(බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)
bingungamage88@gmail.com, tharindudld@gmail.com

දිනය නොවැම්බර් 13 වැනිදා  ය. වේලාව සවස 4.30ට පමණ ඇත. ගාල්ල, ගිංතොට විදානගම මහ පාර දිගේ තනි රෝදයෙන් පැමිණි යතුරු පැදිය නතර වුණේ මවක හා වයස අවුරුදු එකහමාරක දරුවකු ද තුවාල කරමිනි. සාමාන්‍ය රිය අනතුරකදී මෙන්ම මෙහිදී ද අවට වටපිටාවෙන් ලැබෙන ත‍්‍රාසයත් උද්වේගයත් මුසු ප‍්‍රතිචාර වෙනස් නොවිණි. කෙසේ වුවද එය හුදෙක්ම සාමාන්‍ය රිය අනතුරක්ම විය. අනතුරෙන් තුවාල වූ තිදෙනාටම රෝහල්ගත වන්නට සිදුවිය. යතුරුපැදිකරු නේවාසික ප‍්‍රතිකාර අවසන රෝහලෙන් පිටව යද්දී පොලිස් අත්අඩංගුවට පත්විණි. ඔහුට එල්ල වුණේ අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමේ චෝදනාවය. රුපියල් 25 000 ක මුදලක් වින්ධිතයන්ට ලබාදීමට යතුරුපැදිකරු කටයුතු කළ අතර සිදුවීම ද එතෙකින් සමථයකට පත්විය. පළමු සිදුවීම ද එතැනින් ඉවරය.

දෙවැනි සිදුවීම වූයේ ඉන් දින තුනක් ගිය තැන නොවැම්බර් 16 වැනිදාය. දිනයේ වෙනස හැරුණුවිට නැවත වූයේ එකම සිදුවීමය. නැවතත් සිදුවූයේ යතුරුපැදි අනතුරකි. කිසිවෙකුටත් තුවාලයක් නොවුණු අතර එය පොලිස් පොතට ද ගියේ නැත. එහෙත් මේ කතාවේ තුන් වැනි සිදුවීම කියන්නට පෙර පළමු සිදුවීම් දෙකේ වෙනත් සාධකයක් ගැන කියන්නට දැන් අපට සිදුවේ. ඒ අන් කවරක් නිසාවත් නොව ගම් දනව් සිසාරා ජාතිවාදී කලබලයක් දක්වා ගිනි අවුල්වාගන්නට පදනම් කරගත්තේ එම සාධකයම වන බැවිනි. පළමු සිදුවීමෙන් අනතුරට පත්වූයේ මුස්ලිම් ජාතිකයන් වූ අතර දෙවැනි සිදුවීමෙන් අනතුරට පත්වූවෝ සිංහල ජාතිකයෝය.

එහෙත් එදින සවස විදානගම දී ලියැවුණේ ඊට වෙනස් කතාවකි. යතුරුපැදියක නැගී ගිය මුස්ලිම් තරුණයන් දෙදෙනකුට සිංහල තරුණයෝ පිරිසක් පහර දුන්හ. පහර කෑමෙන් තුවාල ලද මුස්ලිම් ජාතිකයකු කරාපිටිය රෝහලට ඇතුළු කෙරුණු අතර මෙම රිය අනතුරු හා ජාතිකත්වයන් එකට පටලවා ගත්තේ ඉන් පසුවය.

මුස්ලිම් ජාතිකයකු වන හිටපු එක්සත් ජාතික පක්ෂ ප‍්‍රාදේශීය දේශපාලකයකු සිය සහචරයන් මෙහෙයවා විදානගම නිවාස දෙකකට අලාභහානි සිදු කර ඇත. මේ පහර කෑමෙන් තුවාල ලද සිංහල ජාතිකයකු කරාපිටිය රෝහලට ඇතුළු කෙරුණි. ගැටුම් දුර දිග යන විට ගමට පොලිස් ආරක්ෂාව යෙදුණු අතර අදාළ ප‍්‍රාදේශීය දේශපාලකයා ද පොලිසිය අත්අඩංගුවට ගන්නා ලදී.

