IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


එන්නත් එකම බේත නොවේ: භයානකයි: පරෙස්සම් වෙමු

කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන දහයක පමණ කොරෝනා මර්දන එන්නත් ලබාදීම පෙරේදා සිදුකළ බවත් සෑම එන්නත්කරණ මධ්‍යස්ථානයකම පාහේ දවස පුරා ඉතා දිගු පෝළිම් දක්නට ලැබුණු බවත් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. කොළඹින් තදාසන්න ප්‍රදේශවලින් පවා දහස් ගණන් පිරිස් එන්නත් ලබාගැනීම සඳහා පැමිණ සිටි බවත් එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

එන්නත්කරණය සම්බන්ධයෙන් මෙරට ජනයාගේ උනන්දුව අතිශයින්ම පැසසුම් කටයුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙන්ම සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතය වන්නේ කොරෝනා වයිරසයට මෙතෙක් හඳුනාගෙන ඇති ප්‍රධානම විසඳුම වන්නේ එන්නත්කරණය බවය. එහෙත් ඇතැම් රටවල ජනයා ඒ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් නොදැක්වූහ. එහෙයින් එන්නත්කරණයට ජනයා පෙළඹීම සඳහා විවිධ උපක්‍රම යෙදීමට එම රටවලට සිදුවිය. ඒ තත්ත්වය හා සසඳා බලනවිට මෙරට තත්ත්වය අතිශයින්ම යහපත්ය. අතරින් පතර එකෙකු දෙන්නකු එන්නත මගඇරිය ද ඔවුන් සොයා පොලිසි මෙහෙයුම් අරඹා ඇතැයි මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය.

ලෝකයේ තත්ත්වයත් මෙරට තත්ත්වයත් අතිශයින්ම බිහිසුණුය. මෙරට පමණක් කොරෝනා ආසාදනය වී මියගිය සංඛ්‍යාව පන්දහස ඉක්මවා ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව දින 13ක් තුළ මෙරටින් කොරෝනා මරණ දහසක් වාර්තාවී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ පළමු කොරෝනා මරණ දහස වාර්තාවීමට මාස13ක් ගතවීමය. අද තත්ත්වයේ භයානකකම දින 13ක් තුළ කොරෝනා මරණ දහසක් වාර්තාවීමෙන් පැහැදිලිය.

කොරෝනා මාරාන්තික වයිරසයට මෙතෙක් හඳුනාගෙන ඇති විසඳුම එන්නත්කරණය වුවද එයම පමණක් මෙම උවදුරෙන් ගැලවීමට හේතු නොවේ. සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කරන පරිදි සංචරණ සීමා පිළිපැදීම, මුඛ ආවරණ පැලඳීම, මීටරයේ පරතරය පවත්වාගෙන යාම, නිතර දෑත් සේදීම වැනි පිළිවෙත් අකුරටම ක්‍රියාත්මක කළ යුතුය. විශේෂයෙන්ම රංචු ගැසීම් නතර කළ යුතුය. එහෙත් මෙම වත්පිළිවෙත් ඇතැම් ජනයාගෙන් ගිලිහී යමින් තිබේ.

ඉකුත් දිනෙක අප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වූයේ “මිනිසුන් රෝහල්වල මැරී වැටෙන තත්ත්වයක්” යනුවෙනි. රට ඉදිරිපිට නිමැවී ඇති අනතුර ඉතා පැහැදිලිය. අප පුවත්පත වාර්තා කර තිබුණේ බොහෝ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බවය. රෝහල් වාට්ටුවල ඉඩකඩ මදිව රෝගීන් ඇඳන් යටත් කොරිඩෝවලත් වැතිරී සිටින බවය. ඡායාරූප ද සහිතව අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියවුණේ කළුබෝවිල රෝහලේ ඉඩකඩ මදිව කොරෝනා රෝගීන් රෝහල් පරිශ්‍රයේ ගස් ගල් යටත්, වැසිකිළියේත් සැතපී සිටින බවය.

