IMG-LOGO

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා


අපේ ඉරණම කුමක්ද?

ඇගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ 107 වැනි දිනයේදී (ජෝ බයිඩ්න් හිටි හැටියේ නික්ම යාමෙන් පසු ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වය උරුම වූ) කමලා හැරිස්, තමා සැබෑ වෙනසක් ඇති කරන්නිය ලෙස ඉස්මතු වී පෙනෙන්නට උත්සාහ ගත්තාය. මැතිවරණයට යම්තමින් මාසයක් තිබියදී පැවැත්වූ (The View) ද වීව් නම් කථන වැඩසටහනේදී ඇගේ එම ප්‍රතිරූපය සුනු විසුණු වී ගියේය.

පසුගිය සිව් වසර තුළ ජනාධිපති බයිඩන් ගෙන් වෙනස් වන්නට ඇය කුමක් කළ යුතුව තිබිණි දැයි ඇගෙන් අසන ලදුව ඇගේ පිළිතුර වූයේ ‘‘මගේ මතකයට එන එවැනි කිසි දෙයක් නෑ’’ යන්නය.

ඇගේ “කිසි දෙයක් නැත” යන පිළිතුර ඩිමොක්‍රටික් පාක්ෂිකයන් භීතියට පත් කළේය. රිපබ්ලිකන් පාක්ෂිකයෝ එම පිළිතුරෙන් ප්‍රීතියෙන් කුල්මත් වූවෝය. (ඔවුහු එය භාවිත කොට බොහෝ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කළෝය.) එම කතාවෙන් ජනාධිපතිවරණයේ හැරවුම් ලක්ෂය සනිටුහන් වූයේය. නොබෝදා ‘‘දින 107’’ නම් ඇය නිකුත් කළ මතකාවර්ජනයේදී හැරිස් ඇයගේ මේ පිළිතුර අත්බෝම්බයක කූර (පින් එක) ඉවත ඇදීමකට සමාන කළාය. ඡන්දදායකයන්ට ඇයගේ එම පිළිතුරෙන් බයිඩන්ගේ ජනාධිපති ධුරයේ ගැබ්ව පැවැති ප්‍රභවාත්මක අසාර්ථක භාවය මතක් කොට දුන්නේය. ගාසා තිරයේ, ඊශ්‍රායල්වරුන් කළ ජන සංහාරයට එරෙහිව ක්‍රියාත්මක වීමේ ඔහුගේ නොහැකියාව ඡන්දදායකයන්ට එයින් සිහිපත් විය. එකී බොහෝ ඡන්දදායකයෝ උද්ධමනය පිටුදකින්නටත්, ගාසා තීරයට සාමය ගෙන එන්නටත් ඩොනල්ඩ් ට්‍රම්ප් දුන් පොරොන්දු විශ්වාස කර කමලා හැරිස් හා ඩිමොක්‍රටික් පක්ෂය 2024 නොවැම්බරයේදී අතහැර දැමුවෝය.

ශ්‍රී ලංකාවේ 2024 මැතිවරණයේ ජනාධිපතිවරණයට සියල්ල සියයට සියයකින් වෙනස් කරන අපේක්ෂකයා ලෙස තරග කළ අනුර කුමාර දිසානායක ඔහුගේ පළමු වසරේ වැඩි කාලයක් ගත කළේ සියල්ල එසේම පවත්වාගෙන යන ජනාධිපතිවරයා ලෙසයි.

දිසානායක බලයට පැමිණියේ ගෝඨාභය අැද දැමූ හරිකේනයේ අගාධයෙන් රට යම්තාක් එළියට බඩගානා විටය. 2024 සැප්තැම්බරයේදී දිසානායකගේ ජනාධිපතිධුරය සම්බන්ධයෙන් පැවැති ලොකුම භීතිකාව වූයේ රනිල් වික්‍රමසිංහ යථා තත්වයට පත් කිරීමට පෙර ගෝඨාභයගේ වැරැදි තීරණ නිසා හටගත් දරුණු කුණාටුවලින් හෙබි සුනු විසුනු භාවයට නැවතත් රට ඇදී යාදෝ යන්නයි. 2025 සැප්තැම්බරයේ ජනාධිපති දිසානායකගේ ප්‍රධාන විවේචනය, එය පළමු වසරේ විකාර සහගත වික්‍රමාන්විතයකට වඩා අනවශ්‍ය කලබලයට පත්වීමක් වූයේය යන්නයි.