17 දා උදෑසන වනවිට ගිංතොට තත්ත්වය සමනය වී තිබූ අතර 16 වැනිදා උදේ සිදු වූ පහර දීමට සැක පිට සිංහල තරුණයන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. පෙර දිනයේ අත්අඩංගුවට ගනු ලැබූ ප‍්‍රාදේශීය දේශපාලකයා ද ඇතුළුව මේ තිදෙනාම 20 වැනිදා වන තුරු රිමාන්ඞ් කරන ලෙස අධිකරණයෙන් නියෝග කෙරිණි. පොලිසියත්, රාජ්‍ය නිලධාරිනුත් දෙපාර්ශ්වයේම ආගමික නායකයන් හා ප‍්‍රාදේශීය දේශපාලකයෝත් රැස්ව නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් සමනය කරගන්නේ කෙසේදැයි සාකච්ඡාවක් ද ආරම්භ කළහ.
දුර්මතවලට අත්තටු ලැබෙන්නට පටන් ගත්තේ මේ අතරේය. හුදෙකලා රිය අනතුරු පටලවාගෙන උත්සන්න කෙරුණු වාර්ගික ආතතීන් ෆේස් බුක් ආදී සමාජ මාධ්‍ය ජාලා හරහා වේගයෙන් පැතිරෙන්නට වූයේ ලෝකය වෙඩි බෙහෙත් ගබඩාවක්ය යන්න නැවත නැවතත් ඔප්පු කරමිනි.

ගිංතොට සිදු වූ ගැටුම ගැන කියද්දී ඇත්ත වශයෙන්ම වැඩිම අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ මෙම බොරු ප‍්‍රචාරය. මන්දයත් කුඩා සිදුවීමක් මහා බිහිසුණු සිදුවීම් මාලාවක් බවට පත් කරන්නේ කෙසේද යන්නට හොඳම උදාහරණයක් එයින් සැපයෙන බැවිනි.

මෙම සිද්ධියේ ප‍්‍රචාරණ යාන්ත‍්‍රණයේ පළමු වටයේදී ප‍්‍රචාරකයන් උත්සාහ කළේ ගාල්ලේ ගිංතොට මහා වාර්ගික සුද්ධයක් සිදුවෙමින් පවතින්නේ යැයි සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට සන්නිවේදනය කිරීමටය.ළඟ ළඟ එන මැතිවරණවලදී සිය ජාතිකවාදී ඡන්ද පදනම් ජයග‍්‍රහණයට පාර කපනු නියත යැයි විශ්වාස කළ දේශපාලකයෝ එහි පෙරමුණේ වූහ.

බිහිසුණු ප‍්‍රහාරයක් සිදුවන මහ රැයේ ජනමාධ්‍යට යුද පිටියට පිවිසීම පහසු නැත. මේ නිසා බාහිරින් කිසිවකුටත් ඇතුළුවීමට බිය ගෙන දෙන ‘මරණයේ අඩවියක්‘ හැටියට ගිංතොට චිත‍්‍රණය කිරීමට ඔවුහු කටයුතු කළහ. ව්‍යාජ මෙන්ම සැබෑ ෆේස් බුක් ගිණුම් ඊට හොඳම ප‍්‍රකාශන මාධ්‍ය විය. බැලට් එක වැඩිවන්නේ බුලට් එකෙන් යැයි විශ්වාස කළ දේශපාලකයන් සේවයට ගිනි අවුලා පසෙකට වෙද්දී අපේ උන් බේරාගැනීමේ මනෝරාජික යුද්ධය මහපොලොවේ ඇත්තක් වූයේ ඉන්පසුවය. ගල් ගෙඩි, දඩු මුගුරුවල පටන් කඩු, කිනිසි, පෙට‍්‍රල් බෝම්බ භාවිතය දක්වා ඇත්තක් වූයේ ඉන්පසුවය. සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට මාර්ගෝපදේශ පතා ආගමික ස්ථානවලට රැස්වූවන්ට ද ඇතැමුන්ගෙන් ලැබුණේ අහිංසාවාදී උපදේශ නොවේ.

