වනාන්තර කුට්ටිකරණය වීම ජෛව විවිධත්ව හායනයට ප‍්‍රධාන වශයෙන් බලපාන බව විද්‍යාත්මකව හඳුනා ගෙන ඇතත් හය හතර නොතේරෙන අඳබාල ප‍්‍රතිපත්ති තීරකයින් සැමවිටම උත්සාහ දරන්නේ වනාන්තර කුට්ටිකරණය කරමින් සංවර්ධන කටයුතු ක‍්‍රියාත්මක කිරීමට ය. සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට පවරා ගැනීම සඳහා මූලික සැලසුම් සකස් කර අවසන් සිංහරාජය හා සම්බන්ධ සුවිශේෂී වනාන්තරයක් ඔස්සේ මාර්ගයක් ඉදිකර සිංහරාජ අඩවිය දෙකඩ කිරීමට පසුගිය ජුලි මස 27 වැනිදා පළමු පස් පිඩැල්ල කැපුණි. ඒ ඉළුඹකන්දේ සිට සූරියකන්ද දක්වා කිලෝමීටර හයක් පමණ වන මාර්ගයක් ඉදි කිරීමට ය. ඉලූඹකන්ද වනාන්තරය ලෙස හඳුන්වන ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මේ වනපෙත සිංහරාජය හා එකට ඈඳී ඇති අඛණ්ඩව විහිදුණු වනාන්තර පද්ධතියකි. කුකුළේ ගඟ හා සම්බන්ධ දෙල්ගොඩ ගඟ (පොතුපිටිය ගඟ) සහ කොස්ගුලන ගෙඟ් ආරම්භය ද මේ වනාන්තරය යි. එපමණක් නොව හඳපාන්ඇල්ල පිහිටා ඇත්තේ ද මේ සුවිශේෂී වනාන්තර ප‍්‍රදේශය තුළ ය. මුළු ලොවින් ම හඳපාන් ඇල්ල ප‍්‍රදේශයේ පමණක් වාර්තා වන උභයජීවී විශේෂ කිහිපයක් ම වෙති. මෙවන් සුවිශේෂී වනාන්තර ප‍්‍රදේශයක් දෙකඩ කරමින් කලවාන ආසනය හා කොලොන්න ආසනය යා කිරීමට මෙලෙස දේශපාලන තීන්දු ගැනීම ඉතාම අණුවන ක‍්‍රියාවකි. එපමණක් නොව මේ මාර්ගය ඉදි කිරීමේ යටි අරමුණු වන්නේ ඉළුඹකන්ද හා ඒ ආශ‍්‍රිතව පිහිටි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර සිංහරාජ අඩවියට පැවරීමේ ක‍්‍රියාවලිය නතර කර එම ඉඩම් සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා ලබා දීමට ය. මේ මාර්ගය ඉදි කිරීමට මහා මාර්ග අමාත්‍යංශයෙන් රුපියල් ලක්ෂ 65 ක මුදලක් වෙන් කරගෙන තිබේ. සමස්ත සිංහරාජ අඩවියට ආරක්ෂාව සැපයීම සඳහා 2004 වසරේ දී සිංහරාජය වටා පිහිටි සියලූ වනාන්තර බිම් සිංහරාජයට ඈඳීමේ ඉතා හොඳ සැලසුමක් සකස් විය. ලංකාවේ බොහෝ හොඳ සැලසුම්වලට සිදු වන ආකාරයටම මේ සැලසුම ද ඉතා මන්දගාමී ලෙස ක‍්‍රියාවට නැංවෙමින් පවතී. ඒ තත්ත්වය හේතුවෙන්  අවස්ථාවාදී දේශපාලකයින් තම පෞද්ගලික අරමුණු ඉටු කරගෙන මඩි තර කර ගැනීමට අප රටේ ස්වාභාවික සම්පත් සූක්ෂම ලෙස තමන් සතු කර ගනිති. ඒ සඳහා අහිංසක ජනතාව ඊනියා සංවර්ධනයේ නාමයෙන් මුලා කරති. 