ජනාධිපති දිසානායක, එක්සත් ජාතීන් ඉදිරියේ කළ ඔහුගේ පළමු කතාවේ ගෝලීය දරිද්‍රතාව පිටුදැකීමේ අවශ්‍යතාව අවධානයට යොමු කළේය. පසුගිය වසරේ ඔහුගේ ජාතික ප්‍රතිපත්තිය තුළ එවැනි අවධානය යොමු කිරීමක් පැහැදිලිව පෙනෙන්නට නැත. ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පුපුරා යෑම ඔහුගේ (හෝ රනිල් වික්‍රමසිංහගේ) නිර්මාණයක් නොව රාජපක්ෂලාගේ නිර්මාණයකි. ආසියානු සංවර්ධන බැංකුව (ADB) පවසන ආකාරයට, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් දරිද්‍රතාවයේ තියුණු වැඩිවීමක් සහ සමාජ ආර්ථික අවදානම්සහගත බවක් හටගත්තේය. දරිද්‍රතා මට්ටම් 2021දී සියයට 13.1 (සියයට 13.1) සිට 2022දී සියයට 25 (සියයට 25) දක්වා ඉහළ නැග්ගේය. තවදුරටත් සියයට 27.5 (සියයට 27.5)ට 2023දී දරිද්‍රතාව ඉහළ නැංග ද 2024දී සියයට 24.9 (සියයට 24.9) දක්වා පහත වැටුණේය.

ලෝක බැංකුවේ නවතම වාර්තාව වූ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය විග්‍රහය 2025 තුලිත පොදු ආදායම් සැකසුමක් උදෙසා ’’ යන වාර්තාවට අනුව ‘‘අර්බුදයේ බර බෙදී ගොස් ඇත්තේ සමානුපාතික නොවන ආකාරයට වන අතර, යථා තත්වයට පත්වීමේ බර ඇද තිබෙන්නේ ද ධනවතුන් හෝ මැද පන්තියේ අය විසින් නොව, දුප්පත් ලාංකිකයන් විසිනි.’’

රජයෙන් බදු අයකිරීම සකසා ඇත්තේද සමානුපාතික නොවන ආකාරයට, රැකියා අහිමිවෙමින් ආදායම් අහිමි වෙමින් පොර බැදූ දුප්පතුන්ට අහිතකර ලෙස බලපාන ආකාරයටය. අර්බුදයට පෙර පැවැති මිල මට්ටම් මෙන් දෙගුණයක් ඉහළ මට්ටමේ ආහාර මිල ගණන් පැවති අතර, සැබෑ වැටුපේ වටිනාකම තවමත් පියවා ගත නොහැකිව පවතී. ඊට ප්‍රතිචාර ලෙස බොහෝ නිවැසියන් විශේෂයෙන් පෝෂණය, සෞඛ්‍ය රැකවරණය සහ අධ්‍යාපනය වැනි මානව ප්‍රාග්ධනය උදෙසා දරණ වියදම් ප්‍රමාණයන් අඩු කොට ඇත.

