කොටුගොඩ ශ්‍රී ධම්මාවාස මහනාහිමියෝ ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත හා ධර්ම විනයධර මහ තෙරනමක් ලෙස මුළු මහත් බෞද්ධ සමාජයේම පිළිගැනීමට ලක් වූහ. පැරැණි සම්ප්‍රදාය අනුගමනය කරමින් පෙළ, අටුවා හා ටීකා ඇසුරින් ධර්ම දේශනා කිරීමේ පරිචය ලැබූ උන්වහන්සේ එම ධර්ම දේශනා මගින් සමාජය නිවැරදි මගට යොමුකිරීම සඳහා අතිමහත් කාර්යභාරයක් ඉටුකළහ.
 
කොටුගොඩ ධම්මාවාස මාහිමිපාණන් වහන්සේ එම උත්තරීතර මහානායක පදවියට පත්වූයේ අමරපුර භික්ෂුවංශය මෙරට ආරම්භ වී වසර 214 ක් සම්පූර්ණ වන අවදියේ දී ය. එම උතුම් පදවිය වෙත උන්වහන්සේ ළඟා වූයේ අමරපුර මහානිකායේ අභිවෘද්ධිය වෙනුවෙන් වසර තිහකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ කරන ලද අප්‍රතිහත කැපකිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එහි සමාරම්භය අමරපුර මහානිකායේ අමරපුර පාර්ශ්වයේ කාරක සංඝසභික ධුරයෙන් සනිටුහන් විය. පසුව එහි අධිකරණ නායක ධුරයටත් අනුනායක ධුරයටත් මහානායක ධුරයටත් පත්වූහ. අමරපුර මහානිකායේ සියලු පාර්ශ්ව එක්සත්ව පිහිට වූ සමස්ත ලංකා අමරපුර මහා සංඝසභාවේ සහකාර ලේකම්වරයෙකු වශයෙන් 1985 දී පත්ව 1992 දී එහි මහා ලේඛකාධිකාරී ධුරයට ද පත් වූහ. පසුව 2008 වර්ෂයේ සිට වර්ෂ පහක් එහි සභාපති පදවියත් ඉසිලූහ. ස්වකීය නිකායේ අභිවෘද්ධිය හා සංඝසාමග්‍රිය වෙනුවෙන් මෙම තනතුරු සක්‍රියව යොදාගැනීමට මහනාහිමියෝ සමත්වූහ. වෙන් වෙන් පාර්ශ්ව නියෝජනය කළ අමරපුර නිකායේ සංඝයා එක්සත් කිරීමේ කටයුත්තේ දී කොටුගොඩ මාහිමියන් ඉටු කළ සේවය අමරණීය බව මගේ අදහස යි. එහි ඊළඟ පියවර සේ මා දකින්නේ අමරපුර-රාමඤ්ඤ දෙනිකායික සංඝයාගේ සාමග්‍රී සම්මුතිය සඳහා උන්වහන්සේ විසින් කරන ලද කැපකිරීම යි.

අපේ කොටුගොඩ මහානායක මාහිමිපාණන් වහන්සේ වෘද්ධෝපශාන්ත ගුණයෙන් පිරිපුන් නිරහංකාර මහතෙරනමකි. දැනුමෙන් සම්පතින් බලයෙන් හා නායකත්වයෙන් සමන්විත බොහෝ දෙනා ඒ එක එකකින් දැවී ගැලී මත් වී ක්‍රියාකරන සමාජයක අපේ කොටුගොඩ මහනාහිමිපාණන් වහන්සේ ඒ කිසිවකින් මත් නොවූහ. කිසිදු බලවේගයක් හෝ කිසිදු අපහසුවක් හමුවේ උන්වහන්සේ කම්පා වූයේ නැත.

