IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


කැලෑ මෙහෙම වැනසුවොත් රටට කුමක් ඉතිරිවේද?

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියඹලාණ්ඩුව කොටියාගල වත්තේගම කැබලිත්ත රක්ෂිත වනාන්තරයෙන් කැලෑ ඉඩම් හෙක්ටයාර 9960 ක් පමණ මේ වන විට විවිධ පිරිස් බලහත්කාරයෙන් අල්ලාගෙන හේන් වගා කරන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ යැයි සඳහන් පුවතක් අප පුවත් පත ඉකුත් දා වාර්තා කළේය.

මෙම ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින පිරිස්වලට එක් ස්තූතියක් පුද කළ යුතුය. ඒ එම ඉඩම් අල්ලා කැබලි කර පිටස්තරයන්ට නොවිකිණීම සම්බන්ධයෙනි. බොහෝ තැන්වල සිදු වන්නේ එයයි. අප ප්‍රවෘත්තියෙහි වැදගත් කරුණක් අනාවරණය කර ඇත. එනම් මෙම වන අපරාධයට මූලිකත්වය ගෙන තිබෙන්නේ හේන් ගොවීන් නොව ගොවි ව්‍යාපාරිකයෝය. ඇතැමෙකු අක්කර සියය දෙසීය පමණ බලහත්කාරයෙන් අල්ලාගෙන බඩ ඉරිඟු ඇතුළු භෝග වගා කරන බව ප්‍රවෘත්තියෙහි සඳහන්ය. ඒ අනුව පැහැදිලි වන්නේ ගොවි මුදලාලිලා මහා පරිමාණයෙන් වන සංරක්ෂිතයෙහි ඉඩම් අල්ලා ගන්නා විට ගොවීන් ද පුළු පුළුවන් මට්ටමින් ඉඩම් අල්ලා ගන්නා බවය. එහෙත් මොවුන් අමතක කර ඇති වැදගත්ම හා ප්‍රධානම කාරණාව වන්නේ තමන් මේ බලහත්කාරකම් කරන්නේ රක්ෂිතයකට බවය.

කැබිලිත්ත රක්ෂිතය ඉතා සුවි​ශේෂී වූවකි. යාල ජාතික වනෝද්‍යානයට හා කුමන ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටා ඇති කැබිලිත්ත රක්ෂිතය හෙක්ටයාර 28926 කින් සමන්විතය. කළුවර, බුරුත, වීර, පලු වැනි වටිනා වියළි කලාපීය ශාකයන්ගෙන් පිරිගත් මෙම රක්ෂිතයෙහි අලියා, වළහා, දිවියා ඇතුළු වන සතුන් විශාල පිරිසකට වාසස්ථානය ද වේ. මෙම වනාන්තරයේ ඇති ජෛව විද්‍යාත්මක හා පරිසරික සුවිශේෂත්වය නිසාම 2012 වසරේ නොවැම්බර් 12 වැනිදා අංක 1784 / 9 දරන අති විශේෂ ගැසට් පත්‍රයකින් රක්ෂීත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

මෙබඳු රක්ෂිතයක් පරිභෝජනය කිරීම තබා නිසි අවසරයකින් තොරව ඇතුළු වීම ද තහනම්ය. එහෙත් ගොවි මුදලාලිලාට හා ගොවීන්ට එම අවසරය අදාළවී නොමැති සෙයකි. මෙම ඓතිහාසික භූමියෙන් හෙක්ටයාර් 9960 ක් බලහත්කාරයෙන් අල්ලා ගෙන වගාවන්හි නියැළෙන්නේ එහෙයිනි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දෙන්නේ වත්තේගම කැබිලිත්ත රක්ෂිතයේ හා ඉන් පිටත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබු කැලෑ ඉඩම් අක්කර පනස් දාහක් පමණ අනවසර හේන් ගොවීන් විනාශ කර ඇති බවය. වත්තේගම කැබිලිත්ත රක්ෂිතය තුළ හේන් වගාවේ නියැළෙන ගොවීන්ගේ ගණන හාර සියයයක් පමණ වන බවත් අනු පවුල් 1270 ක් පමණ සිටින බවත් එම නිලධාරීහු පෙන්වා දෙති.