ජනගහණයෙන් කාලකට වැඩි ජනතාව දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවිත ගත කරති. ජනගහණයෙන් භාගයකට වැඩි ජනතාව (සියයට 55.7) විවිධ මානයන්ගෙන් අවදානමට පාත්‍ර වී සිටිති. මේවා කඩිනමින් විසඳුම් අවශ්‍ය කරන අන්තරායකාරී ගැටලු වේ. එම නිවැසියන්ගෙන් සියයට දාසයක් ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙති. (විශේෂයෙන් කාන්තා ගෘහ මූලිකයන් ඉන්නා  නිවෙස්වල) නිවැසියන්ගෙන් භාගයකට වැඩි දෙනා ආහාර වේල් මගහැරීම, නිසි ප්‍රමාණයට වඩා අඩුවෙන් ආහාර ගැනීම, හෝ ආහාර වේලේ ප්‍රමාණය අඩු කිරීම වැනි බෙලහීන යාන්ත්‍රණයන් යොදා ගනිති. 2021 සහ 2024 අතර කාලයේ වයස අවුරුදු 5ට අඩු බරෙන් අඩු ළමුන් අතර මන්දපෝෂණය සියයට 12.2 සිට සියයට 17 දක්වා ඉහළ ගොස් ඇත. අවුරුදු පහට අඩු දරුවන් අතර මන්දගාමී වර්ධනය, සියයට 7.4 සිට සියයට 10.5 දක්වා වැඩි වී තිබේ. ලාංකීය ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ, ගැටලුව පිළිබඳ උනන්දුව මදිවීම තරම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැටලුවක් බවට පත්ව නැත. උදාහරණයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමාජ ආරක්ෂණ වියදම් උදෙසා දළ ජාතික නිෂ්පාදිතයෙන් අඩු ගණනේ සියයට දශම හතක්වත් වැය කළ යුතු බවට ඉලක්ක දී ඇත. මෙම ඉලක්කය 2023, 2024දී සම්පූර්ණ කර නොමැත. දුප්පත්කම තුරන් කිරීම සඳහා අප අඩුවෙන් වියදම් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට නියම කළ නිසා නොව, අප ඊට ප්‍රමුඛතාව දීමට ප්‍රමාණවත් සැලකිල්ලක් නොදැක්වූ නිසාය. එම අරපිරිමැස්මේ උගුල අප විසින්ම නිර්මාණය කරගත් එකකි.

සිය පළමු අවුරුද්දේ දී ජනාධිපති දිසානායක, රනිල් වික්‍රමසිංහ විසින් සැලසුම් ගත කරන ලද ආර්ථික ප්‍රවාහයට ඇළලී අසීරු දේශපාලන තීරණ ගැනීමෙන් වර්ධනය පවත්වා ගැනීමට සමත් වූයේය. (එම කතෘත්වය එකහෙලා ප්‍රතික්ෂේප කරන අතර) එහෙත් දරිද්‍රතාවට (හා අසමානතාව) අදාළ කටයුතු කරන විට එවැනි දේශපාලන කැමැත්තක් හෝ නැඹුරුවක් කිසිම අයුරකින් පැහැදිලිව ප්‍රදර්ශනය කර නැත. එය දෑකැත්ත හා මිටිය සහිත බැනරය ලෙළදෙන පක්ෂ මූලස්ථානයක් සහිත පක්ෂයක නායකයකුට කිසිම අයුරකින්වත් නොගැළපෙන්නකි.

එක්සත් ජාතීන් ඉදිරියේ කළ කතාවේදී ජනාධිපති දිසානායක, මාරාන්තික වසංගතයක් සේ ලෝකය පුරා දරිද්‍රතාව රුදුරු ලෙස පැතිර යද්දී යුද ආයුධ උදෙසා ට්‍රිලියන ගණන් වියදම් කිරීම ගැන ළතෝනි නැගුවේය. එහෙත් ඔහුගේ රජය පසුගිය අයවැයේදී ආරක්ෂක කටයුතු උදෙසා වෙන් කළ යෝධ වැය යම්තමින් හෝ කපාදමන්නට ළදරු පියවරක් හෝ ගෙන තිබිණි නම් ඔහුගේ එම කතාවේ යම් බරක් තිබෙන්නට ඉඩ තිබිණි.

