IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රාජ්‍ය සේවයේ අල්ලස දූෂණය පිටුදකිමු

සුරාබදු නියාමනය සිදුකෙරෙන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුවක් මගිනි. එවැනි දෙපාර්තමේන්තු, ආයතන ඇතුළු රාජ්‍ය සේවය තුළ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා අප්‍රමාණය. ඒ හේතුවෙන් රජයේ කාර්යාලයකින් කිසියම් සේවාවක් ලබාගැනීමට පැමිණෙන රටේ සාමාන්‍ය ජනතාව විවිධ කරදර හිරිහැරවලට ලක්වෙති. අතමිට මොලවා මුදලක් එහෙ මෙහෙ විසිකිරීමෙන් තොරව ඇතැම් විට තමන් බලාපොරොත්තු වන සේවාව ලබාගැනීමට ඔවුන්ට අවස්ථාවක් නැත. ඇතැම් රජයේ ආයතන සහ දෙපාර්තමේන්තු ඉතාම කාර්යක්ෂම සේවාවක් ලබා දෙමින් අල්ලසින් දූෂණයෙන් සහ අක්‍රමිකතාවලින් තොරව රාජකාරි ඉටුකරද්දී ඇතැම් ඒවා අපාය සහායකවරුන් බවට පත්ව සිටී.

විවිධ දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් රෙදි ගැලවුණු එක් රාජ්‍ය නිලධාරියකු පිළිබඳව අපගේ ‘‘ලංකාදීප’’ පුවත්පතේ මුල් පිටුවේ සිරස්තලයකින් පසුගියදා හෙළි කර තිබිණි. එතනෝල් සහ මත්පැන් බෝතල් 30ක් පමණ නීතිවිරෝධී ලෙස මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටිය දී එම නිලධාරියා පොලීසියට කොටු වූයේය. මේ වැටලීම සිදුකරනු ලැබුවේ පොලීසියට කල් තබා ලැබුණු තොරතුරු හේතුවෙන් බව ද සඳහන්ය. පොලීසියට මේ ඔත්තුව ලැබීමට පෙර මෙසේ කොපමණ එතනෝල් සහ මත්පැන් ප්‍රමාණයක් හොරෙන් පිටකර ඇත්දැයි දන්නේ දෙවියන් නොව මේ නිලධාරියාම පමණි. ඔහු වෙන්නප්පුව වයික්කාල සුරාබදු නියාමක දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි බව ද සඳහන්ය. ඒ සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දෙදෙනකු ලක්ෂ 35ක අයිස් සමඟ පොලීසියට අසු වූ පුවතක් ද ඊට පසුදින වාර්තා විය.

අප මේ සඳහන් කළේ රාජ්‍ය සේවයේ ඇතැම් නිලධාරීන් කොතරම් දූෂිතදැයි පෙන්වා දීමට උදාහරණ දෙකක් පමණි. මෙය සුරාබදු දෙපාර්තමේන්තුවට පමණක් නොව රටේ විවිධ දෙපාර්තමේන්තු සහ ආයතනවලට පොදු සාධකයකි. එවැනි ස්ථානවල රාජකාරි කරන අවංක, කාර්යක්ෂම නිලධාරීන්ට ද මෙවැනි පිංගුත්තර දූෂිතයන් මහත් හිරිහැරයකි. ඔවුන්ගේ හොඳ නමට ද කැළලකි. එහෙත් මෙවැනි දූෂිත සිදුවීම් රාජ්‍ය සේවය පුරාම බූවල්ලකු මෙන් අඬු විහිදාගෙන පැතිර පවතී. රේගුව, ගුවන්තොටුපොළ, වරාය, සුරාබදු, පොලීසිය පමණක් නොව වෙනත් සෙසු පොදු අවශ්‍යතා සඳහා ජනතාව නිතර පැමිණෙන ආර්.එම්.වී. වැනි ආයතන ද වැටෙන්නේ මේ ගණයටමය. එම ආයතන දූෂණයෙන්, අල්ලසින් බේරාගැනීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් අවශ්‍යය. එය එක් අයකුට හෝ දෙදෙනකුට සිදුකළ නොහැක.