‘‘ඇත්තටම අපි  ඕවාට පැටලූණේ නෑ. අපි දන්න මිනිස්සු. ඇක්සිඩන්ට් එකයි මේ ගැටුම් අතරයි සම්බන්ධයක් නෑ. දෙපැත්තටම ගැහුවේ පිට ගම්වලින් ඇවිත්. මේක කොච්චර අවුල්ද කියනවා නම් මල්ලි සමහරු ගහල තියෙන්නේ තමන්ගේම ජාතියේ අයගෙ ගෙවල්වලට. ගමේ අය අතර එහෙම ප‍්‍රශ්නයක් තිබුණේ නෑ. හැබැයි මේ සිදුවෙන දේවල් නිසා තමයි හිත් රිදීම් වෙන්නේ. මේවායේ තනිකරම තියෙන්නේ දේශපාලනය. හෙට අනිද්දා ඡන්දෙ එනවා. දෙපැත්ත අවුස්සලා තමන්ගෙ ඡන්ද ගන්නෙ කොහොමද කියලයි දේශපාලනය කරන අය බලන්නේ. පක්ෂවල ලොකු ලොක්කොත් මේවා දන්නවා. දෙපැත්තෙම ඉන්න වැඩි දුර දිග හිතන්නේ නැති අය මේවාට අහුවෙනවා. ඒක අපරාධයක්. ’’නම හෙළි නොකිරීමේ පොරොන්දුව පිට මේ කතාව අපට කීවේ රාජ්‍ය සේවයේ නිරත ගිංතොට ගම්වැසියෙකි.

ගිංතොට ගම්වැසි ජනයා පවසන පරිදි මේ පහරදීම්වලට ඔවුන්ගේ සම්බන්ධයක් නැත. එහි සිටියෝ හුදෙකලා සිදුවීම් එක් කතා වස්තුවක් හැටියට ගලපන ලද දේශපාලනය විසින් උත්තේජනය ලද අසල්වැසි ගම්වල පිරිස්ය. මුග්ධභාවයත් අවිද්‍යාවත් කැට කැබැලිති බවට පත්වෙද්දී නිවාස හා දේපොළ රැසක්ම හානියට පත්වූයේ කිසිවකට සම්බන්ධයක් නැති මිනිසුන් රැසක්ම අසරණ කරමිනි. වීදි ලාම්පු නිවමින් නිවාසවලට පහර එල්ල වූ අතර ප‍්‍රධාන මාර්ග ඔස්සේ ආරක්ෂක හමුදා පැමිණෙද්දී ප‍්‍රහාරකයෝ අතුරු මාර්ගවලට පසුබැස්සාහ. නිවාස මෙන්ම ත‍්‍රීරෝද රථ, යතුරු පැදිවලින් ගිනි දෙවියන් පුදද්දී පොලිසිය ද අවශ්‍ය තරමින් කඩිනම් වී තිබුණේ නැතැයි ප‍්‍රදේශවාසීහු කියති.

ආරක්ෂක අංශ මහපාරේ සිටි ප‍්‍රකෝපකාරීන් පාලනය කරන ලදී. එහෙත් වඩා වැදගත්ම ක‍්‍රියාවලියක් ඔවුන්ගේ පාලනයෙන් බැහැරව අනවරතව සිදුවිය. ඒ, අප පෙර කී සමාජ මාධ්‍ය ජාලාය. කලබලය පහවීමෙන් පසුව ද ඇතැම් ෆේස් බුක් ගිණුම් දිගටම ක‍්‍රියාත්මක වෙමින් කීවේ සිංහල මුස්ලිම් සංහාරයක් ගිංතොට සිදුවෙමින් පවතින බවය. ඒ බොහෝ ගිණුම්වලින් යෝජනා කෙරී තිබුණේ ගිංතොටට කිසිදු ආරක්ෂාවක් නැති බැවින් ප‍්‍රහාරක බල ඇණි සංවිධානය විය යුතුය කියාය. රජයෙන් නිසි තොරතුරු සන්නිවේදනයක් නොවූයෙන් නිදිවර්ජිතව සිටි ගාලූපුර වැසියන්ගේ ප‍්‍රවෘත්ති මූලාශ‍්‍රය වූයේ ද ෆේස්බුක්ය. ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා සැලකෙන්නේ සක‍්‍රීය සමාජ මාධ්‍ය කතිකාවක් නඩත්තු කිරීමට දැඩි වෙහෙසක් ගන්නෙකු හැටියටය. අවාසනාවකට මෙන් මෙම කලබලකාරී තත්ත්වය හමුවේ එවැනි කුඩා උත්සාහයන් පවා තිබුණේ පසුබා ගිය තැනකය.

