IMG-LOGO

2025 අගෝස්තු මස 29 වන සිකුරාදා


රටට විහිළු සපයන මැතිසබේ ක්‍රියාකලාපය

රටේ ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක විය යුතු පාර්ලිමේන්තුව වැඩකට නැති, කාලය කා දමන කෝළම් මඩුවක් බවට පත්වන්නේ නම්, ජනතාවගේ විරෝධය මන්ත්‍රීවරුන්ට එල්ල වීම ගැන පුදුම විය යුතු නැත. පසුගිය දින කිහිපය තුළදී පාර්ලිමේන්තුවේ වැඩ කෙරුණු ආකාරයෙන් පැහැදිලි වන්නේ, ආණ්ඩුවේත් විපක්ෂයේත් මන්ත්‍රීවරුන් තමන්ගේ වගකීම් පිළිබඳ සළුපිළි උනා දමා නිර්ලජ්ජිතව හැසිරුණු බවය. ඒ හැසිරීම් හේතුවෙන් රටේ ජනතාවගේ බලවත් උදහසට ලක්වෙමින් සිටින බවය.

රට මේ වන විට මුහුණ දී සිටින බරපතළ අර්බුදය පිළිබඳ මේ මැති ඇමැතින්ට වගේ වගක් නැති බව ඔවුන්ගේ හැසිරීමෙන් ප්‍රදර්ශනය වෙයි. දිනකට රුපියල් ලක්ෂ 92ක වියදමක් දරමින් පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නේ මොන කෙංගෙඩියකටදැයි මේ හැසිරීම් දකින රටේ ජනතාව ප්‍රශ්න කරති. ගෑස් සහ ඉන්ධන පෝලිම්වල ජනතාව දුක් විඳිද්දී, බෙහෙත් නැතිව මරණ සහතිකය තම අතින්ම ලියා ගැනීමට සිදුවන තත්ත්වයකට වැටෙද්දී පාර්ලිමේන්තුව ඇතුළේ සුපිරි බලතල භුක්ති විඳිමින් මෙලෝ වැඩකට නැති වාද විවාදවල එල්ලෙමින් කාලය කා දමන මන්ත්‍රීවරුන් සිදුකරන්නේ ජාතික අපරාධයකි. ඔවුන් තම හැසිරීමෙන් ප්‍රදර්ශනය කරන්නේ රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන තමන්ට නොදැනෙන බවය. එසේ දැනෙනවා නම්, හිටපු නියෝජ්‍ය කතානායක වෙනුවට අලු‍ත් නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් සියඹලාපිටියම පත් කරගැනීමට පැය තුනක කාලයක් ඡන්දයක් වෙනුවෙන් නාස්ති කරන්නේ නැත. එහෙම පත් කරගත් සියඹලාපිටිය පැය 24ක් ගතවීමටත් පෙර යළි අස්වන්නේ ද නැත. ආණ්ඩුවේත් විපක්ෂයේත් සියලු‍ මන්ත්‍රීවරුන් මේ ජනතාවගේ මොළ හිරිවට්ටන විහිළු සැපැයුමට වගකිව යුතුය.

අලු‍ත් අවුරුද්දෙන් පසුව පසුගිය සිකුරාදා (6) දක්වා දින 6ක කාලයක් පාර්ලිමේන්තුව රැස්වුවද රට ගිනි වතුරට ඇද දමා තිබෙන බරපතළ දේශපාලන සහ ආර්ථික අර්බුදය පිළිබඳ හරවත් සංවාදයක් පැවැත්වීමට හෝ අඩු තරමින් අදහස් ප්‍රකාශ කිරීමක් හෝ සිදු කිරීමට මන්ත්‍රීවරුන්ට උනන්දුවක් නොතිබිණි. තමන්ව පාර්ලිමේන්තුවට තෝරා පත්කර එවූ ජනතාවගෙන් පිරිසක් අද අව්වට පිච්චෙමින් වැස්සට තෙමෙමින් මහ පාරට බැස අරගල කරන්නේ ඇඟ කසනවාට නොවන බව මේ මන්ත්‍රීන්ට තේරෙන්නේ නැත. නැත්නම් ඒ බවක් අඟවන්නේ නැත. ලෝකයේ මේ වන විට බරපතළම ආර්ථික ගැටලු‍වට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ හැසිරීම මේ ආකාරයෙන් සිදුවන බව දන්නේ නම් අපට උදව් කිරීමට පෙර දෙවරක් සිතීමට ඕනෑම රටක් පෙළඹෙනු ඇත.