2004 ජූලි 22 වැනි දින අංක ps/cs/26/2004 දරණ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව සිංහරාජ ජාතික උරුම වන භූමියට යාව හෝ ඉන් කිලෝමීටර භාගයක දුර ප‍්‍රමාණය ඇතුළත පිහිටි සියළුම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම්, 1972 ඉඩම් ප‍්‍රතිසංස්කරණ නීතියේ 22 (1) ඊ සහ 44 (ඒ) වගන්ති ප‍්‍රකාරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා නිර්දේශ ලැබී තිබේ. ඊට අදාළ ලිපි ගොනු පරිසර අමාත්‍යංශයේ පරිසර කළමනාකරණ අංශයේ දැනට වසර හතක කාලයක් තිස්සේ කාවුන්ගේ පරිහරණය සඳහා පමණක් ගොඩ ගසා තිබේ. මේ කැබිනට් පත‍්‍රිකාව අනුව හෙක්ටයාර 2508.4 ක නොයිඳුල් වනාන්තර ඉඩම් ප‍්‍රමාණයක් සිංහරාජයට අලූතින් එක් කිරීමට නියමිතව තිබේ. ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මේ වන බිම් මාතර, රත්නපුර හා ගාල්ල දිස්ති‍්‍රක්ක තුනෙහි පිහිටා තිබෙන අතර ඒවා විවිධ වතු සමාගම් සඳහා මේ වනවිට බදු දී තිබේ. මාතර දිස්ති‍්‍රක්කයේ එන්සල් වත්ත, කුරුගල වත්ත, බෙවර්ලි වත්ත, හේමගිරි වත්ත. රත්නපුර දිස්ත‍්‍රික්කයට අයත් මුරකැලේ වත්ත, ෆැබ් වත්ත, ඉළුඹකන්ද වත්ත, මෝර්නින් සයිඞ් වත්ත, කැන්ටර් වත්ත, ගේස් වත්ත, ගොන්හෙළ වත්ත, ඇබේරෝස් වත්ත, බැක්වෙයා වත්ත, කෝදුරාගල වත්ත, දඹහේන වත්ත සහ ගාල්ල දිස්ත‍්‍රික්කයට අයත් හෝමදොළ වත්ත ලෙස හඳුන්වන මේ වනාන්තර ආශ‍්‍රිත බිම් රැසක් සිංහරාජයට පැවරීම සඳහා යෝජනා වී තිබේ. මේ යෝජනාව ක‍්‍රියාත්මක නොවනතාක් කල් මේ නොයිඳුල් වනාන්තර බිම් මාර්ග ඉදිකිරීමට, තේ, එනසාල් හා අර්තාපල් වගාවන් සඳහා පමණක් නොව හෝටල් ඉදි කිරීම වැනි විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා වරින් වර එළි පෙහෙළි කරනු ලැබේ. මේ තත්ත්වය වළකාලමින් මේ වනාන්තර බිම් කඩිනමින් සිංහරාජයට ඈඳා ගැනීම සඳහා කටයුතු කිරීමට දැන්වත් පරිසර අමාත්‍යතුමා කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරමු. මේ වන බිම් සිංහරාජයට ඈඳා ගනිමින් සමස්ත සිංහරාජ අඩවිය රැකගැනීමට අප මෙතරම් වෙහෙසෙන්නේ අන් කිසිවක් නිසා නොව එහි ඇති පාරිසරික, ජෛව විද්‍යාත්මක, ජල විද්‍යාත්මක හා භූ විද්‍යාත්මක වටිනාකම නිසා ය. මේ පිළිබඳව ඉතා ඈත අතීතයේ අවබෝධ කර ගත් පාලකයින් එය රැුකගැනීමට උත්සාහ දැරුව ද අද සිටින ඇතැම් දේශපාලකයින් මෙය වැනසීමට පිඹුරුපත් සකසති. ලිඛිත සාධකවලට අනුව සිංහරාජ අඩවියට ආරක්ෂාව සැලසීම ආරම්භ වූයේ බි‍්‍රතාන්‍ය යටත් විජිත යුගය තුළ ය. මුඩුබිම් පනත නම් ආඥා පනත යටතේ 1875 මැයි මස 08 වන දින අංක 4046 දරණ ගැසට් නිවේදනයට අනුව සිංහරාජයේ හෙක්ටයාර 2428.1 කින් යුත් වනාන්තර ප‍්‍රමාණයක් රක්ෂිත ප‍්‍රදේශයක් ලෙස නම් කෙරිණි. 1926 මැයි 21 වන දින තවත් හෙක්ටයාර 3724.6 ක් ඊට එක් කර තිබේ. 