IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දේශපාලන ඥාති සංග්‍රහ නැවැත්වීම සතුටට කරුණක්

රජයේ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩවලට පත්කිරීම් කිරීමේදී හා එම ආයතනවල රජය සතු කොටස් පෞද්ගලික අංශයට පැවරීමේදී විෂය භාර අමාත්‍යවරුන්ගේ හිතවතුන් හා ඥාතීන් හට ඒවා ලබාදීම වැළැක්වීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බව වාර්තා වෙයි. ඒ සඳහා ප්‍රතිපාදන ඇතුළත් පනත් කෙටුම්පතක් ළඟදීම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද මේ ප්‍රවෘත්තිය හෙළි කරන අපගේ සහෝදර ඉරිදා ලංකාදීප පුවත්පත සඳහන් කර තිබිණි.

ප්‍රවෘත්තියේ සඳහන් ආකාරයට රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය හා ඒවා පවත්වාගෙන යාමට අදාළ ප්‍රතිපාදන ඇතුළත් පනත් කෙටුම්පත සම්මත වී ක්‍රියාවට නැංවීමට හැකි වුවහොත්, එය මේ රටේ පරිපාලනයේ ඉතා වැදගත් ව්‍යුහාත්මක වෙනසක් ඇති කරන බව ස්ථිරය. මෙසේ අමාත්‍යවරුන්ගේ ඥාති හිතවතුන්ට තනතුරු, ආයතන බෙදීම මේ රටේ දේශපාලන සංස්කෘතියේ එක් අනිවාර්ය අංගයක් වී තිබීම එයට හේතුවයි.

රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවලට අමාත්‍යවරුන්ගේ හිතවතුන් සහ ඥාතීන් පත් කරනු ලබන්නේම රටට සේවයක් ඉටු කරගැනීම සඳහා නොව තමන්ගේ බඩ වඩවා ගැනීම පිණිස බවට මේ රටේ ඡන්දදායකයන් තුළ ප්‍රබල හැඟීමක් පවතී. අදාළ විෂය පිළිබඳව කිසිදු සුදුසුකමක් හෝ විශේෂඥ දැනුමක් හෝ නොමැති හිතවතකු හෝ ඥාතියකු රාජ්‍ය ආයතනයක පාලනය සඳහා පත් කරනු ලැබූ විට එම ආයතනයේ සියලු මූල්‍ය කටයුතු හසුරවනු ලබන්නේ අමාත්‍යවරයාගේ නියෝජිතයා වීම වැළැක්විය නොහැකිය. එළිපිටට පෙනෙන ආකාරයට ටෙන්ඩර් ක්‍රියාමාර්ග අනුගමනය කෙරුණත්, අදාළ ටෙන්ඩරය ලැබෙන්නේ අමාත්‍යවරයාගේ නියෝජිතයාගේ කැමැත්තට අනුව බව ප්‍රකට රහසකි. කරුණු එසේ සිදුවන විට අදාළ ආයතනය සුදු අලියකු බවට පත්වීම පිළිබඳ පුදුම විය යුතු නැත.

මේ රටේ රාජ්‍ය ව්‍යවසාය 2022 වසර අවසන් වන විට ලබා තිබූ අලාභය රුපියල් ට්‍රිලියන 1.3ක් බව සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දී තිබේ. එසේම, රටේ ප්‍රධාන පෙළේ රාජ්‍ය ව්‍යාපාරික ආයතන 287ක් අතුරින් 54ක් ආර්ථික වශයෙන් උපායමාර්ගිකව ඉතාම වැදගත් ආයතන වශයෙන් සැලකෙයි. ඒ ඇතැම් ආයතන පවා විශාල වශයෙන් පාඩු ලැබීමට ප්‍රධාන හේතු 3ක් වශයෙන් සඳහන් වන්නේ, එම ආයතනවලට දැරිය නොහැකි තරම් පිරිසක් රාජකාරි වැඩට බඳවා ගැනීමත්, රජය සතු කොටස් ප්‍රමාණය අධික වීමත් සහ ඵලදායිතාව ඉතා දුර්වල මට්ටමක පැවතීමත්ය. මේ අතුරින් පළමු සහ තෙවැනි කාරණා ද්විත්වයටම ලොකුම බලපෑම සිදුවන්නේ අමාත්‍යවරුන් විසින් එම ආයතනවලට පත් කරනු ලබන සමීප ඥාතීන් සහ ගජ මිතුරන්ගෙනි. ඔවුන් එම තනතුරු ලබාගත් දිනයේ සිට අමාත්‍යවරයාගේ සිත සතුටු කිරීම හේතුවෙනි.