නගරය ගිනියම්වන්නට වූයේ ගිංතොට ප‍්‍රහාරයේ විස්තරාත්මක සටහන් රැගත් ඡායාරූප සමාජ මාධ්‍යවල එක දිගට පළවීමත් සමගය. දුම් දමන ගොඩනැගිලි අතරේ වැටී ඇති මලමිනී දැකීමෙන් මිනිස්සු තවත් කලබල වූහ. එක පිංතූරයක වූයේ බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනය කෙරුණු ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ ඇමැතිවරයාගේ සිරුරය. ඒ පිංතූරවලින් අතිශය බහුතරය එල්.ටී.ටී.ඊ ප‍්‍රහාරවල ඒවා බව ජනතාව නොදැන සිටියහ. එවැනි විමසීමක් කිරීමට අවශ්‍ය විවේක බුද්ධිය ද ජනතාවගෙන් උදුරා ගැනීමට තරම් ෆේස්බුක් ප‍්‍රචාරකයෝ බලවත්ව සිටියහ. මේ නිසා ගිංතොටදී දෙදෙනකු මරා දමා ඇතැයි යන කුප‍්‍රකට කතාව ද ගාලූ වැසියෝ විශ්වාස කරන්නට පටන්ගත්හ. මෙම ව්‍යාජ පුවත් මැවීම් කෙතරම් උත්ප‍්‍රාසජනක අන්තයකට ගොස් තිබුණාදැයි කිවහොත් ගිංතොට ගැන ගිංතොට වැසියකු පවා කරන ප‍්‍රකාශයක් ප‍්‍රතික්ෂේප කරන්නට තරම් ඇතැම්හූ ෆේස්බුක් ගැන විශ්වාස කළහ. මේ නිසා 18 වැනිදාට දකුණු ලකේ අග නගරයට හිරු උදාවූයේ නගර වැසියන් අවිනිශ්චිත භාවයක ගිල්වමිනි. ඇඳිරි නීතිය උදේ 9.00 ට ඉවත් කෙරුණ ද පොලිසියත් ආරක්ෂක හමුදාත් සීරුවෙන් තැබුණේ ඒ නිසා විය යුතුය.

ස්වදේශ කටයුතු ඇමැතිවරයා මෙන්ම ගාල්ල දිස්ත‍්‍රික් එජාප ප‍්‍රබලයකු වන වජිර අබේවර්ධන ඇමැතිවරයා ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වූයේ ඉන්පසුවය. ගිංතොට ගැටුමින් නිවාස හැට හයකට, වාහන දහයකට, වෙළෙඳ සල් විසි තුනකට හානි සිදුව ඇති බවත් සියලූම හානි සඳහා වන්දි ගෙවීමට රජය කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී කීවේය. දිසාපතිවරයාගේ සහ ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ මෙහෙය වීමෙන් ග‍්‍රාම නිලධාරීන් හරහා අවශ්‍ය වාර්තා ලබාගන්නා බව කී හෙතෙම අලාබහානි සියල්ල ඇස්තමේන්තු කළ පසු වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන්නේ යැයි ද කීය.

අසත්‍ය ප‍්‍රචාර පැතිර වීමෙන් වළකින්නැයි පොලිස් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිය ද කට කතාවල අඩුවක් වුණේ නැත. මේ නිසා එදින සැන්දෑවේ නැවතත් අමාත්‍යවරුන්, ආගමික නායකයන් හා ප‍්‍රජා නායකයන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා පැවැත්විණි.

කෙසේ වෙතත් 18 වැනිදා ද සවස 6.00 සිට පොලිස් ඇඳිරි නීතිය අදාළ ප‍්‍රදේශයට පැනවිණි. ඒ පසු දින උදේ 6.00 වනතුරුය. ලියුම්කරුවන් මේ දෙදිනම ප‍්‍රදේශයේ සංචාරයෙහි නිරත වූ අතර එය බොහෝදුරට දර්ගා නගරයේ කලබලයෙන් පසුව උදා වූ පරිසරයට සමාන විය. ආරක්ෂක අංශවල සාමාජිකයන්, බෆල් රථ, ජල ප‍්‍රහාරක රථ සමග පරිසරය වෙනස් වී ඇති තම ගම්මානයේම ජනයා එහා මෙහා ගියේ ආගන්තුකයන් මෙනි. මෝරමින් තිබූ භීතියත් අවිශ්වාසයත් නිසා නාඳුනන සියලූ දෙනා දෙස ඔවුන් බැලූවේ සැකයෙනි.