දවසින් සවස තියුණුවන උග්‍රවන මෙම තත්ත්වය හමුවේ රටේ ජනතාවගේ ජීවිත අතිශයින්ම භයානක තැනකට පත්වී තිබේ. “දැන් දැන් එයි මරු පින් කර ගන්නේ” යැයි ලෝවැඩ සඟරාවේ සඳහන් තත්ත්වයකට අප රට පත්ව තිබේ. මෙහිදී රජයකට කළ හැකිවන්නේ මෙම තත්ත්වය තුරන් කිරීම සඳහා අවශ්‍ය කළමනා කටයුතු සංවිධානය කිරීමය. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසාදීමය. රජය මේ වනවිට සාර්ථකව එන්නත්කරණය ක්‍රියාත්මක කරමින් සිටී. එය ප්‍රමාද වූ බවත් ආදී වශයෙන් අවලාද නැගීම අනතුර සම්බන්ධයෙන් ඇති අවධානය වෙනතකට යොමු කිරීමකි.

කොරෝනා මර්දන මෙහෙයුම සීයට සීයක්ම සාර්ථක කර ගැනීමට තම තමන්ගේ දායකත්වය සපයනු විනා මේ දෙස දේශපාලන කෝණයෙන් බලමින් බැණ අඬගසා ගත යුතු නැත. එය එසේ වුවහොත් සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ මෙතෙක් ගත් සියලු උත්සාහයන් අසාර්ථක වනු ඇත. එම උත්සාහයන් ගඟට කැපූ ඉනි මෙන් අපතේ යනු ඇත.

සියලු පාර්ශ්වවල සහයෝගය ලබාගැනීමේ කඩිනම් විධිමත් යාන්ත්‍රණයක් රජය සතුවිය යුතුය. ‘සියල්ල දත්’ න්‍යායෙන් රජය බැහැර විය යුතුය. විකල්ප අදහස් මතවාදවලට රජය සවන් දියයුතුය. අවසානයේදී ක්‍රියාත්මක කළ යුත්තේ වඩාත් නිවැරැදිම හොඳම දෙයය. මේ මොහොතේ ජනතාවට ‘කවුද හරි’ යන්න වළංගු වන්නේම නැත. ඒ වෙනුවට ජනතාවට වැදගත් වන්නේ ‘කුමක්ද හරි’ යන්න පමණකි. එය පමාවකින් තොරව ක්‍රියාත්මකවීම දැකීම පොදු මහජනයාගේ අපේක්ෂාවයි.

කොරෝනා මර්දන මෙහෙයුම් සීයට සීයක්ම සාර්ථක වන්නේ එයට මහජනයාගෙන් උපරිම සහයෝගය ලැබෙන්නේ නම් පමණි. මහජනයා ද තමන් සතුව පවතින වගකීම නූලට තිතට තේරුම්ගත යුතුය. තමන්ගෙන් සිදුවන යම් අපහසුතාවකින් මුළු රටම කනත්තක් බවට පත්වන බව තේරුම්ගත යුතුය.

පොදු මහජනයා තුළ විශ්වාසයක් ගොඩ නැගෙන ආකාරයේ වැඩපිළිවෙළක් ඉක්මනින් දියත් විය යුතුය. මෙම උවදුර අපට මැඩලිය හැකි බවට ඒකාන්ත විශ්වාසයක්  පොදු මහජනයා තුළ ගොඩ නැගිය යුතුය. අප රට යනු අභියෝග ඉදිරියේ පසුබා ගිය රටක් නොවේ. සුනාමි විපතෙන් පසුව අපි යළිත් නැගී සිටියෙමු. මේ රට සියවස් ගණනාවක් ආපස්සට ඇද දැමූ තිස් වසරක යුද්ධය අපි ජය ගත්තෙමු. එලෙසින්ම මෙම අභියෝගයත් ජය ගත හැකි බව විශ්වාස කරමින් මුළු රටම එක මිටට එකතු විය යුතුය.

(***)



අදහස් (0)

එන්නත් එකම බේත නොවේ: භයානකයි: පරෙස්සම් වෙමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1831 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site