දැනට පවතින නවතම දත්ත අනුව ලෝකයේ මිලිටරිකරණයට ලක්වූ රටවල් 50 අතරට ශ්‍රී ලංකාව එක්වී තිබෙන්නේ ගෝලීය මිලිටරිකරණ (GMI) දර්ශකයේ 48 වැනි ස්ථානයේ රැඳෙමිනි. සමාජ ප්‍රගති දර්ශකයේ (Social Progress Index) ඉහළම රටවල් 50 අහලකටවත් එන්නට ශ්‍රී ලංකාව අසමත් වී තිබෙන්නේ 74 තරම් පහත් ස්ථානයක රැඳෙමිනි. යුද්ධය නිමාවී දැන් දශක එකහමාරක් පමණ ගතවී තිබේ. දරිද්‍රතාව තුරන් කිරීමට සමාජ ස්ථාවරත්වය හා සංසක්තභාවය ඇති කිරීමට වියදම් කරනවාට වඩා ආරක්ෂක කටයුතුවලට වියදම් කිරීම ආර්ථික වශයෙනුත්, දේශපාලන වශයෙනුත්, ජාතික ආරක්ෂාව යන දෘෂ්ඨිකෝණයෙන් බැලුවත් අර්ථ විරහිත ක්‍රියාවකි. මෙය නිවැරැදි කිරීම ජනාධිපති දිසානායකට කළ හැකි වුවද, එම විකල්පය ඔහුගේ 2025 අයවැයේ තිබුණේත් නැත. 2026 අයවැය ඇස්තමේන්තුවේත් නොමැත. පොහොසතුන්ගෙන් බදු අය කිරීමට ඔහු ඒ හා සමානවම අකමැති වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ යන දෙකෙහිම උපදෙස් ඉවත ලමිනි.

දරිද්‍රතාව ඉහළ නංවන වක්‍ර බදු කෙරේ විශ්වාසය තැබීම අඩුකොට බදු පදනම පුළුල් කිරීමේ අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුන පුනා අවධාරණය කරන ලදී. අවසාන වශයෙන් පැවැති ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කිරීමේ වැඩසටහන ආරම්භයේ පටන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට රජයට ධන බද්දක් සහ ප්‍රවේණි බද්දක් හඳුන්වා දෙන ලෙස බලකර සිටියේය.

ලෝක බැංකුව එහි අලුත්ම වාර්තාවේ සෘජු බදු සහ වක්‍ර බදු අනුපාතය අතර පවතින අතිශය අසමතුලිතතාව ගැන (එසේම ශ්‍රී ලාංකීය වඩාත් දුප්පත් ජනතාවගේ ක්‍රය ශක්තිය (භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව) හා ජීවන තත්වයට පහර වදින වක්‍ර බදු මත පමණට වඩා රැඳී සිටීම සම්බන්ධයෙන්) අනතුරු අඟවා  ඇත. එයින් සියයට පහේ ආර්ථික වර්ධන වේගය ලබා ගැනීමේ රජයේ ඉලක්කයටද යම් පිටුබලයක් ලැබෙන බව එයින් (වාර්තාවෙන්) පැවසේ. දේශීය හා ජාත්‍යන්තර යන සියලුම සමාගම් සම්බන්ධයෙන් සියයට 15ක අවම සමාගම් ආදායම් බද්දක් පනවන ලෙස එයින් උපදෙස් දෙයි. (සියයට තිහක ව්‍යවස්ථානුකූල නාමික අනුපාතයක් සමග) එයින් ආදායම් ව්‍යාප්තියේ ඉහළම ආදායම් ඇස්තමේන්තු කර, ඉහළම ආදායම් උපයන්නන්ගේ පෞද්ගලික ආදායම් බද්ද සියයට 169 ක් වැනි යෝධ ප්‍රතිශතයකින් වැඩි කරන ලෙසත් උපයන විට ගෙවීමේ බද්ද (PAYE) සියයට 75කින් වැඩි කිරීමට එකඟ වන ලෙසත්, එම වාර්තාවෙන් රජයට බල කර ඇත.

සෘජු බදු වැඩි කිරීමට වික්‍රමසිංහ පාලනය ගත් තීරණයට, ජ.විපෙ. ඇතුළු එවකට විරුද්ධ පක්ෂය, ජනතා විරෝධී පියවරකැයි කියමින් දෝෂසහගත ලෙස විරුද්ධ වූණේය. ලෝක බැංකුවේ නවතම වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි මෙයින් ධනවත්ම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉහළම සියයට දහයට මූලිකව කරනු ලබන බලපෑම ඉහළ යයි.

එය 2024 ජනවාරියේ සිදු කළ වැට් බද්ද ඉහළ දැමීම මෙන් නොව, එයින් දරිද්‍රතාව සියයට 2කින් ඉහළ ගියේය) ධනවත්ම, ඉහළම සියයට දහයට අයත් නිවැසියන් උපයන විට ගෙවන (PAYE) බදු බරෙන් සියයට 76ක් ඉසුලූ අතර, ඔවුහු පෞද්ගලික ආදායම් බදුවල බරෙන් සියයට 66ක් ඉසුලූහ. වැඩි කරන ලද ඍජු බදු සමග වැඩි කරන ලද පැවරුම් බද්දෙන් 2024දී දරිද්‍රතාව සියයට 6.4කින් අඩු වූයේය.

අවාසනාවකට මෙන් ආණ්ඩුව ඍජු බදු වැඩි කරන්නට අකැමැති සේම මිලිටරි වියදම් අඩු කිරීමට අකැමැතිය.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 2000 බවට පත් කිරීමට දුන් මැතිවරණ පොරොන්දුව සහ ඉන් අනතුරුව එන අයවැයේදී වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1700 බවට පත් කිරීමට දුන් පොරොන්දුව ද ආණ්ඩුව හකුලා ගත්තේය. අහම්බෙන් හෝ ආණ්ඩුව, ශ්‍රී ලංකාව වලංගු කිරීම මග හරින ලද ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) 53 වැනි ප්‍රඥප්තිය, වලංගු කිරීමට කටින් දෙන පොරොන්දුවලින් ඔබ්බට යාදෝයි බැලීම වඩාත් හොඳය. විශේෂයෙන්ම (1981 රැකියාවල සුරක්ෂිතභාවය හා සෞඛ්‍ය ප්‍රඥප්තිය වූ) C 155 ප්‍රඥප්තිය හා C 187 ප්‍රඥප්තිය (2006 රැකියා සුරක්ෂිතභාවය හා සෞඛ්‍ය ප්‍රඥප්තිය උදෙසා ප්‍රවර්ධන සැලසුම වූ) වලංගු කරයිද යන්නද බලා සිටිය යුතුය.

කේන්ද්‍රගත වෙනස්කම් සිදු කිරීමට දෙඩූ පුරසාරම් හා පරිවර්තන සිදු කිරීමට දුන් පොරොන්දුවලට වඩා ආණ්ඩුවේ කෙරුවාව හාත්පසින් වෙනස්ව යමින් පෙන්නුම් කරනුයේ ස්ථාපිත වූ දේශපාලන, ව්‍යාපාරික, මිලිටරිමය හෝ ආගමික ඕනෑඑපාකම් මත ස්ථාපිත වූ දෑ වෙනස් කිරීමට ආණ්ඩුව දක්වන බෙලහීන අකර්මණ්‍යභාවයයි. උදාහරණයකට එහි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අනුවත්, ඊට පෙරත් ජවිපෙ/ජාජබ යටත් විජිත යුගයේ පුරුෂ මෛථුන්‍ය නීතිය කටුගා සමලිංගිකත්වය සාපරාධී බවෙන් තොර ක්‍රියාවක් සේ සැලකීමට නීති ගෙන ඒමට පොරොන්දු දුන්නේය. පන්සල් හා පල්ලිවල කැළඹීම් හේතුකොට ගෙන ආණ්ඩුව මුව අගුළුලා ගෙන එම පොරොන්දු අකුලා ගත් සෙයක් පෙනේ. ඍජු බදු සම්බන්ධයෙන් (විශේෂයෙන් ධන බද්ද හා ප්‍රවේණි බද්ද සම්බන්ධයෙන්) හා ජා.ජ.බ. පවතින විරෝධය ද පාලක පක්ෂය (ජවිපෙ) තුළින්ම මතුවෙන්නා සේය. ජාජබ/ජවිපෙ ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන්, ජාත්‍යන්තර කම්කරු දිනයේදී නිර්ධන පන්තියේ ධජය යට ගමන් කළ ද, ඔවුන්ගේ වත්කම් ප්‍රකාශ ඔවුන් දැඩි ලෙස ස්ථාවර කොට තබන්නේ මැද පන්තියේ හා ඉහළ ආදායම් ලබන්නන්ගේ පොදු අරමුණට යොමුවන්නන්ගේ තත්වයේය. බදු අය කිරීමෙන් විශේෂයෙන් වරප්‍රසාද නොලත් ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියලු දෙනාට ප්‍රතිලාභ ලැබෙන්නේ වුව, තමන්ගේ පෞද්ගලික මුදලට තට්ටුවේ නම්, ඔවුන් බදු අය කිරීමට සහාය දෙන්නේ කුමටද?