මෙම සිදුවීමේදී බොහෝ දෙනා ප‍්‍රශ්න කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්යභාරයයි. ඊට එක් හේතුවක් නම් අවට පරිසරය ගැන නිසි තොරතුරු පොලිසිය සතුව තිබුණේද යන සැකයයි. විශේෂයෙන්ම පොලිසිය නීතිය හා සාමය ආරක්ෂා කරගැනීම සඳහා නොමදව සහාය කරගන්නා ප‍්‍රජා පොලිස් සංකල්පය ගිංතොටදී හරියාකාරව ක‍්‍රියාත්මක වූයේද? මෙම සංකල්පයට අනුව සෑම ගමකම ප‍්‍රජා පොලිස් කමිටු පිහිටුවා ඇති අතර ගම්වැසියන් හා පොලිසිය අතර හොඳ සන්නිවේදනයකට එය අත්වැලක්වේ. එක්තරා ආකාරයකට එය බුද්ධි තොරතුරු ජාලයක් හැටියට ද සැලකිය හැකිය. එහෙත් 13, 16, 17 ආදී සිදුවීම් දාමය පෙළගැසුණු ආකාරය දෙස බලද්දී බැලූ බැල්මටම  ඕනෑම කෙනෙකුට මතුවන සරල ප‍්‍රශ්නවත් ප‍්‍රදේශය බාර පොලිස් ප‍්‍රධානීන්ට මතු වුණේද යන්න ප‍්‍රශ්නයකි. එසේ වී නම් සංවිධානාත්මක පහරදීමකට ඉඩකඩ සැලැසුණු රැකවල් නිදහස් කිරීමක් සිදුවන්නට බැරිය. ගාල්ලේ මුස්ලිම් වැසියන් වැඩිපුර ජීවත්වන සරෙන්තුකඬේ, තනිපොල්ගහ ආදී ප‍්‍රදේශවලට රැකවල් ලන්නට පොලිසිය කටයුතු කිරීම ප‍්‍රශස්ත පියවරක් වුවද කලබලය පැවැති පෙදෙසින් රැකවල් ලිහිල්වීම ආරක්ෂක ජාලයේ පැහැදිලි දුර්වලතාවකි. නීතිය හා සාමය බාර ඇමැතිවරයා ලෙස සාගල රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් ව්‍යාජ පුවත් පතුරවන්නන්ට අනතුරු ඇඟවීමක් කළ ද ලොකු වෙනසක් වී තිබුණේ ද නැත.

මේ අතරේ පොලිස්පති පූජිත ජයසුන්දර, පොලිස් මූලස්ථානයේ සහායක සේවා බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී සහ පොලිස් අපරාධ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ්, පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති රණවීර, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර, ප‍්‍රජා පොලිස් අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ප‍්‍රියංකර ඇතුළු පිරිසක් කොළඹ සිට ගිංතොටට පැමිණ තත්ත්වය පාලනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කළහ. කෙසේ වුවද 19 වැනිදා උදේ වනවිට වාර්තා වූ තොරතුරුවලට අනුව යතුරුපැදි නවයක්, වෑන් රථයක්, වෙළෙඳ සල් 20 ක්, නිවාස 90 ක්, ත‍්‍රීරෝද රථ 8 ක්, ඩිමෝ බට්ටා ලොරියක් හා පල්ලියකට හානි සිදු වී තිබුණි. ඒ අතරේ දේපොළ සොරකම් ද 8ක් විය. (ලිපිය මුද්‍රණයට යනවිට මේ අගයන් වැඩිවිය හැකිය.) 19 වැනිදා දහවල් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ද ගිංතොට ප‍්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එදින රාත‍්‍රියේ ද පොලිසිය හා ආරක්ෂක අංශ පෙර මෙන්ම රැකවලේ නියුතුව සිටි අතර පරිසරය සාමාන්‍ය තත්ත්වයට පත්වූයේ ක‍්‍රම ක‍්‍රමයෙනි. කෙසේ වෙතත් සැකකරුවන්ට අධිකරණයට ඉදිරිපත් කිරීමේදී පොලිස් දෙපාර්තමේන්තුව යොදාගෙන තිබුණේ බලගතු පනතකි. ඒ, 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියයි. ඒ යටතේ ඉදිරිපත් කෙරෙන සැකකරුවකුට ඇප ලබාගත හැක්කේ මහාධිකරණයන් පමණක් වන අතර එයට ද සුවිශේෂී හේතුවක් තිබිය යුතුවේ. මේ අතර පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවැසුවේ අසත්‍ය පුවත් පැතිරවූවන් සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් වෙනම පරීක්ෂණයක් දියත් වන බවය. එය හොඳය. ජන සමාජයක් අවිද්‍යාවට හා සාහසිකත්වයේ විෂම චක‍්‍රයකට දමන්නන් ගැන නීතිය ක‍්‍රියාත්මක විය යුතුය. එහෙත් සමාජ මාධ්‍ය පර්යේෂකයන්ගේ අදහස වන්නේ ආණ්ඩුව මේ සිදුවීමෙන් ඊට එහා ගිය අත්දැකීමක් ලබාගත යුතු විෂය ක්‍ෂේත‍්‍රයක් ඇත යන්නයි. ඒ සමාජ මාධ්‍ය හැසිරවීම හා රාජ්‍ය පාලනාධිකාරින් ඊට බද්ධ වන ආකාරයයි.  

