මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා ගැනීම ඉතා දුර්ලභ බව බුදු බණෙහි සඳහන්ය. බුදුන් පහස ලද පුණ්‍ය භූමියක වෙසෙන ජනයා ඒ බව එයට හිමි නිසි අරුතෙන්ම වටහාගෙන ජීවත්වීමට උත්සාහ දරති. එහෙත් රුධිර පිපාසිත මාංශ භක්ෂක අශිෂ්ට සුළුතරයක් ඒ ශිෂ්ට බහුතරයේ ඉරණම සමග සූදු ක්‍රීඩාවෙහි යෙදී සිටිති. සෙත් පිරිතෙන් අවදිව මහ පිරිතෙන් නින්දට ගිය ජාතියක් අනු අංක මකා දැමු ගිනි අවිවලින් නික්මෙන වෙඩි හඬින් තිගැස්සී අවදිවීමට සිදුවී තිබෙන්නේ එහෙයිනි.
ඉකුත් සඳුදා පෙරවරුවේ පැතිර ගිය ලේ පිළී ගඳ ගහන ප්‍රවෘත්තියෙන් කියැවුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ දී පුද්ගලයන් සිවු දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇති බවය. තවත් පුද්ගලයකු වෙඩි වැදුණු තුවාල හේතුවෙන් රෝහලේ දී මියගිය බවය.
නඩුවකට සහභාගිවීමට තංගල්ල උසාවිය බලා ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කළ පිරිසකට මෙසේ වෙඩි තබා ඇත. මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ ලේකම් සමන් පෙරේරා නැමැත්තා ද සිටි බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය. කොස්ගොඩ සුජි නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ පිරිසක් මෙම පංච පුද්ගල ඝාතනය සිදුකර ඇතැයි ද ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.
වෙඩි තැබීම සිදුකර තිබෙන්නේ කැබ් රථයකින් පැමිණි තිදෙනෙකි. එකකු රියැදුරු වන අතර අනෙක් දෙදෙනා දඩයක්කරුවෝ වෙති. ටී පනස් හය වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර තිබෙන්නේ සඳුදා දින පෙරවරු 8.45ට පමණය. ඒ විශාල පිරිසක් මංසන්ධියට රැස්ව සිටි අවස්ථාවකදීය. පළමු වෙඩි ප්‍රහාරය එල්ලවනවාත් සමගම ඩිෆෙන්ඩර් රථයේ පැමිණි පස්දෙනා හිස් ලූ ලු අත දිව ගොස් ඇතැයි පැවසෙන අතර ඝාතකයන් පලාගොස් තිබෙන්නේ තම දඩයම පරිපූර්ණ කර ගැනීමෙන් පසුවය. පාතාලයන්ගේ නීතියට අැති අවනත භාවය, පක්ෂ පාතිත්වය, ගරු සරු බව එමගින් මනාව පැහැදිලිය. මියගිය පුද්ගලයන් පස් දෙනාගෙන් තිදෙනකුට කුඩාවැල්ල ප්‍රදේශයේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල උසාවියේ නඩුවක් විභාග වන බවත් ඔවුන් ගමන් කරමින් සිට ඇත්තේ ඒ වෙනුවෙන් බවත් උසස් පොලිස් නිලධාරියෙක් අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.
මෙයට පෙර තෙලිජ්ජවිලදී තරුණයකු වෙඩි තබා මරා දමා ඇත. එම තරුණයාට වෙඩි තබා ඇත්තේ වැරදීමකින් බවත් තුවක්කුකරුගේ ඉලක්කය වෙනත් අයකු බවත් පැවසේ. එහෙත් අවසනයේ දී සිදුවූයේ අහිංසක තරුණයකුට අකාලයේ මරු වැළඳ ගැනීමට සිදුවීමය.