1972 වසරේ සිට 1977 වසර දක්වා කාලය තුළ දී සිංහරාජ අඩවියේ වතුරාව, මුලාවැල්ල, කුඩව හා අත්වැල්තොට -කළුකඳාව ආදී ප‍්‍රදේශවලින් සිංහරාජය තුළට මාර්ග සකස් කර තුනී ලෑලි සංස්ථාව සඳහා දැව ලබා ගැනීමට දැව හෙළීම් සිදු කෙරිණි. 1978 අපේ‍්‍රල් මාසයේ දී සිංහරාජය මිනිසා හා ජෛව ගෝල රක්ෂිතයක් ලෙස නම් කරන අවස්ථාව වන විට තුනී ලෑලි සංස්ථාව සඳහා දැව හෙළීම් කටයුතු පරිසර ලෝලීන්ගේ කරුණු ඉදිරිපත් කිරීම් මත සම්පූර්ණයෙන්ම නවතා දමා තිබුණි. 1988 අංක 4 දරණ ජාතික උරුම වන භූමි පනත යටතේ 1988 ඔක්තෝම්බර් 21 වන දින අංක 528/14 දරණ ගැසට් නිවේදනය මගින් සිංහරාජ අඩවියේ හෙක්ටයාර 11187 ක භූමි ප‍්‍රමාණයක් ජාතික උරුම වන භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණි. අද දින තෙක් මේ පනතට අනුව ප‍්‍රකාශයට පත් කළ එකම වනාන්තරය මෙය යි. පසුව 1989 වසරේ දී යුනෙස්කෝව විසින් ලංකාවේ පළමු ස්වාභාවික ලෝක උරුමය ලෙස සිංහරාජය ප‍්‍රකාශයට පත් කෙරිනි. සිංහරාජ අඩවියේ ජෛව විද්‍යාත්මක අගය පිළිබඳ විද්‍යාත්මක දැනුම වර්ධනය වීමත් සමඟම මේ ආකාරයෙන් සිංහරාජය ආරක්ෂා කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් නීති සම්පාදනය විය. අද වන විට සිංහරාජ අඩවියේ ජෛව විද්‍යාත්මක අගය පිළිබඳව පර්යේෂණ අති විශාල ප‍්‍රමාණයක් සිදු කර තිබේ. එ් අනුව සිංහරාජ අඩවියේ ජෛව විද්‍යාත්මක අගය පිළිබඳව අප සතු දැනුම ඉතා විශාල ය. එම දැනුම උපයෝගී කරගෙන සිංහරාජ අඩවියේ රක්ෂිත වනාන්තර ප‍්‍රමාණය තව දුරටත් පුළුල් කිරීමට 1988 න් පසුව ගෙවී ගිය වසර 23 ක කාලය තුළ දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇත. එම නොහැකියා ව නිසාම සිංහරාජ අඩවියට අයත් දැනට රක්ෂිත වනාන්තර සීමාවෙන් පිටත පිහිටි නොයිඳුල් වැසි වනාන්තර විශාල ප‍්‍රමාණයක් අවදානම් තත්ත්වයක පවතී. සිංහරාජ අඩවිය යනු සුවිශේෂී ජෛව කලාපයකි. නිවර්තන තෙත් සදාහරිත වනාන්තර වැස්මක් සහිත මේ ප‍්‍රදේශයේ හොර ශාක ප‍්‍රජාව, නා-දුන් ප‍්‍රජාව සහ මිල්ල-, දියපර, -හෙදවක, -වැලිපැන්න ප‍්‍රජාව වශයෙන් සුවිශේෂී ශාක ප‍්‍රජා ත‍්‍රිත්වයක් පවතී. මීට අමතරව සිංහරාජ අඩවියට අයත් නමුත් රක්ෂිත ප‍්‍රදේශයට ඇතුළත්ව නොමැති වතු සමාගම් දෙකකට අයත් නොයිඳුල් තෙත් සදාහරිත විශාල වනාන්තර ප‍්‍රදේශයේ ලංකාවට ආවේණික ශාක විශේෂ දෙකක් වන රත්දුන් හා යකහලූදුන් යන ශාක විශේෂ දෙකෙන් සමන්විත සුවිශේෂී ශාක ප‍්‍රජාවක් දැක ගත හැකි ය. මේ අනාරක්ෂිත වනාන්තර ප‍්‍රදේශ දිනෙන් දින එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කරති. එම වනාන්තර පවරා ගැනීමට සැළසුම් සකස් වන විට මේ සියල්ල වැනසී ගොස් අවසාන වීමට ඉඩ ඇත. ලංකාවට ආවේණික සපුෂ්ප ශාක විශේෂ 