IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජය ලාංකික ජාතියේ ජයග්‍රහණයක්

රංගිරි දඹුල්ල අන්තර් ජාතික ක්‍රීඩාංගණයේ රොද බැඳගත් දහස් සංඛ්‍යාත ක්‍රීඩා ප්‍රේමීන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාව පිනවමින් ඔවුන් අමන්දානන්දයට ලක් කරමින් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ බලගතු ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලජ්ජා සහගත පරාජයකට ලක් කරමින් ආසියානු කුසලාන කාන්තා විස්සයි - 20 ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත් වූහ.

මෙයට පෙර පස් වතාවක්ම අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුවද එම පස්වතාවෙදිම ශූරතාව දිනාගැනීමට නොහැකි විය. එහෙත් මෙවර සිහිනය – ජීවමාන යථාර්ථයක් බවට පත්කර ගැනීමට චමරි ප්‍රමුඛ පිරිවර සමත් වූයේ ශ්‍රී ලාංකේය අභිමානය ආසියාවෙන් ඔබ්බට මුළු මහත් ලෝකයා ඉදිරිපිටම ප්‍රදර්ශනය කරමිනි.

මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් දිගු ඉතිහාසයක් නැත. බලධාරීන්ගේ විශේෂ අවධානයට එය ලක් වූයේත් නැත. දරාගත නොහැකි තරමේ නොසලකා හැරීම් කළ බලධාරීහු ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ද වගකීමක් නොදැරූහ. එහෙත් වඩාත් දුෂ්කරම මාර්ගය තෝරා ගැනීමෙන් නිපැදෙන අවදානම් සහගත ප්‍රීතියෙන් යුතුව අපේ ක්‍රීඩිකාවෝ නොසැලී පෙරටම පැමිණියහ. එහි අග්‍ර ඵලය ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමය. මෙවර මෙහි විශේෂත්වය වන්නේ තරගාවලිය පුරාම අපරාජිතව පෙරට ඒමට ක්‍රීඩිකාවන් සමත්වීමය.

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාව දිනා ගැනීම අහම්බයක් නොවේ. එය වාසනාවට ලද ජයග්‍රහණයක් ද නොවේ. දක්‍ෂතාව, කැපකිරීම්, පුහුණුවීම් ආදියෙහි සංකලනයෙන් ලද ජයග්‍රහණයකි. ක්‍රිකට් ක්‍රීඩාව සමග ආධ්‍යාත්මිකව බැඳීමෙන් අත්පත් කරගත් ජයග්‍රහණයකි. රට පෙරට තබා ක්‍රීඩා කිරීමෙන් ලද ජයග්‍රහණයකි.

කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සම්බන්ධයෙන් විශේෂයෙන් සටහන් කළ යුතුය. චමරි යනු ලෝක ක්‍රිකට් වංශ කතාවේ ගිනිසිළුවය. ඇගේ ප්‍රවේගකාරී පිතිහරඹයෙන් බැට නොකෑ කණ්ඩායමක් නැත. ඇගේ මනස්කාන්ත පිති හරඹය ඕනෑම අයකු ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි පොළඹවන්නකි. ළාබාල හුරුබුහුටි ක්‍රීඩිකාවන් හැදුණේ වැඩුණේ ඒ චමරිගේ යෝධ සෙවණැල්ල යටතේය. චමරි මවක මෙන් ළාබාල ක්‍රීඩිකාවන් රැක බලාගත්තාය. බලගතු ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගල ග්‍රහණයෙන් ගෙන ආසියානු ශූරතාව දිනා ගැනීමට අපේ කණ්ඩායම සමත් වූයේ ඒ ආනුභාවයෙනි.

අවසන් මහ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ ලකුණු 166 කි. ඒ වූ කලී ඕනෑම කණ්ඩායමක් තිගැස්සීමට ලක් කෙරෙන යෝධ ලකුණු සංඛ්‍යාවකි. අපේ මුළු ලකුණු සංඛ්‍යාව 7ක් වනවිට පළමු කඩුල්ල බිඳ වැටිණි. එහෙත් එයින් පසුබට නොවුණු චමරි අතපත්තු පිටිය මැද ලකුණු මැෂිමක් ක්‍රියාත්මක කළාය. ඇගේ දැවී යාමෙන් පසුව කවීෂා දිල්හාරි සමග සුසංගත වූ හර්ෂිතා සමරවික්‍රම ඉන්දියානු පන්දු යවන්නියන්ට අනුකම්පා විරහිත ලෙස පහර පිට පහර දෙමින් ජයග්‍රහණ පිපාසයෙන් සිටින ශ්‍රී ලාංකික ජනයාගේ බලාපොරොත්තු මුදුන් පමුණුවමින් ජයග්‍රහණය වාර්තා කළාය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු හඹා යාම වාර්තා වූයේ කාන්තා ආසියානු කුසලාන විස්සයි - 20 ක්‍රිකට් තරගයක දී කණ්ඩායමක් හඹාගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය. එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් විස්සයි - 20 තරගයක දී හඹාගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි විස්සයි - 20 තරගයක දී කණ්ඩායමක් හඹාගොස් ජයගත් තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.

අනුස්මරණීය ජයග්‍රහණයකින් ලක්මව සැරසූ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්‍ෂ 5 මුදලක් (රුපියල් කෝටි 50 ක්) ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කළේය. එයද අගය කළ යුතුය. ඉදිරියේ දී මෙවැනි අලංකාර ජයග්‍රහණ පෙරහරකින් පෙළහර පෑමට අපේ ක්‍රීඩිකාවන්ට ශක්තිය ලැබේවායි ‘‘ලංකාදීප’’ය සොම්නසින් යුතුව ප්‍රාර්ථනා කරමු.

(***)



අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජය ලාංකික ජාතියේ ජයග්‍රහණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site