ප්‍රියවාදීත්වය අප මහානාහිමියන් තුළ වෙසෙසින් ම පිහිටා තිබූ ගුණයකි. උන්වහන්සේගේ මුව පුරා පැතිරගිය සිනහව සැමදෙනාගේ සිත් සුවපත් කළේය. බාල මහලු සියල්ලන්ට සිනහපිරි පිය වදනින් උන්වහන්සේ කරන ලද ආමන්ත්‍රණය කිසිදා අමතක නොවේ යැයි මම සිතමි. ප්‍රියවචනය සංග්‍රහ වස්තුවකි. එයින් අනුන්ට සංග්‍රහ කළ හැකිය. ප්‍රියවාදීත්වය පිරිසිදු හදවතක් ඇති තැනැත්තා තුළ පිහිටන්නකි. මහනාහිමියන් ගිහිපැවිදි කාටත් ප්‍රියවචනයෙන් ඇමතූයේ ප්‍රියවාදී ගුණයෙන් පිරිපුන් බැවිනි. එපමණක් නොව උන්වහන්සේගේ ප්‍රියවාදීත්වය මිතභාෂණ ගුණයෙන් තීව්‍ර වූවකි. මිතභාෂණ ගුණය යනු අවශ්‍ය තැන අවශ්‍ය දෙය පමණක් කථා කිරීමේ ගුණය යි. ථෙරගාථා අටුවාවෙහි සඳහන් පරිදි සුදුසු තැන සුදුසු වේලාවෙහි සීමා ඇතිව මනා අවසානයක් ඇතිව අර්ථවත් වචන භාවිත කිරීම මිතභාෂණය යි. මිතභාෂණශීලී වුවත් උන්වහන්සේ යුක්තමුක්තවාදීහු වෙති. එනම් යුක්තිසම්පන්න දෙය කියන්නාහු වෙති. යුක්තිය වෙනුවෙන් භික්‍ෂුවකගෙන් මතු විය යුතු හඬ උන්වහන්සේ දීර්ඝ කාලයක් මුළුල්ලේ සිංහල ජාතියේත් බෞද්ධයාගේත් සුභසිද්ධිය වෙනුවෙන් මතු කළහ. ඒ තමන් වහන්සේට ම ආවේණික වූ ධර්ම දේශනා ශෛලිය උපයෝගී කරගෙන ය.

අපේ කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සතුව කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී වාග් කෞශල්‍යයක් පැවතිණ. උන්වහන්සේගේ ධර්මදේශනයේ දී සිංහල බෞද්ධයෝ එම වාග් කෞශල්‍යයේ රසය අත් වින්දහ. කවර තැනක දී හෝ උන්වහන්සේ එය උල්ලංඝනය නොකළහ. අංගුත්තර නිකායෙහි චතුක්කනිපාතයේ එන ථේරකරණ ධර්මවලින් අප මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සැරසී වැජඹුනහ. ථේරකරණ ධර්ම යනු ස්ථවිරත්වය ඇති කරන කරුණු ය. එහි පළමුවැන්න සිල්වත් බව යි. 1948 වර්ෂයේ සිට තෙසැත්තෑ වසරක් පුරා භික්‍ෂුවක ලෙස මහණදම් පුරමින් කායවාග් සංයමයෙන් ක්‍රියාකරන්නට නාහිමියෝ සමත් වූහ. දෙවන ථේරකරණ ධර්මය ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවරව ආචාරගෝචර සම්පන්නව ඉතා කුඩා වරදෙහි වුවත් භය දකිමින් ක්‍රියාකිරීමය. නැතහොත් ශික්‍ෂාගරුක වීම ය. භික්‍ෂු ප්‍රාතිමෝක්‍ෂාගත ශික්‍ෂා පිළිබඳවත් ඛන්ධකවිනයාගත වත්පිළිවෙත් පිළිබඳවත් මනා පරිචයක් මහනාහිමියන් සතු බව අවිවාදාත්මක ය. ස්ථවිරත්වය ඇති කරණ තෙවන කරුණ බහුශ්‍රැත බව යි. එනම් සද්ධර්මය පිළිබඳ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව යි. පුද්ගලයකු තුළ බහුශ්‍රැත භාවය ඇති වන්නේ ශ්‍රැතධර ශ්‍රැතසන්නිචය නිසා ය. එහි ශ්‍රැතධර බව යනු අසන ලද දේ මතක තබාගැනීමේ හැකියාව යි. ඒවා ඒකරාශි කරගැනීම ශ්‍රැතසන්නිචය යි. මහානායක මාහිමිපාණන් වහන්සේගේ ධර්මඥානය පෘථුල ය. ව්‍යක්ත ය. සමස්තය දැකීමේ තියුණු හැකියාව එහි ප්‍රතිඵලයක් සේ උන්වහන්සේ වෙත ලැබී තිබිණ.