926 අතුරින් විශේෂ 495 ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වේ. ලංකාවට ආවේණික ශාක ගන 25 අතුරින් 13 ක්ම සිංහරාජ අඩවියෙන් වාර්තාවන අතර මුළු ලොවින්ම සිංහරාජ අඩවියේ පමණක් දැක ගත හැකි ශාක විශේෂ 15 ක් පමණ වෙති. දැවමය ශාක විශේෂ 340 ක් පමණ සිංහරාජ අඩවියෙන් හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 192 ක් පමණ ලංකාවට ආවේණික වේ. දැනට ඇති වාර්තාවලට අනුව සිංහරාජ අඩවියේ මීවන හෙවත් පර්ණාංග ශාක විශේෂ 42 ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 10 ක් පමණ ලංකාවට ආවේණික වෙති. පාත‍්‍රා කොකුල ගිණිහොට, වල් මැඩ, බරු කොකු, කුරුළුකූඩුමීවන, මහ හැඩයා වැනි මීවන ශාක අති බහුතරයක් සිංහරාජ අඩවියේ වාර්තා වේ. ලංකාවේ කුඩාම මීවන ශාකය වන අපි ශාකීය ඵසජරදටදබසමප පදඑකැහස ශාකය ද සිංහරාජයේ දැක ගත හැකි වේ. ලංකාවේ වාර්තා වන උඩවැඩියා ශාක විශේෂ 173 අතුරින් 80 කට වැඩි ප‍්‍රමාණයක් සිංහරාජ අඩවියෙන් වාර්තා වේ. වනරාජ, ඉරුරාජ, මහාපද්ම, කුඩාපද්ම, රටාමකුට, වෙසක් මල්  ඇතුළු ආවේණික හා ඉතා දුර්ලභ උඩවැඩියා විශේෂ රාශියක් සිංහරාජ අඩවියේ දැක ගත හැකි ය. ලංකාවේ වාර්තා වන වේවැල් ශාක විශේෂ 10 අතුරින් 9 ක් ම සිංහරාජ අඩවියෙන් හමු වේ. වඳවීමේ තර්ජනයට දැඩිලෙස පාත‍්‍ර වූ ලංකාවට ආවේණික කුකුළුවැල් ශාකයේ සිට ලංකාවට ආවේණික තම්බොටුවැල්ල තුඩ?ණ, නරවැල්, මා වේවැල් වැනි දුර්ලභ වේවැල් විශේෂ සිංහරාජයෙන් වාර්තා වේ. සිංහරාජයේ සත්ත්ව විවිධත්වය ද මීට නොදෙවෙනි තත්ත්වයක පවතී. මත්ස්‍යයින්, උභයජිවීන්, උරගයින්, පක්ෂීන්, ක්ෂීරපායීන් හා සමනළුන් යන සත්ත්ව කාණ්ඩ 6 ට අයත් සත්ත්ව විශේෂ 448 ක් සිංහරාජයේ වාර්තා වන අතර ඉන් විශේෂ 137 ක් නැතහොත් 31% ක් ලංකාවට ආවේණික වෙති. ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 0.17% ක් පමණ වන සිංහරාජය තුළ ඉහත සත්ත්ව කාණ්ඩ 6 ට අයත් ලංකාවේ ගෙඩබිම් ප‍්‍රදේශය තුළ වාර්තා වන සත්ත්ව විශේෂ අතුරින් 43% ක් වාර්තා වන අතර ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ අතුරින් 44% ක් සිංහරාජයෙන් වාර්තා වේ. මෙය ඉතාම සුවිශේෂත්වයකි. මේ තත්ත්වය අප නිවැරදිව අවබෝධ කර නොගන්නාතාක් සිංහරාජයට නියමිත ආරක්ෂාව ලබා දීමට අපොහොසත් වනු ඇත. 2007 රතු දත්ත ලේඛනයට අනුව වඳවීමේ තර්ජනයට දැඩිලෙස ලක් වූ විශේෂ 14 ක් ඇතුළුව වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති සත්ත්ව විශේෂ 101 කට සිංහරාජ අඩවිය වාසස්ථාන සපයා දී තිබේ. මෙය සිංහරාජයේ දැවැන්ත වූ වටිනාකමේ තවත් එක් සුවිශේෂත්වයක් පමණි. මෙහි