ලියාපදිංචි වෛද්‍යවරුන් 350 දෙනකු පමණ ලබන මාසයේදී එකවර විශ්‍රාම යෑමට සූදානම්ව සිටින බවත්, ඒ හේතුවෙන් ග්‍රාමීය රෝහල් 50ක් පමණ වසා දැමීමේ තර්ජනයකට මුහුණ දී ඇති බවත් නොබෝදා අප පුවත්පත වාර්තා කළේය. විශේෂ චක්‍රලේඛයක් හේතුවෙන් ජූනි 30 සහ දෙසැම්බර් 31 මෙරට වෛද්‍යවරුන් එකවර විශාල පිරිසක් මේ අනුව විශ්‍රාම ගැනීමට සූදානම් වන බවද එම පුවතේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව වාර්තා වන්නට පටන් ගැනුණේ මීට අවුරුදු 7කට පමණ ඉහත කාලයේ පටන් ය. 2016 දී පවා මෙරට වෛද්‍යවරුන් 2500 කගේ පමණ හිඟයක් පවතින බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පළ කළ අදහසක් බීබීසී වාර්තාවක දැක්වේ. 2016 කාලයේ මෙරට ජනයා 1350 කට පමණ සිටියේ එක් වෛද්‍යවරයකු බව එම වාර්තාවේ ම දැක්වේ. 2017 වසරේ වාර්තා අනුව එවකට මෙරට සිටි වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 20349 කි.
සාමාන්‍යයෙන් රටක පුද්ගලයන් 1000 කට වෛද්‍යවරුන් කීදෙනෙක් රට තුළ සිටිය යුත්තේ ද යන්න විමසා බැලීම සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් වූ ලෝකයේ පිළිගත් දර්ශකයකි. ආර්ථික අර්බුදය ඇරඹුණු 2020 වසරේ මෙරට වැසියන් 1000 කට සිටි වෛද්‍යවරුන්ගේ අනුපාතය 1.3 කි. සාමාන්‍යයෙන් සංවර්ධිත යුරෝපා රටක මෙම අනුපාතය 3 ට ආසන්න වේ. කැනඩාවේ මෙම අනුපාතය 2019 දී 2.4 කි. ඇමරිකා එක්සත් ජනපදයේ (2018) දහසකට වෛද්‍යවරුන්ගේ අනුපාතය 2.6 ක් විය. ලෝකයේ මෙම අනුපාතය වැඩිම රට කියුබාව බව පෙනේ. එරට වැසියන් දහසකට වෛද්‍යවරු 8 දෙනෙක් පමණ සිටිති.
සාමාන්‍යයෙන් මෙරට 1200 ක් පමණ දෙනා විශ්වවිද්‍යාලවලින් පිටත්ව වාර්ෂිකව වෛද්‍ය සේවයට එක් වෙති. ඒ හැරුණු කොට වෙනත් රටවල වෛද්‍ය විද්‍යාව හැදෑරූ වෛද්‍යවරුන් 300- 350 ක් මෙරට වෛද්‍ය සේවයට වාර්ෂිකව එක් වෙන බව වාර්තා වෙයි. 2022 වසරේ වෛද්‍යවරුන් හත්සියයක් පමණ රට හැර ගිය බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ප්‍රකාශයකින් පැහැදිලි වේ. මෙම පුවතේ සඳහන් ආකාරයට චක්‍රලේඛයක් අනුව වසරකට දෙවතාවක් වෛද්‍යවරුන් විශ්‍රාම ගන්නට සූදානම් වන විට මෙම තත්ත්වය වඩාත් දරුණු අතට හැරෙන සෙයක් පෙනී යයි.
පශ්චාත් උපාධි අධ්‍යයන සඳහා ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා සිංගප්පූරුව යන රටවලට වෛද්‍යවරුන් පිටත්ව ගොස් ඇති අතර රැකියා සඳහා වෛද්‍යවරුන් මෙරටින් බැහැර ගොස් ඇත්තේ ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, විශේෂයෙන් ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන මැදපෙරදිග රටවලට ය.
මෙරට ආර්ථික අර්බුදය, සෞඛ්‍ය අර්බුදයක් කරා පරිවර්තනය වේ ද යන සැකය පිළිබඳ තොරතුරු විටින් විට වාර්තා වේ. සෞඛ්‍ය අර්බුදය වඩාත් දරුණු තත්ත්වයට පත් වන්නට ඖෂධ හිඟය ද, දොස්තර හිඟය තරමටම හේතු විය හැකිය. සාමාන්‍යයෙන් වාර්ෂිකව මෙරටට ඖෂධ ආනයනය කිරීමට ඩොලර් මිලියන 300 ක් පමණ වැය වෙන මුත් 2023 වසරේ ජනවාරි මාසයේදී වසර සඳහා ඖෂධ ආනයනය කිරීමට වැය කිරීමේ හැකියාව පැවතියේ ඩොලර් මිලියන අසූවක් පමණ ය. හෘදයාබාධ පිළිකා ඇතුළු රෝගවලට භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ රාශියක හිඟයක් මේ වන විට පවතී.
