IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ශාක්‍ය ජනපදයේ ඛේදවාචකය

පිළියන්දල, කහපොළ රෙජිඩේල් වත්තේ අක්කර 78ක භූමියක රුපියල් කෝටි පනහක වියදමෙන් 2017 වසරේ ඉදිකිරීම් ඇරැඹුණු ශාක්‍ය ජනපදයේ ඉදිකිරීම් මේ වනවිට නැවතී ඇති අතර එම භූමිය මත්කුඩුකාරයන්ගේ පාරාදීසයක් වී ඇතැයි ප්‍රදේශවාසීන් පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

ශාක්‍ය ජනපදය මත්ද්‍රව්‍ය පානය කරන්නන්ගේ තිප්පොළක් බවට පත්වීම බෞද්ධ රටෙහි ජනයාට ඕනෑවටත් වඩා කම්පාවීමට කාරණාවකි. එමෙන්ම නොනැවතී කම්පාවට පත්වීමට තරම් කාරණා මෙම ප්‍රවෘත්තියෙහි අන්තර්ගතය. විශේෂයෙන්ම ඇමතිවරයා මාරු වනවිට ප්‍රතිපත්ති මාරුවන රජයක් වෙනස් වූ විට පැවති රජයේ ව්‍යාපෘතිවල කඩදාසි කැබැල්ලක්වත් සොයා ගැනීමට නොහැකිවීම යන කාරණා රටක දිළිඳු ආධ්‍යාත්මයේ හැඩරුව මෙම ප්‍රවෘත්තියෙන් මනාව විවරණය වෙයි.

රෙජිඩේල් වත්තේ හිමිකරු කැස්බෑව ප්‍රදේශයේ ජීවත් වූ සමරකෝන් නමැති දානපතියෙකි. මෙම ඉඩම ඇතුළු තමන් සතු දේපොල විශාල ප්‍රමාණයෙන් සිය අවසන් කැමැත්ත මගින් මහා බාරකරුට පවරා ඇති අතර ඔහුගේ එකම ඉල්ලීම මෙම ඉඩම ආගමික කටයුත්තක් සඳහා යොදවන ලෙසය.

දඹදිව ඇති සියලු ආගමික ස්ථානවල ජීවමාන අනුරූ, භාෂා 10 කින් ධර්ම ප්‍රචාරය කිරීමේ පහසුකම් සහිත සන්නිවේදන මධ්‍යස්ථාන, එකවර දහසකට පමණ පිරිසකට භාවනා කිරීමේ පහසුකම් සහිතව සංචාරක ආකර්ශනය දිනාගත හැකි ස්ථානයක් ලෙස ශාක්‍ය ජනපදය ගොඩනැගීමට සැලසුම් වී තිබෙන්නේ එම දානපතියාගේ අවසන් කැමැත්තට යටත්වය. යහපාලන රජයේ හිටපු අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජයදාස රාජපක්ෂ මහතා මෙම ශාක්‍ය ජනපදයේ ඉදිකිරීම් කටයුතු ලයිට් ඔෆ් ඒෂියා නමැති සංවිධානයට බාරදී ඇති අතර ඉදිකිරීම් කටයුතුවලට අවශ්‍ය රුපියල් කෝටි 50ක මුදලක් ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් දෙපළක් ලබාදී ඇති අතර මෙහි අධීක්ෂණ කටයුතු නේපාල ජාතික පුරාවිද්‍යාඥයකු සිදුකර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශාක්‍ය ජනපදෙය් වැඩ කටයුතු ආරම්භ කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ‘‘අවශ්‍ය සියලු අරමුදල් සොයාගෙන මෙහි ඉදිකිරීම් ආරම්භ කළත් අතරමගදී තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ බවය. තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ පසු එය නාගරික සංවර්ධන අධිකාරිය යටතේ නගරයක් කරන බවට මාධ්‍ය වාර්තා පළ වූ බවද ඒ මහතා ප්‍රකාශ කර තිබිණි. රුපියල් කෝටි 50ක අරමුදලක් පිහිටුවා ආරම්භ කළ මෙම ඉදිකිරීම් වෙනුවෙන් පසුව රුපියල් කෝටි 40ක පමණ මුදල් එකතු වූ බවද මන්ත්‍රීවරයා පවසා තිබේ.