ඉතාම කනගාටුදායක තත්ත්වය වන්නේ සිංහරාජ අඩවියට ආවේණික සත්ත්ව විශේෂ 20 අතුරින් උරග, උභයජිවී හා කකුළුවන් යන සත්ත්ව කාණ්ඩ තුනට අයත් විශේෂ අතුරින් වැඩි ප‍්‍රමාණයක් සිංහරාජ අඩවියේ අනාරක්ෂිත ප‍්‍රදේශ වන මෝර්නින් සයිඞ් ප‍්‍රදේශයට හා හඳපාන් ඇල්ල (රක්වාන කඳු වැටියට අයත්) ප‍්‍රදේශයට සීමා වී පැවතීමයි. මේ ප‍්‍රදේශ එනසාල් හා අර්තාපල් වගාවන් සඳහා සීග‍්‍රයෙන් එළි පෙහෙළි කරනු ලබන අතර මෙම වනාන්තර ඉඩම් වැවිලි සංස්ථාවට හා ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වේ. එම ආයතනය විසින් මේ ඉඩම් පෞද්ගලික අංශය සඳහා බදු දී තිබේ. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයකි. එනසාල් වගාව සඳහා මේ ප‍්‍රදේශයේ යටි වගාව එළි පෙහෙළි කිරීම හා අර්තාපල් වගාව සඳහා සම්පූර්ණ කදුකර වනාන්තර ප‍්‍රදේශයම එළි පෙහෙළි කරනු ලබන සෑම වාරයක් පාසාම සිංහරාජයට ආවේණික සත්ත්ව විශේෂ මුළු ලොවින්ම තුරන් වීමේ අවදානමට සීග‍්‍රයෙන් ආසන්න වේ. මේ තත්ත්වය දෙගුණ තෙගුණ කිරීමට දැනට යෝජිත ඉලූබකන්ද -සූරියකන්ද මාර්ග ව්‍යාපෘතිය හේතුවනු නො අනුමානය. බලධාරීන් මෙවැනි දෑ සඳහා පිළියම් යෙදීමට උත්සාහ නොගෙන සංචාරක ව්‍යාපාරය සිංහරාජයේ ප‍්‍රවර්ධනය කිරීම සඳහා පමණක් පිඹුරුපත් සැකසීම පිළිබඳව අප කනගාටු වෙමු. එම තත්ත්වය වහාම නතර කර වනජීවීන්ගේ රැකවරණය සැලසීම සඳහා වැඩි අවධානයක් යොමු කරවන ලෙස ජාතියේ නාමයෙන් අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. සිංහරාජ අඩවියේ භාරකරුවාවන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව 80 දශකයේ අග භාගයෙන් පසුව අද වන තෙක් සිංහරාජයට පැමිණෙන සංචාරක පිරිස වැඩි කර ගැනීමෙන් වැඩි ආදායමක් උපද්දවා මහා භාණ්ඩාගාරය තර කිරීමට පමණක් වෙහෙසෙයි. ඒ හැර සිංහරාජ අඩවියේ වනජීවීන්ගේ රැුකවරණය තහවුරු කිරීම සඳහා අවශ්‍ය සැලසුම් වලට එළැඹ ඇත්තේ ඉතා අල්ප වශයෙන් බව පැහැදිලි කරුණකි. මොරපිටිය -රූනකන්ද යෝජිත රක්ෂිතය, දෙල්ගොඩ යෝජිත රක්ෂිතය, පනාගල යෝජිත රක්ෂිතය, වරතැල්ගොඩ යෝජිත රක්ෂිතය හා තිබ්බොටුවාව යෝජිත රක්ෂිතය යන වනාන්තර හතක් සිංහරාජය හා සම්බන්ධව පවතී. ජෛව විවිධත්වයේ පැවැත්ම තහවුරු කිරීම සඳහා මේ යෝජිත රක්ෂිත සියල්ලම සිංහරාජයට සම්බන්ධ කර සමස්ත සිංහරාජ අඩවියම ආරක්ෂිත ප‍්‍රදේශයක් බවට පත් කළ යුතුය. එසේ නොවනතාක් කල් සිංහරාජයේ ජෛව ප‍්‍රජාවගේ රැකවරණය තහවුරු කළ නොහැකි වනු ඇත. එවන් තත්ත්වයක් ඇති නොවන තෙක් පොතුපිටිය, ඉලූබකන්ද, බඹරබොටුව වැනි ප‍්‍රදේශවල සිංහරාජයට මායිම්ව සිදු වන මහ පරිමාණ දැව ජාවාරම් නතර