ගාල්ල යනු එල්.ටී.ටී.ඊ. කලබල පැවැති සමයේ ද සාමය ආරක්ෂා වූ තැනක් යැයි වජිර අබේවර්ධන ඇමැතිවරයා දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී අවධාරණය කළ කරුණකි. සැබැවින්ම ඇමැතිවරයා නොකීව ද එය මුළු ගාල්ලම දනී. දැන් ආණ්ඩුව කළ යුත්තේ සිදුවීම ගැන කනගාටු වීමටත් වඩා නැවත මෙවැනි සිදුවීම් ඇති නොවන තැනට වැඩ කිරීමය. වළකට වැටීම මොළයට හොඳය. එහෙත් වාර්ගික ආතතින්වලට මුහුණ දීමට යාන්ත‍්‍රණ සැකසීම සුනාමි පෙරපුහුණු පවත්වනවා මෙන් සංවිධානය කළ නොහැකිය. එනිසා මේ සිදුවීම් පසුපස ඇති දේශපාලන හස්තයන් වහ වහා අනාවරණය කර වැරැුදිකරුවන් නීතිය හමුවට පැමිණවීම කඩිනමින් විය යුතුය. ඔවුන්ට පුංචි ඡුන්දයේදී නාම යෝජනා ලබා දෙන්නේද යන්න ගැන ජනතාව සිටින්නේ අවධානයෙනි.

 

‘ආණ්ඩුව තාම ඉන්නේ 90 දශකයේ ’’ - සමාජ ජාලා විශ්ලේෂක සංජන හත්තොටුව

2014 අලූත්ගම සිද්ධිය දෙ බැලූවොත් ඒ සිද්ධිය ගැන කථිකාවක් ගොඩ නැගුණේ සම්පූර්ණයෙන්ම සමාජ මාධ්‍ය හරහා. 2017 වෙනකොට මේ තත්ත්වය යම් තරමකට වෙනස් වෙලා. මෙවැනි සිදුවීම්වලදි පුරවැසියන් සිද්ධි විග‍්‍රහ කරන්න පෙළෙඹෙන්නේ සමාජ මාධ්‍ය හරහා. මෙවැනි සිද්ධියක් බොහෝ විට මුලින්ම වාර්තා වෙන්නෙත් සමාජ ජාල මගිනුයි. ඒවා සමාජ ජාලා හරහා වාර්තා වෙන්නේ ජනමාධ්‍ය දෘෂ්ටි කෝණයෙන් නොවෙයි. මේවා වාර්තා වෙන්නේ පුරවැසි දෘෂ්ටි කෝණයෙන්. එවිට විශ්වසනීයත්වය ගැන ප‍්‍රශ්න මතුවෙන්න පුළුවන්. වාර්තා කිරීම වෙන්නේ පුද්ගලානුබද්ධවයි.