මේ ආයතන දිනෙන් දින පරිහානිය කරා යැවෙයි. අවසානයේ එම ආයතන නඩත්තු කරන්නේ, එහි සේවක වැටුප් පමණක් නොව බෝනස් පවා ගෙවන්නේ රටේ පොදු මහජනතාවගේ බදු මුදලින් වීම ලොකුම ඛේදවාචකයයි.

එහෙත්, සෑම අමාත්‍යවරයකුම මේ ආකාරයට කටයුතු කරන බව අපි නොකියමු. ඇතැම් අමාත්‍යවරු උගත්, දක්ෂ සහ විෂය දැනුමින් පිරිපුන් පුද්ගලයන් එම ආයතනවලට පත් කරති. නම් වශයෙන් සඳහන් නොකරන නමුත්, මේ ඇතැම් ආයතන එවැනි නිලධාරීන් හෝ සභාපතිවරුන් හෝ යටතේ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්වා ඇති බවත්, එම රාජ්‍ය ආයතන රටේ ආර්ථිකයට පවා ශක්තියක් වූ බවත් සඳහන් කරමු. එහෙත්, අවාසනාවකට මෙන්, ඒ ඇතැම් ආයතන දියුණුවට පත් කළ උගත් දක්‍ෂ නිලධාරීන් ඉවත් කොට, වෘත්තීය සමිති නායකයන් හෝ බස් සේවකයන් හෝ වැනි පිරිස් පත් කිරීමෙන් එම ආයතන කඩා වැටුණු බව ද සඳහන් කළ යුතුය. රජය ළඟදී හඳුන්වා දීමට නියමිත අමාත්‍යවරුන්ගේ තටු කැපීමේ පනත හරහා එම වැරැද්ද නිවැරැදි වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

(***)



අදහස් (2)

දේශපාලන ඥාති සංග්‍රහ නැවැත්වීම සතුටට කරුණක්

චන්දිම Tuesday, 12 March 2024 06:00 PM

මම කුඩා කල අපේ ගමේ කටුවාවල 77 මැතිවරණයේදී බලයට පත් දේශපාලන පක්ෂයට වැඩ කළ කෙනෙකුට එකල රජයෙන් දුම්කොළ සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක තනතුර ලැබුණා. ඒ මනුස්සයා නරක නපුරු කෙනෙක් නෙමෙයි... හැබැයි ඉතින් ඒ වගේ තනතුරක් කරන්න මෙලෝ දෙයක් දැන සිටියාද කියන එකයි ප්‍රශ්නේ. දේශපාලන රැලිවල නම් චතුර කථිකයා. ගමේ කීප දෙනෙකුට එතැනම රස්සාවල් එහෙමත් හදලා දීලා තිබුණා. ඉතින් සංස්ථාවට ගිය කෙනෙකුට පේන්න තිබුනේ අධ්‍යක්ෂක තුමා විදුරු කාමරයේ පුටුවේ වාඩිවෙලා ඔලුව නමාගෙන මොනවද ලියනවා බරටම වැඩ රාජකාරි කරනවා වගේ තමයි. යන්න එන්න නිල වාහන ආදී සියලු පහසුකම් තිබුණා. අනේ දවසක එයා ළඟ වැඩ කරපු ගමේම හාදයෙක් වුණු පියන් හවසට කුණු කුඩේ තිබුණු කොළ ටික හොරෙන් අරන් ඇවිත් ගමේ යාලුවෝ කට්ටියට පෙන්නුවා. හැම කොලේකම තිබුනේ නිකම් පෑනකින් බෝල බෝල රවුම් කුරුටු ගාපුවා විතරයි. ඒ අධ්‍යක්ෂතුමා සංස්ථාව මගින් ජපානය වැනි විවිධ රටවලත් සංචාරයනුත් කළා. පස්සේ එවකට රජය ඒ සංස්ථාව වහලා දැම්මද කොහේද? ඔහුත් පසු කලෙක මියගියා. ඔන්න ඔහොමයි දුන්කොල සංස්ථාවට වුණේ අන්තිමට...!

:       0       4

sam Tuesday, 12 March 2024 06:34 PM

දේශපාලන ඥාති සංග්‍රහ නැවැත්වීම දේශපාලන පක්ෂ අනුව unions පිහිටුවාගෙන තිබීම රජයේ ආයතන කඩාවැටීමට මූලික හේතුව වේ. ක්‍රමයෙන් මේ සියල්ල ඉවත් කළයුතුවේ. එක් ආයතනයකට තිබිය යුතුවන්නේ එක unions පමණක් වුවද ලංකාවේ එක ආයතනයක් තුළ එක් එක් අංශ සඳහා unions පවත්වා ගෙන යාම සම්පූර්ණයෙන් නැවැත්විය යුතුවේ. ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව unions පවත්වාගෙන යා යුතුවේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31267 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13451 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10986 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 92 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 926 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site