කිරීමට හෝ දැනට ඔඩුදුවමින් පවතින සිංහරාජයේ අලි - මිනිස් ගැටුම පාලනය කිරීම පිළිබඳව සිතීමටත් අපහසු ය. ඉහත සංරක්ෂණ ක‍්‍රියාමාර්ගවලට පිවිසීමෙන් අනතුරුව සිංහරාජ අඩවිය වටා සැතපුමක හෝ කිලෝමීටරයක පමණ පේ‍්‍රරක කලාපයක් පරිසර ආරක්ෂණ කලාපයක් ලෙස ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශයට පත් කළ යුතුය. වියළි කලාපයේ ජාතික වනෝද්‍යානවල මායිමේ සිට සැතපුමක ප‍්‍රදේශයක් පේ‍්‍රරක කලාපයක් (නැතහොත් සංවේදී කලාපයක්) ලෙස පවතින අතර එම ප‍්‍රදේශය තුළ සංවර්ධන ක‍්‍රියාකාරකම් සිදු කිරීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇගයීම් තක්සේරුකරණ ක‍්‍රියාවලියට යටත්ව, පළමුව පාරිසරික අනුමැතිය ලබා ගත යුතුය. නමුත් ඉතා අධික ජීවී විවිධත්වයක් සාන්ද්‍රගත වී ඇති, ලංකාවට ආවේණික දුර්ලභ ජීවීන් අති බහුතරයක් ජීවත්වන සිංහරාජ අඩවිය වටා ඇති පේ‍්‍රරක කලාපය නැතහොත් සංවේදී කලාපය මීටර 100 ක් පමණ වේ. මේ තත්ත්වයන් පිටුදැකීමට නිවැරදි ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය කඩිනමින් යොමු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. සජීව චාමිකර පරිසර සංරක්ෂණ භාරය

සිංහරාජ කැලෙන් සුරියකන්දට පාරක් කපන්නේ නෑ

ඉලූඹකන්ද සිට සුරියකන්ද දක්වා යෝජිත මාර්ගය සම්බන්‍ධව ඉලූඹකන්ද ගම්වාසීන් පවසන්නේ තම ගම්මානය සම්බන්‍ධව මනා වැටහිමක් නොමැතිව යම් යම් පිරිස් ඊට විරුද්ධවන බවයි. ජනතාව වෙනුවෙන් අදහස් දැක්වු ඉලූඹකන්ද මිළිදුතලා ආරණ්‍ය සේනාසනාධිපති විහාරහේනේ ධම්මසිද්ධි හිමියන් පවසන්නේ මෙම පාර කැපීම ගම්මුන්ගේ කලක පටන් පැවති ඉල්ලීමක් අනුව කරන්නක් බවයි. මෙම මාර්ගය ලෝක උරුම සිංහරාජ වනාන්තරය මැදදෙන් කපන පාරක් බවට හුවා දැක්වීම සම්පුර්ණයෙන්ම වැරදි බව උන්වහන්සේ ගමේ ජනතාව වෙනුවෙන් කියති. මීට වසර පනහකට පමණ ඉහතදී ඉලූඹකන්ද ගම්මානය සම්පූර්ණයෙන්ම සම්බන්‍ධතා පැවැත්වූයේ සුරියකන්ද, ඉත්තෑකන්ද වැනි රක්වාන දෙනියාය මාර්ගයේ ගම් සමග බවද උන්වහන්සේ අවධාරණය කරති. ගාලවත්ත ප‍්‍රදේශයේ පිහිටා තිබෙන ඉලූඹකන්ද විදුහල මේ ප‍්‍රදේශයේ පිහිටවු පැරණිම විදුහලක් බවත් උන්වහන්සේ පෙන්වා දෙති. පොතුපිටිය ප‍්‍රදේශය හරහා පාරක් කැපීමෙන් පසු ගම්වැසියන් පොතුපිටිය හරහා කලවානට, රක්වානට යන්නට පුරුදු වුවත් මෙම මාර්ගය කැපීමට යෝජිත අඩිපාර ඔස්සේ බම්බුමලේ හරහා සුරියකන්දට ගොස් රක්වානට යාම ඉතා ළග බවද කීහ. වසර සියයකට වැඩි කාලයක් තිස්සේ සිය මුලික අවශ්‍යතාවන් වෙනුවෙන් ඉල්ලීම් කරන මේ ගම්වල ජනතාව සිංහරාජ වනාන්තරය නිරන්තරයෙන් රකින බව පෙන්වා දුන් උන්වහන්සේ විවිධ අන්දමේ සම්බන්‍ධකම් පවත්වාගෙන එන බලවතුන් සිංහරාජ වනාන්තරයට සහ යාබද වානාන්තර වල කරන වනවිනාශයන්, ජාන කොල්ලයන් කොළඹ සිටින පරිසර සංවිධාන වලට නොපෙනීම පුදුමයක් බවද කීහ. කලවානේ සිට අගලවත්ත දක්වා දිවෙන ප‍්‍රධාන මාර්ගයත් වනාන්තරයක් මැදින් දිවෙන බවත් පෙන්වාදුන් උන්වහන්සේ යමක් පිළිබදව අදුරේ අතපත නොගා ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගෙන කටයුතු කරන්නේ නම් අනවශ්‍ය ගැටලූ පැන නොනගින බවද කීහ. මේ වනවිට කොළඹ මාධ්‍ය හමු පවත්වමින් විරෝධය පළකරන කිසිම පරිසර සංවිධානයක් මේ ගමට පැමිණ ගම්මු සමග කථාකලේ නම් මෙහි යථාර්ථය පැහැදිලිවනු ඇතැයිද කීහ. අවසන් ගම් සිතියමේ අඩිපාරක් ලෙස ඇති මේ පාර බෙරගල යෝජිත රක්‍ෂිතය හරහා යන්නක් බවත් අඩිපාර අඩි විස්සක පළලට වාහනයක් යා හැකි ලෙස සකසා දෙන ලෙස ගම්මුන්ගේ ඉල්ලීම වසර පනහකට හැටකට වඩා වැඩි එකක් බවද උන්වහන්සේ කීහ. සියලූ වරප‍්‍රසාද භක්ති විදිමින් යැපෙන පිරිස් මේ ගම්වල මිනිසුන්ගේ මුලික අයිතියක්වු පාරක් වෙනුවෙන්ද මේ ආකාරයට විරුද්ධවීම ගැන පොතුපිටිය ගමේ ලොකු කුඩා සැම දෙනම කනගාටුවන බව කීහ. සූරියකන්දේ නිල්දෙනිය ජලපෝෂක ප‍්‍රදේශවල කරන විනාශයන් හමුවේ මුනිවත රකින ඇතැම් සංවිධාන පොදු මහජනතාවගේ අවශ්‍යතාවක් වෙනුවෙන් කරන සංවර්ධනයකදී වැරදි සහ අසත්‍ය,  තොරතුරු පෙන්වමින් ලෝකයා නොමග යැවීම මේ අහිංසක ගැමියන්ට කරන විහාල අසාධාරණයක් බවද උන්වහන්සේ කීහ.
අජිත්ලාල් ශාන්තඋදය

මාර්ගය ඉදිකරන ස්ථානයට අමාත්‍යාංශ නිලධාරින් ගිහින්

සිංහරාජ වනාන්තරයේ ඉදිකැරෙන මාර්ගය පිළිබද කරුණු විමසීමට අප වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා ඇමතීමට උත්සාහ කළ ද දින දෙකක් පුරා ඔහු සම්බන්ධ කැර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. පරිසර අමාත්‍ය වරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් කැළුම් ගුණතිලක මහතා කියා සිටියේ අමාත්‍යවරයා විදේශගත වී ඇති බවයි. එමෙන්ම මාර්ගය ඉදිකරන ස්ථානයට අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් යවා ඇති බවද ඒ මහතා කියා සිටියේය. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහතාගෙන් සිංහරාජ වනාන්තරයේ ඉදිකැරෙන මාර්ගය පිළිබ`ද විමසූ විට ඒ මහතා කියා සිටියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එම මාර්ගය ඉදිකරන භූමි ප‍්‍රදේශයේ ඇත්තේ ඔවුන්ගේ ඉඩම් නොවේයැයි පවසන බැවින් තම අධිකාරියට මේ සම්බන්ධයෙන් මැදහත් විය නොහැකි බවයි.
සජීව විජේවීර
ඡායාරූප - අජිත්ලාල්, ශාන්තඋදය
ඉලූඹකන්දගම පිහිටි කඳුවැටිය