අල්ලස, දූෂණය සහ අක්‍රමිකතා නැති කර ජනතාව වෙනුවෙන් උපරිමව කැපවෙන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිඥා දෙන්නේ මේ පසුබිමේය. ලක්ෂ 15කට වැඩි පිරිසක් රාජ්‍ය සේවයේ සිටියත් දිනපතාම පාහේ සේවා ඉටුකර ගැනීමේ දී ජනතාව දුෂ්කරතාවලට ලක්වන්නේ මේ හේතුවෙන් බව ද ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබිණි.

ජනාධිපතිවරයා විසින් මේ ප්‍රකාශය සිදුකර ඇත්තේ මහ මැතිවරණය වෙනුවෙන් කළුතර දී පැවැති ජනහමුවක දී වුවද මෙය හුදෙක් නාමමාත්‍රික ඡන්ද පොරොන්දුවක් වශයෙන් සලකා බැහැර කිරීමට අපි ක්‍රියා නොකරමු. වත්මන් ජනාධිපතිවරයා රටේ අවශ්‍යයෙන්ම සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන රාජ්‍ය නායකයකු වශයෙන් ජනතාව අතර නමක් දිනා සිටී. ඔහුට අවශ්‍ය වන්නේ කාර්යක්ෂම රාජ්‍ය සේවයකින් ජනතාවට ඉහළම සේවාවක් ලබාගැනීමට අවස්ථාව සැලසීම නම් සහ එයට බාධාව එම ආයතනවල පවතින දූෂණය, වංචාව සහ අල්ලස නම් එම බාධා ඉවත් කිරීමට ඔහු නිසැකවම ක්‍රියා කරනු ඇති බවට විශ්වාසයක් රට තුළ ඇත. ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කරමින් වසර 30ක යුද්ධය අවසන් කිරීමේ දී ක්‍රමෝපාය සැලසුම් කිරීම අතින් විශිෂ්ට වූ කාර්යභාරයක් ඉටුකළ වත්මන් ජනාධිපතිවරයාට රාජ්‍ය සේවය අල්ලසින්, දූෂණයෙන් සහ අක්‍රමිකතාවලින් තොරව පිරිසුදු, කාර්යක්ෂම සේවාවක් බවට පත්කිරීමේ අභියෝගය ජයගැනීම අපහසුවක් නැති බව අපගේ විශ්වාසයයි.

හොඳ සහ නරක පිරිස් හැම ක්ෂේත්‍රයකම සිටිති. රාජ්‍ය සේවයේ පොලීසිය ද ඇතුළු සියලු‍ ආයතනවලට ද එය පොදු තත්ත්වයකි. මේ තත්ත්වය වෙනස් කිරීම කවුරුන් අතින් හෝ ඉටුවිය යුතු වගකීමකි. අල්ලස් ගන්නා, දූෂිත වැඩ කරන නිලධාරීන් වෙතින් හිරිහැරවලට කරදරවලට ලක්වෙන ජනතාව තම පීඩනය මුදාහරින්නේ ආණ්ඩුව මතින් බව ඉතිහාසය අපට පෙන්වා දී තිබේ. මෙහිදී වඩාත් වැදගත්ම සාධකය වන්නේ දූෂිත මැති ඇමැතිවරුන් මෙල්ල කර ගැනීමය. ඇමැතිවරයා දූෂිතයකු නම් ඔහු යටතේ සිටින නිලධාරීන්ගෙන් අවංක, දූෂණයෙන් තොර සේවයක් බලාපොරොත්තු වීමට වඩා කාක්කන්ට ආප්ප අරන් දීමෙන් සැනසීමක් ලැබීම යහපත්ය.

 



අදහස් (0)

රාජ්‍ය සේවයේ අල්ලස දූෂණය පිටුදකිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site