කතුහලය දනවන ආණ්ඩුවේ බයාදුගතියට තවත් හේතුවක් විය හැක්කේ සාම්ප්‍රදායික සුලභ මතවාදයන්ට ඔබ්බෙන් සමාජ ආර්ථික හා දේශපාලන යථාර්ථයන් පිළිබඳ අවබෝධය ප්‍රමාණවත් නොවීම විය හැකියි. උදාහරණයකට එදිරිවාදී ඊශ්‍රායලයට ආණ්ඩුවේ ඇති බිය ගෙන බලන්න. එසේ වී ඇත්තේ අප ඔවුන් විවේචනය කරන වචනයක් හෝ තෙපළුවහොත් ශ්‍රී ලංකාවට ඊශ්‍රායල රැකියා සහ ඊශ්‍රායලයේ සංචාරකයින් අහිමිව යාවිය යන වැරදි විශ්වාසය නිසාද? එසේ වන්නේ නම් ඒ නියත වශයෙන්ම ආණ්ඩුව, අද ඊශ්‍රායලය ලොවෙන් කොන් වූ රාජ්‍යයක් වග වටහා නොගෙනයි. අපට වඩා දුප්පත් රටවල් ඇතුළුව, සදාචාරාත්මක වශයෙන් පිළිකුල්සහගත හා අනාරක්ෂිත වූ රාජ්‍යයකට තම රටවැසියන්  (ප්‍රාදේශීය යුදවලට ඇති අභිරුචිය නිසා) සේවය සඳහා පිටත්කර හරින රටවල් ඇත්තේ ස්වල්පයකි. එසේම ඊශ්‍රායල් සංචාරකයන්ගේ පැමිණීම සාදරයෙන් පිළිගෙන ඔවුන්ට ආරක්ෂාව සලසන රටවල් ඇත්තේ ද ඉතා ස්වල්පයකි.

ඊශ්‍රායල් තීරු ලිපි රචක ඩැනී බාර් (Dani Bar) ‘‘මා ග්‍රීක නිරුවත් රටකට බේරී පලා ගියේ ඊශ්‍රායල්වරුන් එහිදී ද දැඩි අකමැත්තට පාත්‍ර වන බව අනාවරණය කරගන්නටය’’ යනුවෙන් ලිව්ඔවේය. ඔහු උතුරු ඊජියානු දේශයේ හුදෙකලා සැමොත්රේස් පළාතට ගිය විට පහත සඳහන් වදන් කුරුටු ගා තිබූ පුවරු දුටුවේය. ‘‘ජන සංහාරක රටෙන් නිවාඩුවක් ගත කිරීම සඳහා මෙහි නොඑනු’’ (Haaretz - 18.09.2025) තමන්ගේ රටේ පුරවැසියන්ට පහර දුන් ඊශ්‍රායල සංචාරකයන් ඇප පිට නිදහස් කළ එකම රට ද ශ්‍රී ලංකාව විය හැකිය. (සිංහල බෞද්ධ අන්තවාදීන් සිය ප්‍රචාරක කටයුතුවල කියන්නේ වෙනස් කතාවක් වුවද, ඊශ්‍රායල් සංචාරකයින් අතින් පහර කෑ හෝටල්කරුවා සිංහල අයෙකි) ගෝලීය වශයෙන් අන්ත පිළිකුලට භාජනය වූ තත්වය තුළ අපව ඊශ්‍රායලයට අවශ්‍ය පමණට වඩා වැඩියෙන් ඊශ්‍රායලයට අපව අවශ්‍යය. ඍජු බදු වල යෝග්‍යාතාව සේම එය ජාජබ/ජවිපෙ මානසිකත්වයට දුරස්තර වූ සත්‍යයකි.