 1960 පමණ සිට උන්වහන්සේ ධර්මපත්‍රිකා මගින් ඉටු කළ ශාස්ත්‍රීය මෙහෙවර දෙහිවල බෞද්ධෝදය සංගමයේ වාර්ෂික වෙසක් කලාපය ඇතුළත් තිස් හයක් පමණ වූ ධර්ම පුස්තිකාවන්ගෙන් වඩාත් තීව්‍ර කළහ. ඒ අතර ‘නිවනට මග, පුණ්‍ය මහිමය, කේතුමතී රාජධානිය, සම්බුදු ගුණ ඔපවත් කළ දෙව්දත් තෙරණුවෝ’ යන පුස්තිකාවන්හි පිටපත් දහස් ගණනින් මුද්‍රණය වී තිබේ.

එමෙන්ම අන්තර් ආගමික සහජීවනය උදෙසා අප මහානායක මාහිමිපාණන් වහන්සේ දැක්වූ උනන්දුව බෝහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්වූවකි. ‘සාමය සඳහා වූ ජාත්‍යන්තර ආගමික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ’ සභාපතිත්වය අපවත්වන තුරුම දරන ලද්දේ කොටුගොඩ මහනාහිමිපාණන් වහන්සේ විසිනි. එහි කටයුතුවල දී සියළු ආගමික නායකයින්ගේ අතිශය ගෞරවාදරයට උන්වහන්සේ පාත්‍ර වූහ.
දේශීය හා විදේශීය වශයෙන් සම්භාවනයට පාත්‍ර වූ ශ්‍රී ලාංකේය මහතෙරවරුන්ගේ නාමාවලියෙහි අපේ කොටුගොඩ මහනාහිමියෝ ඉහළින් වැජඹෙති. මියන්මාර රජය විසින් පිදෙන අග්‍රගණ්‍ය ගෞරව උපාධියක් වන ‘අග්ගමහා පණ්ඩිත’ උපාධියෙන් ජාත්‍යන්තරව අර්චිත වූහ. තමන් වහන්සේ ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය කළ මාලිගාකන්දේ විද්‍යොදය මහපිරිවෙණින් ‘ශ්‍රී සුමංගල විද්‍යාවතංස’ යන ගෞරවෝපාධිය ලත් උන්වහන්සේ අපේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහාසංඝසභාවෙන් ‘ප්‍රවචනකීර්ති ශ්‍රී ශාසන ශෝභන’ යන ගෞරව නාමයෙන් පිදුම් ලත්හ. එපමණක් නොව උන්වහන්සේ මෙරට ප්‍රමුඛ බෞද්ධ විශ්වවිද්‍යාල දෙකක මහාමහෝපාධ්‍යාය තනතුර එනම් උපකුලපති පදවිය එකවිට දැරූහ. ඒ හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හා අනුරාධපුර ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ ය.

 දෙස් විදෙස් ශිෂ්‍ය පුත්‍රයින් වහන්සේලා රැසක් සසුනට දායාද කිරීමෙන් ජාතික හා ජාත්‍යන්තර ශාසනික සේවයේ අනාගතය සාරවත් කිරීමට ද අපේ කොටුගොඩ මහානායක මාහිමිපාණන් වහන්සේ සමත්වූහ.
අපවත් වී වදාළ සමස්ත ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ශ්‍රී ධර්මපාල වංශාලංකාර, සද්ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද, ප්‍රවචනකීර්ති ශ්‍රී ශාසන ශෝභන, ශ්‍රී සුමංගල විද්‍යාවතංස, අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය, කොටුගොඩ ධම්මාවාසාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේට නිවන් සුව පතමි.

 

(***)
අග්ගමහාපණ්ඩිත මහාචාර්ය
කොටපිටියේ රාහුල අනු නාහිමි