IMG-LOGO

2025 අගෝස්තු මස 22 වන සිකුරාදා


තෙල්බැද්ද හුදකලා නොකර රටේම ප්‍රශ්නයක් සේ සලකමු

බදුල්ල තෙල්බැද්දවත්ත අංක 01 දෙමළ විද්‍යාලයේ සිසු දරුවන් කුඩා ටකරන් මඩුවක් පන්ති කාමරයක් බවට පත්කරගනිමින් අධ්‍යාපනය ලබන ආකාරය පිළිබඳව ඡායාරූප සහිත විස්තරයක් අපගේ ලංකාදීප​ෙය් පසුගියදා පළවූයේය. එම තාවකාලික “පන්ති කාමරය” විද්‍යාලයේ අබලි ද්‍රව්‍ය දැමීමට ඉදිකර තිබූ මඩුවක් බවද සඳහන්ය. මෙම විද්‍යාලයේ සිසු දරුදැරියන් 250 දෙනකු පමණ අධ්‍යාපනය ලබන බවද කොතරම් දුෂ්කරතා තිබුණත් විදුහල්පතිනිය ඇතුළු ගුරුවරුන් පිරිස අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරන බවද මවුපියන් පිරිසක් පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

අධ්‍යාපනය සම්බන්ධයෙන් අපට බොහෝ දේ ප්‍රකාශ කළ හැකිය. එය දරුවන්ගේ මූලික අයිතියක් බවද රටේ අනාගතය බාර ගැනීමට හෙට දවසේ ඉදිරිපත් වන්නේ අද දවසේ පාසල් අවධ්‍යාපනය ලබන සිසු දරුවන් බවද නිදහස් අධ්‍යාපනයේ වටිනාකමද ඉතා ඉහළ බවද යනාදී වශයෙන් පෙන්වා දිය හැකි කරුණු කාරණා නිමක් නැත. එහෙත් ඒ ප්‍රකාශවල වටිනාකම බරපතළ ලෙස ප්‍රශ්න කෙරෙන එක් අවස්ථාවක් හැටියට බදුල්ල තෙල්බැද්දවත්ත දෙමළ විද්‍යාලයේ පවතින සැබෑ තත්වය පෙන්වා දිය හැක. අධ්‍යාපනය වෙනුවෙන් බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම කොතරම් පොරොන්දු ලබා දුන්නත් ඒ පොරොන්දු තවමත් ඉටු කෙරෙන්නේ “කොළඹට කිරි-ගමට කැකිරි” න්‍යායෙන්ම බවට මෙය කදිම උදාහරණයකි.

මෙරට සිසු දරුවන්ගේ අධ්‍යාපන මට්ටම උසස් තත්වයකට ගෙන ඒමට ආණ්ඩු කරවන බලධාරීන් කිසිවක් නොකරන්නේ යැයි අපි නොකියමු. විවිධ ආණ්ඩු මගින් කෙටි කාලීනව සහ දීර්ඝකාලීනව සැලසුම් කර ක්‍රියාත්මක කෙරෙන අධ්‍යාපනයේ තත්වය ඉහළ නංවන ව්‍යාපෘති විශාල ගණනක් තිබෙන බවද කිව යුතුය. එහෙත් පාසල්වලට යටිතල පහසුකම් සැපයීමේදී ඇතැම් පාසල් බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහී යන බව බදුල්ල තෙල්බැද්දවත්ත විද්‍යාලය පෙන්වා දී තිබේ. නැත්නම් ඒ පාසලේ දරුවන්ට මේ ගිනිගහන අව්වේ කැකෑරෙන ටකරං මඩුවක අධ්‍යාපනය ලැබීමට තරම් අවාසනාවන්ත ඉරණමකට මුහුණදීමට සිදුවන්නේ නැත.

බදුල්ල දිස්ත්‍රික්කය ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික සහ පශූ සම්පත් ආර්ථිකයක් මත රඳා පවතින දිස්ත්‍රික්කයකි. එසේම බදුල්ල සැලකෙන්නේ ශ්‍රී ලංකාව තුළ ආර්ථික වශයෙන් දිළිඳු මට්ටමක පවතින එක් දිස්ත්‍රික්කයක් වශයෙනි. කලකට පෙර සිදුකර ඇති එක් අධ්‍යයන වාර්තාවක සඳහන් වන්නේ මොනරාගල, බදුල්ල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය ඉතා අඩු ආදායම් ලබන ජනතාවක් වෙසෙන දිස්ත්‍රික්ක වශයෙනි. එහෙත් එසේ වූ පමණින් පාසල් දරුවන් ටකරන් මඩුවලට දමා ඉගැන්වීමට සිදුවන තත්වයක් තිබිය යුතු නැත. බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ කැබිනට් අමාත්‍ය ධුර හෙබවූ දේශපාලනඥයෝ විශාල පිරිසක් වෙති. එයට වතු යටිතල පහසුකම් විෂයයෙහි පුරෝගාමී භූමිකාවක් ඉටුකරන අමාත්‍යධුරය දරන දේශපාලනඥයන් හැමවිටම නියෝජනය කරන්නේ ආණ්ඩු පක්ෂයයි. එසේ තිබියදීත් මෙවැනි තත්වයක් උදාවී තිබීම සම්බන්ධයෙන් අපට ඇතිවන්නේ දැඩි කනගාටුවකි.

මෙය හුදකලා සිද්ධියක් වශයෙන් නොසලකා සමස්තයක් හැටියට කිසියම් අධ්‍යයනයක් සිදුකර විසඳුම් ලබාදිය යුතු ගැටලුවක් බව පෙන්වා දිය යුතුය. අද බදුල්ලේ පාසලකට උරුම වී තිබෙන මේ තත්වයක් සෙසු ඇතැම් දිස්ත්‍රික්කවලද පොදු ප්‍රශ්නයක් වශයෙන් පවතින බව රහසක් නොවේ. බොන්න වතුර නැති, හදිසියකට යාමට වැසිකිළි පහසුකම් නැති. ප්‍රමාණවත් පන්ති කාමර නැති පාසල් විශාල සංඛ්‍යාවක් මෙරට තිබෙන බව වරින්වර වාර්තා වෙයි. මේ සියල්ලට එක රැයින් විසඳුම් දිය නොහැකි නමුත් සැලසුම්සහගතව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන තුරු තාවකාලිකව හෝ මෙලෙස අනන්ත දුක් විඳ දරා ගනිමින් කෙසේ හෝ අධ්‍යාපනය ලබාගැනීමට වැරදරන මේ සිසුදරුවන්ට සාධාරණය ඉටුකර දිය යුතුය.

මේ ගැටලුවට විසඳුම වන්නේ අදාළ පාසලේ විදුහල්පතිනියට හෝ ගුරුවරුන්ට හෝ  එරෙහිව විනය පියවර ගැනීම නොවන බවද දේශපාලන බලධාරීන්ට පෙන්වා දීමට කැමැත්තෙමු. ඔවුහු තිබෙන පහසුකම් උපරිමව ලබා දෙමින් දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන බව මවුපියෝ ප්‍රකාශ කරති. අඩුම තරමින් ආරම්භයක් හැටියට හෝ  තෙල්බැද්දවත්ත සිසු දරුවන්ගේ ගැටලුව විසඳා දෙන්නැයි අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

(***)



අදහස් (0)

තෙල්බැද්ද හුදකලා නොකර රටේම ප්‍රශ්නයක් සේ සලකමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 855 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 168 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 168 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site