එහෙත් ලකුණු පුවරු දෙකකින් ආණ්ඩුව ඉදිරියෙන් සිටී. එය නාස්තිය හා දූෂණය වලකාලීමටත්, විපක්ෂයට බාධා කිරීමටත් අවංක ආශාවක් දක්වන බව පෙනේ.

 

පෙර නොවූ විරූ විපක්ෂය:

හිටපු පාර්ලිමේන්තු මහකොමසාරිස්, නිහාල් සෙනවිරත්න අවුරුදු 33ක පාර්ලිමේන්තුවේ මතක සටහන් ලියා තැබූ : Memories of 33 Years in Parliament නම් ග්‍රන්ථයේ තවත් රටකට වඩා වෙනත් ග්‍රහලොවකට සමාන අතීතයක් ගැන කරුණු ගෙනහැර දක්වයි. ඔහුගේ දීර්ඝ සේවා කාලය තුළ ජාත්‍යන්තර උත්සව වලට පිටත්ව ගිය අවස්ථාවල ශ්‍රී ලාංකීය පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ලේකම්වරයා ලෙස ඔහු කටයුතු කළේය.

ස්කැන්ඩිනේවියානු රටක පැවැති අන්තර් පාර්ලිමේන්තු නියෝජිත එකමුතුවේ සමුළුවකදී අපගේ එක් මන්ත්‍රීවරයකු මා වෙත ‘‘මට මහ විශාල ප්‍රශ්නයක් වෙලානෙ’’ කියාගෙන පැමිණි අවස්ථාවක්  මගේ මතකයට නැගේ. ඔහු ශ්‍රී ලංකාවේ සිටි සිය (භාර්යාව) කාලත්‍රයා සමග පැය ගණන් දිග දුරකතන සංවාදයක නිරතවී තිබිණි. ඈ අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ නිසා ඈ සමග කතා කරන්නට අවශ්‍ය වූ බව ඔහු මට කීවේය. ඒ සඳහා යුරෝ සියයකට වැඩි දුරකතන බිලක් ඔහුට ලැබී තිබිණ. මා ලවා එම බිල ගෙවා දැමීමට ඔහුට අවශ්‍ය වූයේය. මා මෙම සංචාරය ආරම්භයේදීම ඕනෑම, පෞද්ගලික එතෙර දුරකථන ඇමතුමකට ඔවුන් විසින්ම මුදල් ගෙවිය යුතු බව ඉතා විනීත ලෙස නියෝජිතයන් සියලු දෙනාට කීබව මම ඔහුට මතක් කළෙමි. මා ළවා එම රටේ තානාපතිවරයාට ඒ ගැන කතා කොට දුරකතන බිලෙහි වියදම පියවා ගැනීමට ඔහුට අවශ්‍ය විය. මම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළෙමි. අවසානයේ ඔහුටම එම බිල ගෙවන්නට සිදුවිය.

 

(සන්ඩේ අයිලන්ඩ් 2.3.2025)

අප සතුව තිබී අපට අහිමි වී ගිය රට එයයි. ජාජබ/ ජවිපෙ ආණ්ඩුව, බොහෝ කලක සිට බලාපොරොත්තුවෙන් සිටි ජනාධිපති වරප්‍රසාද කපා හරින පනත හඳුන්වා දුන් අවස්ථාවේ විපක්ෂය ඊට සහාය නොදී, ඡන්දය නොදී පිටත්ව ගොස් ගත් බියගුලු ක්‍රියාමාර්ගයෙන් අප කෙතරම් පහතට වැටී ඇත්තේ දැයි දිස්වේ.

වසංගතයක් පැවැති කාලයේ සහ ආර්ථික අර්බුදය පැවැති කාලයේ මහින්ද රාජපක්ෂගේ විශ්‍රාම දිවිය ගත කළ නිවස අලුත්වැඩියා කිරීමට, පැවැති රජය රු. මිලියන 421 තරම් විශ්මිත මුදලක් වැය කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා රාජපක්ෂ කැබිනට් පත්‍රිකා 2කින් අවසර ගෙන ඇත. 2020 සහ 2021 වසරවල අග්‍රාමාත්‍ය ධුරයේ සිටියදී ඔහු මෙම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළ අතර, එවකට මුදල් අමාත්‍යවරයා වූයේ ද ඔහුමය.