පාර්ලිමේන්තුවේදී ඇති වී තිබෙන මේ කනගාටුදායක තත්ත්වය පිළිබඳ ඉතා සංවේදීව කතා කළ ස.ජ.බ. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කර තිබුණේ, පාර්ලිමේන්තුව මේ ආකාරයට ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදී සිටියොත් ජනතාව එකතු වී කවදා හෝ පාර්ලිමේන්තුවට ගිනි තබනු ඇති බවය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා කියා තිබුණේ, මේ තත්ත්වය සමග මෙවැනි අවස්ථාවක මහ මැතිවරණයකට යන්නේ නම් මන්ත්‍රීවරුන්ට ජනතාවගෙන් ලැබෙනු ඇත්තේ ඡන්ද නොව ගුටි බවය. ජනතා ප්‍රශ්නවලට විසඳුම් සෙවීම පැත්තකට දමා පාර්ලිමේන්තුවේ සෙංකෝලය උදුරා ගැනීමට උත්සාහ කරමින් මොන්ටිසෝරි ළමුන් සේ හැසිරුණු ස.ජ.බ. මන්ත්‍රීවරුන්ට ද මෙය අදාළය. ජනතාවගේ ප්‍රශ්නවලට වඩා තමන්ගේ දේශපාලනය ඔවුන්ට වැදගත් වී ඇති බව එවැනි හැසිරීම් පෙන්වා දෙයි.

අද අපේ රට මේ තත්ත්වයට ඇද වැටුණේ මෙතෙක් කල් රට පාලනය කළ සියලු‍ දේශපාලනඥයන්ගේ වරදිනි. රටට වැඩ කළ, රට සංවර්ධනය කළ, දුරදක්නා නුවණින් යුතුව ජනතාවගේ අවශ්‍යතා ගැන සංවේදීව කටයුතු කළ දේශපාලනඥයන් ද අපට සිටිය නමුත් පසු කාලීනව වැඩි දෙනකු පාර්ලිමේන්තුවට ආවේ පරම්පරා ගාණකට හරි හම්බ කරගැනීමට මන්ත්‍රීකම උදව්වක් වන බව හොඳින් වටහාගෙනය. මේ හේතුවෙන් ජනතා සේවකයන් පමණක් නොව ජාවාරම්කාර මුදලාලිලා ද පාර්ලිමේන්තුවට රිංගා ගත්හ. පාර්ලිමේන්තුව ඇතුළේ බලය හුවමාරු වන අවස්ථාවලදී හොඳින්ම වෙන්දේසි වන්නේ එවැනි මන්ත්‍රීලාය. එක හොරෙක් වෙනුවට තවත් හොරෙක් පාර්ලිමේන්තු යැවීමට තමන්ගේ ඡන්දය භාවිත කරන රටේ ජනතාව ද මේ තත්ත්වයට වගකිව යුතුය. අද සියලු‍ දේ ඉල්ලා දණින් වැටෙන තත්ත්වයට තමන් පත්වුණේ තමන්ගේම තේරීමේ වැරැද්දෙන් බව ඔවුන්ට දැන්වත් අවබෝධ වී තිබිය යුතුය.

පාරවල් වසාගෙන, ආරක්ෂක වැටවල් දමාගෙන, පොලිස් හමුදාවකගේ රැකවරණ මැද පාර්ලිමේන්තුව පැවැත්වීමට අද සිදුව ඇත්තේ රටේ අර්බුදයේ දිග පළල පිළිබඳ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හරිහැටි අවබෝධ කර නොගැනීම හේතුවෙනි. සාමකාමීව අරගලයේ යෙදෙන තරුණ පිරිස්වලට සහ ජනතාවට කඳුළු ගෑස් ගසා පහරදී පොලීසිවලට කුදලාගෙන යාමෙන් මේ අර්බුදය විසඳිය නොහැක. මන්ත්‍රීවරුන් විසින් වත්මන් අර්බුදය හරිහැටි හඳුනාගෙන කටයුතු නොකළහොත් මේ අරගලය රටේ බරපතළ දේශපාලන සහ ආර්ථික සුනාමියක් කරා යොමු වීම වළක්වාගත නොහැකි වනු ඇත.

පාර්ලිමේන්තුවෙන් තමන්ගේ ගැටලු‍ විසඳෙන්නේ නැත්නම් ජනාධිපති, අගමැති පමණක් නොව 225ටම ගෙදර යන ලෙසට ජනතාව හර්තාල් කරන දිනය වැඩි ඈතක නොවන බව ඉතාම පැහැදිලිය. වගකීම් විරහිතව ජනතාවගේ ගැටලු‍ පිළිබඳ නොසලකා මොන්ටිසෝරි වැඩ කරන මන්ත්‍රීවරුන් කරන්නේ එම හර්තාල් ගින්නට පිදුරු දැමීමක් බව ද කිව යුතුය.

(***)



අදහස් (0)

රටට විහිළු සපයන මැතිසබේ ක්‍රියාකලාපය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14778 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 448 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 261 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site