දොස්තර හිඟයෙනුත් ඖෂධ හිඟයෙනුත් වඩාත් අසීරුවට පත් වන්නේ මෙරට ග්‍රාමීය ජනතාවයි. විශ්‍රාම ගිය හා රට හැර ගිය බොහෝ වෛද්‍යවරුන් නිසා වැසෙන තත්ත්වයට පත්ව ඇත්තේ ග්‍රාමීය රෝහල් ය. මෙරට වෛද්‍යවරුන්ගේ අනුපාතය පුද්ගලයන් දාහකට 1.3 ක් වුවද රටේ ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ අතර වෛද්‍ය සේවාව ලැබෙන ආකාරයේ විශාල වෙනසක් පවතී.
දිගින් දිගටම වෛද්‍යවරුන් රට හැර යාම හෝ විශ්‍රාම යෑම සිදුවේ නම්, දොස්තර හිඟයට පිළියමක් යෙදීම අවශ්‍යය. මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්නට උත්සාහ දැරූ අවස්ථාවේ, ඊට වැඩිපුරම විරෝධය දැක්වූයේ මෙරට විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය සමත් වූ වෛද්‍යවරුන්ය. මෙරට වෛද්‍ය සේවාවට වෙනත් රටවල වෛද්‍ය වෘත්තිකයන් ගෙන්වා ගන්නට යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඊට එල්ලවන විරෝධය ගැන සිතාගත හැකිය. වෙනත් රටවලින් වෘත්තිකයන් ගෙන්වා ගැනීමෙන් රටක එම සේවාවේ වෘත්තිකයන්ට හෝ එම සේවාවට හානියක් නොවන බව 2018 වර්ෂයේදී මහාචාර්ය රිකාඩෝ හැප්ටන් මෙරට පැවැත්වූ දේශනයකදී පැහැදිලි කර දුන්නේය. එම දේශනයේ පරිවර්තනයක් 2018/5/19 දින, සංවර්ධනයට දොර හරින ආගමනය යන හිසින් අපගේ පුවත්පතේ පළ වූයේය.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සේවයේ නියුතු වෛද්‍යවරුන් අනෙකුත් රජයේ සේවකයන් විශ්‍රාමයන වයසේදීම විශ්‍රාම යා යුතුයි.
කවුරු වුනත් වෙලාව ආවාම විශ්‍රාම යා යුතුමයි.. වෛද්‍ය හිඟයට විසඳුම විශ්‍රාම වයස වැඩිකරන එක නෙමෙයි, අලුත් දක්ෂ පරම්පරාවට මේ වෘත්තියට එන්න ඉඩදෙන එක.. රජයේ විශ්ව විද්‍යාල වල පහසුකම් නැතිනම් පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනයකින් පස්සේ හරි වෛද්‍ය සිසුන් ප්‍රමාණය වැඩි කරන එක...
රෝහල් වැසීයාමට හේතුවක් ලෙසට කියන්නේ ලියාපදිංචි වෛද්‍යවරුන් එකවරම විශ්‍රාම යෑමේ කියලා තමයි කියන්නේ එතකොට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ කාර්‍යාල තිබුණු ස්ථානවල ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන හදා ගමක් ගානේ නැතත් MBBS වෛද්‍යවරු යොදාගෙන තියෙන්නේ කොහොමද? සමහර තැන්වල රෝහල් ආසන්නවත් තියෙනවා කියලා තමයි අහන්න ලැබුණේ... දොස්තරලා කියන හැටියට මෙහෙම අනුයුක්ත කරන්න දොස්තරලා ඉන්නවා මම කියපු ස්ථානවලට දොස්තරලාට බෙහෙත් දීමට අමතරව කාර්යාලයටත් නිළධාරින් හා සේවකයින් යොදවා තියෙනවා...
ලියුම් කුරුටු ගාන්න, කොම්පියුටර් ගහන්නත් ගොඩක් දොස්තරලා ඉන්නවා. ඒ අයගෙන් බහුතරයක් ඉන්නේ ඔෆිස් වල. අන්න ඔවුන්ව ඉස්පිරිතාලවලට ගත්තා නම් හරි...