සමස්ත භූමියෙන් හතරෙන් එකක් මහ පාරවල්වලට වෙන්වේ. හතරෙන් දෙකක් ඇළ දොළ ගංගා වලට හා වනාන්තරවලට වෙන් වේ. මිනිසාට ජීවත් වීමට ගොවිතැන් කිරීමට කර්මාන්තශාලා පිහිටුවීමට ආදී වශයෙන් සියලු දෙයට ඉතිරිව තිබෙන්නේ භූමියෙන් හතරෙන් එකක ප්‍රමාණයකි. ජනගහනය අර්බුදයක් ලෙස හඳුනා ගැනෙන්නේ ද මෙම පරිසරය තුළය. මෙම බෙදීම ප්‍රශ්නයක් කර ගත යුතු නැත. අවශ්‍ය වන්නේ මෙම තිබෙන ඉඩ කඩ නිසි පරිදි කළමනාකරණය කිරීමය. මෙසේ නොකර වැටපැන රක්ෂිත අල්ලා ගැනීම නොවේ.

වනාන්තර අල්ලා ගන්නා ක්‍රමවේද ද පවතී. පළමුව තණ කෑමට ගවයන් යවති. ගවයන් රැක බලා ගැනීමට යැයි පිරිසක් දෙවනුව යති. හෙමි හෙමිහිට පැලක් තනා ගනි. වනාන්තරය ශුද්ධ කර වගා පටන් ගනිති. නොබෝ දිනකින්ම පැල නිවෙසක් බවට පත් වේ. මහ වන මැද ජනාවාස ඉදිවන්නේ ඒ අනුවය. අලි මිනිස් ගැටුම ඇතුළු දහසක් පාරිසරික ප්‍රශ්න නිර්මාණය වන්නේ ඒ අනුවය. ගමට පාරක් මෙන්ම විදුලිය ඉල්ලා දිග හැරෙන සටන් පසුවය. වන ගහණය වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව ඉහළින්ම තිබුණ ද මුළු මහත් මානව සමාජයම බරපතළ අනතුරකට හෙළමින් වන සංහාරය සිදු වන්නේ මෙසේය. තවත් ටික කලක් යන විට ඉතිරිව ඇති වන තීරු ද ශුද්ධ කර කුට්ටි කර විකිණීමේ ශාපලත් ජාවාරම ඇරැඹේ.

මෙම හේන් ගොවීන් සතුවද ඡන්ද බලය ඇති හෙයින් දේශපාලනඥයෝද නිහඬව සිටිති. නැතහොත් අණ පනත් වෙනස් කරමින් හෝ මෙම අනීතික ක්‍රියා දාමයට සහයෝගය දෙති. ඒ ඊළඟ මැතිවරණ ඉලක්ක කරගෙනය. රටපුරාම නිමාවක් නොමැතිව මහා පරිසර සංහාරයක් වන සංහාරයක් සිදු වන්නේ ඒ ආකාරයෙනි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මොනරාගල දිසාවන නිලධාරී භාණු දිසානායක මහතා අප පුවත් පතට ප්‍රකාශ කර තිබුණේ සියඹලාණ්ඩුව, කොටියාගල ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් දැනට කැලෑ නොවන අක්කර 25000 ක් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම්වරයාට පවරා දෙන බවය. ඒ රක්ෂිතයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින ගොවීන් අතර බෙදා දීමටය. භාණු දිසානායක මහතා තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ රටේ ඉඩම් නීතිය අනුව එක් ගොවියකුට උපරිමයෙන් දිය හැක්කේ ඉඩම් අක්කර දෙකක් වුවද මෙම ගොවීන්ට අක්කර පහ බැගින් ලබාදෙන බවය. මෙබඳු විසඳුම් නිර්දේශ වීම මගින් පෙනෙන්නේ රක්ෂිත බේරා ගැනීම කෙරෙහි නිලධාරීන්ගේ ඇති උවමනාවය. සිදුවිය යුත්තේත් එයමය.

මෙම නිලධාරීන්ට බැණ තර්ජනය කර දුර්මුඛ කළහොත් ඉතිරිව ඇති වනාන්තර මෙන්ම රක්ෂිත පද්ධතිය ද කොල්ලකරුවන්ගේ සැහැසි ග්‍රහණයට ගොදුරු වීම වැළැක්විය නොහැකිය.

(***)



අදහස් (0)

කැලෑ මෙහෙම වැනසුවොත් රටට කුමක් ඉතිරිවේද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1845 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 586 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 676 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site