ප්‍රශ්නය වන්නේ මෙම මුදලට සිදුවූයේ කුමක්ද යන්නය. මෙම පළාතේ දේශපාලන බලධාරියකු වන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගෙන් අප පුවත්පත විමසීමක් කළ විට ඔහු පවසා තිබුණේ ‘‘එහි සැලැස්මක් හෝ සොයා ගැනීමට නොහැකි’’ බවයි.

2019 වසරේ වෙසක් උළෙලට සමගාමීව මෙම ශාක්‍ය ජනපදය විවෘත කිරීමට සැලසුම් සකස් කර තිබුණත් මේ වනවිටත් එහි පවතින්නේ ප්‍රකාරය, ගොඩනැගිල්ලක් සහ පොකුණු කිහිපයක් පමණි. එහි තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමාවක සිරසට හානිකර ඇති අයුරු දැක්වෙන සේයාරුවක් ද එම ප්‍රවෘත්තිය සමග පළ කර තිබිණි. කුඩ්ඩන්ගෙන් එයට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක.

මහා දානපතියකුගේ ආදර්ශවත් පරිත්‍යාගය එයට හිමි නිසි අරුතෙන් හඳුනා ගැනීමට බලධාරීන් කටයුතු කර ඇති බවක් නොපෙනේ. අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මෙහි ඉදිකිරීමට සැලසුම් කර තිබූ සත්වෝද්‍යානය යළි ඉදි කිරීමට තමන් කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරිය මගින් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සකස් කළ සැලැස්ම අනුවම එය ඉදි කිරීමට සැලසුම් සකස්කර ඇති බවත්ය.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ‘‘මෙම ඉඩමෙන් අක්කර පහක් බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ තබාගෙන ඉතිරිය වන ජීවි රැකවරණ අලි වැට හා අගල් ඉදි කිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට පවරා ඇති බවය. එහෙත් විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ‘‘තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා’’ බවය.

දානපතියා සිය අවසන් කැමැත්තට අනුව පැවරූ දේපොළක් එම මුල් අරමුණෙන් බැහැරව වෙනත් යමකට යෙදවිය හැකිද යන ප්‍රශ්නය මෙහිදී පැන නගී. විශේෂයෙන්ම ශාක්‍ය ජනපදය සතුන් කූඩුකර තබන ස්ථානයක් බවට පත්වීම යනු බරපතළ ප්‍රශ්න මතු කරන්නකි. දානපතියාගේ අපේක්ෂාව වන්නට ඇත්තේ නිර්මල ථෙරවාදී බුදු දහම ලොව රටවල් වෙත රැගෙන යන මහා ධර්ම නිකේතයක් බවට මෙම පුණ්‍ය භූමිය පත්වනු ඇති බවය. මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් කෝටි 50 ක මුදල පරිත්‍යාග කළ ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් දෙදෙනා මේ මොහොතේ කුමක් සිතනු ඇද්ද? රුපියල් කෝටි 100ක පමණ මුදලට කුමක්වීද? පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ආධාරවලටත් මෙසේ වන්නේ නම් රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලදී ‘‘කොහොම ගැහිල්ලක් ගහනු ඇද්දැයි’’ පොදු මහජනයාට නොසිතෙන්නේ නම් එය විමතියකි.

(***)



අදහස් (2)

ශාක්‍ය ජනපදයේ ඛේදවාචකය

dhamneth Tuesday, 28 September 2021 11:34 AM

මෙම ස්ථානය ආගමික කර්තව්‍යයක් සඳහා යොදවනවා නම් මෙම ඉඩම කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවන්ට හෝ පිටිදූවේ සමන්ත භද්‍ර හාමුදුරුවන්ට පවරා දෙන්න...

:       8       4

sg Thursday, 30 September 2021 12:18 AM

බුදුහාමුදුරුවෝ මේවා දේශනා කරලා නෑ... බොරු වැඩ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1806 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1473 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site