IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාරිභෝගික අධිකාරියට ඇතුළෙන්ම දෝස්මුරයක් ඇයි?

පාරිභෝගික සේවා අධිකාරිය එහි පනත අනුව ස්වාධීන ආයතනයක් වුවද සත්‍ය ලෙසම ස්වාධීන දැයි ගැටලුවක් පවතින බවද එය ගනු ලබන තීන්දු තීරණ සෑම විටම දේශපාලන බල අධිකාරියේ බලපෑමට යටත්වන බවද පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් ද‌ා වාර්තා කළේය. පනත අනුව පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධාන කාර්ය වන්නේ පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීම වුවද මෙම ආයතනයෙන් සිදු නොවන්නේද එම කාර්ය යැයි ඒ මහතා ප්‍රකාශ කළ බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

රට තුළ මේ වනවිටත් ගෑස් හිඟයකි. කිරිපිටි ඇත්තේම නැති තරම්ය. එහෙයින් ජනතාවගේ අවධානය දිනාගත් ආයතනයක් ලෙස පාරිභෝගික සේවා අධිකාරිය හැඳින්විය හැකිය. මන්දයත් පනත නොකියවා වුවද එම ආයතනය පිහිටුවා තිබෙන්නේ තමන් ආරක්‍ෂා කිරීමට යැයි ජනතාව විශ්වාස කරන හෙයිනි. එහෙත් එම අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂවරයා පවසන්නේ පනත අනුව පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යවන්නේ පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීම වුවද මෙම ආයතනයෙන් සිදු නොවන්නේ එයම බවය.

ඉහත ප්‍රකාශය සිදු කරන්නේ පිටස්තරයකු නම් හෝ විපක්‍ෂයේ දේශපාලනඥයකු නම් එම ප්‍රකාශය එලෙසින්ම පිළිගැනීමට ජනතාව මැළිවනු ඇත. එහෙත් එම ප්‍රකාශය සිදු කරනු ලබන්නේ පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂවරයාය. එහෙයින් එම ප්‍රකාශය පරම සත්‍ය ලෙස පිළිගැනීමට කිසිදු බාධාවක් නැත.

වෙළඳ‌ාමේ පරම අපේක්‍ෂාව ලාභ ලැබීම වේ. ලාබ නොලබන ව්‍යාපාර බංකොලොත් වේ. එහෙයින් ලාබ ලැබිය යුතුය. එහෙත් එසේ ලාබ ලැබිය යුත්තේ සාධාරණවය. රජයක් ජනතාවගෙන් බදු අය කරන විට ‘බඹරු රොන් උරන්නා සේ’ එය කළ යුතු බව කියයි. එලෙසින්ම වෙළඳ ප්‍රජාව ලාබ ලැබිය යුත්තේ ජනතාවගේ බොටුව මිරිකීමෙන් නොවේ. එහෙත් බොහෝ අවස්ථාවලදී අප අත්විඳින නපුරු අත්දැකීම නම් ලාබ ලබන්නේ බොටුව මිරිකීමෙන් බවය. පාරිභෝගික සේවා අධිකාරිය පිහිටුවීමේ මුඛ්‍ය අරමුණ වන්නේ එම සැහැසි ග්‍රහණයෙන් ජනතාව මුද‌ාගැනීමය.

එහෙත් පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂවරයා පවසන්නේ එම අධිකාරියෙන් සිදු නොවන්නේ ද එයම බවය.

ආණ්ඩුව හා රජය අතර පැහැදිලි වෙනස්කමකින් යුතුය. රජය යනු පරිපාලන ව්‍යුහයකි. ආණ්ඩු කලින් කලට වෙනස් වෙයි. එහෙත් රජය දිගටම පවතී. ආණ්ඩුවේ සිටින්නෝ දේශපාලනඥයෝ වෙති. එම දේශපාලනඥයෝ රජය තමන්ට අභිමත පරිදි හැසිරවීමට උත්සාහ දරති. ආයතන කඩා වැටෙන්නේත් රට ‘රිවස් ගියරයට’ වැටෙන්නේත් එවිටය. පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂවරයා පවසන්නේ එම ආයතනය පනත අනුව ස්වාධීන වුවද සත්‍ය ලෙසම ස්වාධීන දැයි ප්‍රශ්නයක් පවතින බවය. එම ආයතනය ගනු ලබන තීන්දු තීරණ සෑම විටම දේශපාලන බලාධිකාරියේ බලපෑමට යටත්වන බවය.