දේශපාලන වාතාවරණය 2014ට වඩා වෙනස් වුවත් එදා වගේම බොහෝ දෙනෙක් විද්වත් සංවාද ගෙනියන්නේ බොහෝවිට ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහායි. ආචාර්ය මහාචාර්යවරුන්, සමාජ විශ්ලේෂකයන් වගේම බොහෝ මාධ්‍යයවේදීනුත් සමාජ මාධ්‍ය හරහා විග‍්‍රහ ඉදිරිපත් කරනවා. පසුගියදා සිදුවීම වැනි සිදුවීම් නිසා ආණ්ඩුව කියනවා නම් සමාජ ජාල පරිහරණය කරද්දි මේ ආකාරයට පරිහරණය කළ යුතුයි කියලා ඒක හරියට දෙහිවල සත්තුවත්තේ ඉන්න සතුන් ඔක්කොටම එකම කෑමක් කන්න කියනවා වගේ තමයි.

සමාජ ජාලවල හැසිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට තවමත් හරි අවබෝධයක් නෑ. සමාජ මාධ්‍යවලට තහංචි දමන්න කතා කරන්නේ ඒ නිසයි.  සමාජ මාධ්‍යවලින් බොරු යනවා නම් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ඇත්ත තත්ත්වය සමාජ මාධ්‍ය මගින් ඉදිරිපත් කරන්න  ඕනෑ. නමුත් එහෙම තත්ත්වයක් නෑ. සමාජ මාධ්‍ය එක්ක වැඩ කිරීම ගැන දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් තිබිය යුතුයි. සමාජ මාධ්‍ය නියාමනය කිරීමට යෑමෙන් ප‍්‍රශ්න  උග‍්‍ර වෙනවා. එනිසා සමාජ මාධ්‍ය ඔස්සේ යන වැරදි දේවල්වලට සමාජ මාධ්‍ය හරහාම හරි තොරතුරු ලබා දිය යුතුයි. ආණ්ඩුව තවමත් ඉන්නේ එක්දහස් නවසිය අනූව දශකයේ. ජනතාව ඉන්නේ 2017 වසරේ. ප‍්‍රශ්නය එතැනයි.

 

වාර්ගික ගැටුම් දේශපාලන උපායමාර්ගයක් වෙලා - ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේඛකාධිකාරී මහාචාර්ය අත්තන්ගනේ රතනපාල හිමි

වාර්ගික උම්මත්තකභාවය නිසා අපි  ඕනවටත් වඩා පීඩා විදලා තියෙනවා. දිගුකාලීන යුද්ධයකින් පීඩා විදි ජනතාවක් හැටියට බුද්ධිමත් ජනතාව සිතිය යුත්තේ නැවත එවැනි තත්ත්වයක් ඇති නොවන තැනට ක‍්‍රියා කිරීමටයි. නමුත් මේ සිදුවන දේවල්වලින් අපිට ඇතිවන්නේ විශාල කම්පාවක්. මිනිසුන්ගේ පොදු මානුෂවාදී ස්වභාවය හදුනා නොගෙන විවිධ ජාති වර්ග වශයෙන් ඒවා ආමන්ත‍්‍රණය කිරීම අද වනවිට දේශපාලන උපායමාර්ගයක් වී තිබෙනවා. ඊට  ඕනෑ තරම් උදාහරණත් තිබෙනවා.
ජනමාධ්‍ය විසින් නොමනා විදියට මේ සිදුවීම් උලූප්පා දක්වන බවටත් රටේ මතයක් තිබෙනවා. දෙපිරිසක් අතර සාමාන්‍ය සිද්ධියක් වුණත් ඒක වාර්ගික ගැටුමක් දක්වා තල්ලූකරන මානසිකත්ව ගර්හාකටයුතුයි. ජනමාධ්‍ය මෙහිදී සිහිබුද්ධියෙන් ක‍්‍රියා කළ යුතුයි. නැතිනම් ප‍්‍රකෝප කිරීම් රට පුරා පැතිර ගිහින් මහා විනාශයක් සිදුවේවි . සිවිල් සංවිධානවලට මහජනතාවට වගේම ජනමාධ්‍යට මෙහිදී තිබෙන්නේ අත් හළ නොහැකි වගකීමක්. හැම කෙනාම ක‍්‍රියාත්මක විය යුත්තේ මේ තත්ත්ව සංසිඳුවීමටයි. සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා යන බුදු වදන යටතේ අප පැතිය යුත්තේ සියලූ සත්ත්වයන්ගේ යහපතයි.