආර්ථික වර්ධනය අඩු වී නැත. එසේ වූයේ යහපාලනය යටතේ පමණි. එය එසේ නොවේ යැයි හැකි නම් ඔප්පුකරන ලෙස ඕනෑම ආර්ථීක විශේෂඥයකුට මම අභියෝග කරමි. එම යුගයේ වසරින් වසර රට වැටුණි. ඒකපුද්ගල ආදායම අඩුවීමට පටන් ගත්තේය. මහින්ද යුගයේ 7.4 ක්ව පැවැති ආර්ථික වර්ධන වේගය 2019 වන විට සියයට 2.3 දක්වා අඩු වූයේ යහපාලනය යටතේය. එනිසා සුමටව තිබූ රටක් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා බාරගත්තේ යැයි කෙනකු සිතන්නේ නම් එය වැරැදිය.

වැටී තිබූ රට බාරගත් වහා කළ යුතුව තිබුණේ උත්තේජක පැකේජ කීපයක් ලබාදීමය. බදු සහන පැකේජයක් වහාම ලබා දුන්නේ ඒ අනුවය. යහපාලනය කළ බදු දඩයම ඉවත්කර ජනතාවට සහන දුන්නේය. වැට් බදු බර සියයට 8 ට අඩු කළේය. ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කළේය. උපයන විට ගෙවීමේ බද්ද අයින් කළේය. ආදායම් බදු සියයට 14 දක්වා අඩු කළේය. මෙසේ කළේ ජනතාව මත පටවා තිබූ බදු පීඩනය ඉවත් කිරීමටය. පාස්කු ප්‍රහාරයෙන් පසු ණය වාරික, පොලී ගෙවාගත නොහැකි වූ කර්මාන්ත, ව්‍යාපාර සියල්ල වැසී යාමේ අවදානමක තිබුණි. ඒ සියල්ලේ ණය අය කර ගැනීම නතරකර මේ දක්වාම ණය සහන පැකේජයක් ලබා දී තිබේ.

මෙයට අමතරව පොලී සහන පැකේජයක් ද ලබා දුන්නේය. ආණ්ඩුවේ මෙන්ම ව්‍යාපාරික ආයතනවල පොලී වියදම් දැරිය නොහැකි මට්ටමට පත්ව තිබුණි.

යහපාලනය යටතේ පොලිය සියයට 28 ට ඉහළ නැග තිබුණි. තනි ඉලක්කමේ පොලී අනුපාතයක් නැතිව ලොව කිසිදු රටක් දියුණු වී නැත. එනිසා මේ වන විට පොලී අනුපාතය තනි ඉලක්කමක අගයකට ගෙන එමින් නිෂ්පාදකයන්ට ව්‍යාපාරිකයන්ට හුස්ම ගතහැකි තත්ත්වයක් නිර්මාණය කර තිබේ.

උපාධිධාරීන් 60,000 කට රැකියා සහන පැකේජයක් දුන්නේය. මේ අය පමණක් නොව කම්කරු ශ්‍රමිකයන් ලක්‍ෂයක් බඳවා ගැනීමට ද කටයුතු කළේය. මේ වනවිට එයින් 36,000 ක් බඳවාගෙන අවසන්ය. මේ සියල්ල අතර කිසිදු සංවර්ධන කටයුත්තක් නතර කර නැත. මෙවන් කටයුතු කර දරුණුම වසංගතයට මුහුණ දෙමින් සිටින බව ඕනෑම කෙනකුට වැටහෙන කාරණයයි.

කොරෝනා වසංගතය නිසා ආර්ථික වර්ධන වේගය ඍණ 3.2 වුණි. මෙවන් පසුබෑමක් ඇති වූ පසු එය දවසකින් දෙකකින් ප්‍රාතිහාර්යකින් කළමනාකරණය කළ නොහැක. බැසිල් මුදල් ඇමැති වූ නිසා බඩු මිල අඩුවේ යැයි යම් අය කියන්නේ නොදැනුවත්කම නිසාය. ඉහත පෙන්වා දුන් ආර්ථික යථාර්ථය සමග එවන් දේ කළ නොහැක. ඉතාම දුෂ්කර අවධියක ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට නව මුදල් ඇමැතිට සිදුවනු ඇත. ඒ බව ඔහු නොකියා කියා තිබුණි. ආණ්ඩුව යමක් දෙනවා නම් එයට අවශ්‍ය මුදල් ජනතාවගෙන්ම අයකරගත යුතුය. එසේ නොවන ක්‍රමයක් ලොව නැත.

(*** සටහන - චමින්ද මුණසිංහ)