නිෂ්පාදකයා සෑම අවස්ථාවකදීම තමන්ගේ ආයතනයේ පවතින අනවශ්‍ය පිරිවැය අවම කරගැනීමට වෙහෙස නොවී භාණ්ඩයේ මිල ඉහළ දැමීම පහසු කාර්යයක් සේ දකින බව පෙන්වා දෙන විධායක අධ්‍යක්‍ෂවරයා තම ආයතනය එයට එකඟ නොවන විට වෙළඳපොළේ භාණ්ඩ හිඟයක් ඇතිකර මිල වැඩියෙන් හෝ භාණ්ඩය මිලදී ගැනීමට පාරිභෝගිකයා පොළඹවන බවද පෙන්වා දේ.

ගෑස් හිඟයක් රට තුළ ඇතිවූයේ එහි මිල ඉහළ දැමීමට අදාළ සමාගම කළ ඉල්ලීම පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රතික්ෂේප කළ හෙයිනි. ප්‍රතිඵලය වූයේ රට තුළ ගෑස් හිඟයක් ඇතිවීමය. අවසානයේදී සිදු වූයේ ගෑස් මිල ඉහළ දැමීමට එකඟවීමට සිදුවීමය. කිරිපිටි සම්බන්ධයෙන් ද මතු වූයේ එවැනිම තත්ත්වයකි. අවසානයේදී කිරිපිටි සඳහා පනවා ඇති බදු ඉවත් කිරීමට තීරණය විය. එහෙත් තවමත් වෙළෙඳපොළේ කිරිපිටි නැත. අනුමාන කළ හැකි වන්නේ මිල ඉහළ යනු ඇති බවය. මන්දයත් පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීමට පාරිභෝගික සේවා අධිකාරියට ශක්තියක් නොමැති බව, එහි විධායක අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කරන හෙයිනි.

මිල වැඩිකර හෝ වෙළෙඳපොළට භාණ්ඩ යොමු කිරීමට තම ආයතනයට ද අවසානයේ තීන්දු ගැනීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය කරන බව ද පවසන විධායක අධ්‍යක්‍ෂවරයා මෙම බලහත්කාරයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි තත්ත්වයට පාරිභෝගික සේවා අධිකාරිය ඇද දමා ඇති බවද පවසා තිබේ. මෙම ආයතනයෙන් ඉටුවිය යුතු ප්‍රධාන කාර්ය ඉටු නොවන්නේ නම් එවැනි ආයතනයක් මහජන මුදලින් නඩත්තු කිරීම මුදල් නාස්තියක් හා අපරාධයක් බව ද ඒ මහතා පෙන්වා දී තිබේ.

ඇත්ත කීමට කශේරුකාවක් තිබීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතාට ස්තූතිය පිරිනැමිය යුතුය. ආයතනවලට පත් කළ යුතු වන්නේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් සහිත පිරිස්ය. අවම තරමින් තම ආයතනයට අදාළ පනත කියවා තේරුම්ගත හැකි පිරිස්ය. එවිට එම ආයතන ආරක්‍ෂා වන්නා සේම එම ආයතනයෙන් අපේක්‍ෂා කරන මෙහෙවරද නිවැරැදිව ඉටුවනු ඇත. මෙම ආයතන නඩත්තු වන්නේ මහජන මුදලිනි. එහෙයින් මෙම ආයතනවල ප්‍රමුඛ කාර්ය වන්නේ එම මහජනතාවට සේවය කිරීමය. එහෙයින් අපි පාරිභෝගික සේවා අධිකාරිය දෙස විමසිල්ලෙන් බලා සිටිමු.

(***)



අදහස් (1)

පාරිභෝගික අධිකාරියට ඇතුළෙන්ම දෝස්මුරයක් ඇයි?

Rishad Tuesday, 24 August 2021 11:24 AM

සැබෑ ලෙසම ඇතැමුන්ගේ අදහස් ගරුකොට සලකනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site