යුක්තියේ මෙහෙයුම සාර්ථකව දියත් වෙමින් තිබේ. එහෙයින්ම පාතාලයෝත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝත් අතිශයින්ම කලබලයට පත්ව සිටිති. එහෙයින් පොලිස් මෙහෙයුම් අඩාල කිරීමට ඒවාට බලපෑම් කිරීමට විවිධ සිද්ධි පාතාලයන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පැත්තෙන් මතුවිය හැකිය. මන්දයත් ඔවුන් සංවිධානාත්මක අපරාධකරුවන් වන හෙයිනි. කෙසේ වෙතත් පාතාලයන්ගේ අනු අංක මකා දැමූ ගිනි අවි ඉදිරිපිට දණින් වැටී අභය දානය ඉල්ලා සිටීමට රටක ජනතාවකට සිදුවන්නේ නම් එය බරපතළම ඛේදවාචකයකි. එම සැහැසි ඉරණමෙන් රට මුදා ගැනීම සෙසු සියලු කාරණා පසෙකලා පෙරට ගත යුතුය.
රටකට නීතියක් යනු ගඟකට ඉවුරක් බඳුය. ඉවුර බිඳී ගිය කල්හි ගඟ අයාෙල් යයි. එහි විනාශයේ තරම පැහැදිලිය. රටේ නීතියේ විධානය බිඳී ගියහොත් ආදේශ වන්නේ නාඳුනන තුවක්කුකරුවාගේ නීතිය වේ. එවන් විනාශයක් තරම් විනාශයක් සමාජයකට තවත් නැත. මෙයට විසි-තිස් වසරකට එපිට ලේ ගලන ඉතිහාසය වුවද එයට කදිම නිදසුනක්ය.
එබඳු සමාජයක කිසිවකුගේ හෝ පැවැත්ම තහවුරු නොවේ. පාතාලයට එරෙහිව ක්ෂණික ක්‍රියා මාර්ග ගත යුතුව තිබෙන්නේ එහෙයිනි. මෙම අවස්ථාවේ දී තමන් දන්නා කියන තොරතුරු පවසා පාතාලය මඬින මෙහෙයුමක් සහයෝගය දීම ජනතාවගේ වගකීමය. මෙම සැහැසි ග්‍රහණයෙන් රට මුදා ගැනීම පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල පැහැර හැරිය නොහැකි වගකීමය.
(***)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලය අතු ගා දාන්න නම් පාතාලයට රැකවරණය දෙන දේශපාලකයන් අතුගා දැමිය යුතුයි. රට ඇතුලට කුඩු ගේන මහා පරිමාණ ජාවාරම්කාරයෝ ඔක්කොම ඉන්නේ දේශපාලකයෝ ළඟ. මේ දිනවල තිරගතවෙන පාතාල නාඩගම ලබන ඡන්දේ බලාගෙන මිනිස්සු රවට්ටන්න කරන එකක් මිසක් ඇත්තටම පාතාලය මර්ධනය කරන්න වෙන දෙයක් නෙමෙයි...
ඔය දේශබන්දුම මීට අවුරුදු තුනකට කලිනුත් පාතාලය අතු ගා දමනවා කියලා පටන් ගත්තා. කෝ අතු ගා දැම්මාද?
පොලිසියේ, නීතිපති දෙපාර්තමේන්තුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ, අනෙකුත් අදාල අමාත්‍යංශවල, ආයතනවල පවතින දුර්වලතා, අකාර්යක්ෂමතා, මනා සම්බන්ධීකරණයක් නොවීම අපරාධ මර්දනයට සෘජුව බලපාන කරුණුයි. අඩුම තරමින් අපරාධ නඩු වසර පහක් ඇතුළත විභාග කර තීන්දුවක් ලබාදිය යුතුයි. බරපතල අපරාධකරුවන්ගේ දේපල රාජසන්තක කිඊම, ඔවුන්ට යානවාහන, දුරකතන, දේපල මිලදී ගැනීම තහනම් කිරීමට නීති සකස් කළ යුතුයි.
පාතාලය කියන්නේ පවතින දේශපාලන ක්‍රමයේ නීතියෙන් එහාට ගිය කොටස... වෙනම අමුතු එකක් නෙමෙයි.
පාතාලය එක්කම ඔය දියවන්නාවේ දේශපාලුවෝ ටිකයි, පොලිසියේ ඉන්න ටිකත් අතුගාලා දාන්න බැරි වෙයිද?