ඩේලි මිරර් පුවත්පත තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ලබාගත් තොරතුරුවලට අනුව එයින් රු. මිලියන 15කට වඩා වැය කොට ඇත්තේ නාන කාමර උපාංග සඳහාය. තවත් මිලියන 15කට වඩා ග්‍රැනයිට් ඇතිරීමටය. මිලියන 32කට වඩා විදුලි කාර්මික කටයුතු සඳහා. එම මිලදී ගැනුම් උදෙසා රජයේ මාර්ගෝපදේශ හෝ ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටින් අනුගමනය කළ බවට සාක්ෂි නැත.

මෙවැනි අතිදරුණු වැය කිරීම් සිදු කොට තිබෙන්නේ ජනාධිපති වරප්‍රසාද පනත යටතේය. මේ සියල්ල ගැන විරුද්ධ පක්ෂය කිසිවක් නොදන්නාසේය. රාජපක්ෂලා මෙම පනත අවභාවිත කළ අයුරු විපක්ෂයට මතක නැත. එසේම මෙම පනත අවලංගු කොට දැමීම සජබ/ සජිත් ප්‍රේමදාස සහ එජාප රනිල් වික්‍රමසිංහ වෙත පසුගිය මැතිවරණ දෙකේදීම ඔවුනට ඡන්දය දුන් ඡන්දදායකයන්ගේ ඉල්ලීමක් ද විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවූ විපක්ෂය එජාප එකඟතාවයේදී රාජපක්ෂලා සමග අත්වැල් බැඳගෙන එම වරද අශ්ලීල ලෙස පරාජය කරන්නට උත්සාහ දැරුවේය. සුපුරුදු චාරිත්‍රානුකූල ලජ්ජා නැතිකමෙන් සාගර කාරියවසම් ඇතැම් පද වහරන විට ඔවුහු ඔල්වර හඬ දුන්නෝය.

‘‘අපේ කඳවුරු දෙකම ලොකුම වැරැදි දෙකක් කළා. අප දෙගොල්ලොම බලය ලබා ගන්නට, අපේ විරුද්ධවාදීන් රටට කළ සේවය නොසලකා හැරියා. විරුද්ධ පැත්තට ඇඟිල්ල දිගු කොට හොරා හොරා, හොරා කීවේ හේතු රහිතව. ඔප්පු කරන්නට කරුණු නොමැතිව. ඒ වරද අපත් ඔබත් දෙගොල්ලන්ම සිදු කළා’’.

මුවින් ගිලිහුණු එක හුස්මකින් ඔහු ආණ්ඩුවේ කාර්යභාරය ඉටු කළේ සමස්ත විපක්ෂයම අසත්‍යවාදී, විශ්වාසය තැබිය නොහැකි, අවස්ථාවාදී, බලය ඩැහ ගැනීමට ඕනෑම දෙයක් කළ හැකි වංචනිකයන් ලෙස ලේබල් ගසමිනි. ඔවුන්ගේ කටවරද්දා ගැනීම ආණ්ඩුවට ප්‍රදානය කළ ත්‍යාගයක් වග වටහාගන්නට තරම් සංවේදී බවක් ඔහුටත් ඔහුගේ ප්‍රේක්ෂක සභාවටත් නොතිබිණි. හොඳත් නැති නරකත් නැති (පතෝල වැනි) ආණ්ඩුවකුත් සියදිවි නසා ගැනීමට නැඹුරු විපක්ෂයකුත් නොවේද මේ? අපේ ඉරණම මෙයද?

 

(***)

2025 ඔක්. 01 Daily FTහි පළවූ Lacklustre Government,

Blessed by the Opposition ලිපියේ පරිවර්තනය

සමන් පුෂ්ප ලියනගේ

තිසරණී ගුණසේකර විසිනි



අදහස් (0)

අපේ ඉරණම කුමක්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 416 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 327 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site