IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


උදෙන්ම ගොස් ඡන්දය දාන්න

මේ රටේ ඡන්දදායකයා රජ වෙන හෝරාව එළැඹ තිබේ. එහි වටිනාකම අවබෝධ කර ගනිමින් අද (05) උදෑසනින්ම සූදානම් වී ඡන්ද පොළට ගොස් තම ඡන්දය ප්‍රකාශ කිරීම සියලු‍ ඡන්දදායකයන්ගේ වගකීම වෙයි. වෙනදා මෙන් නොව මෙවර ඡන්ද පොළේදී තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැනක් දීමට ද අමතක නොකළ යුතුය. තමන්ගේ ආරක්ෂාව සෙසු සියලු‍ දෙනාගේම ආරක්ෂාව ද වන බැවිනි.

මෙවර ඡන්දය මේ රටේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් වෙන් කරගෙන තිබේ. ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතය හේතුවෙන් මාස ගණනාවක් මුළුල්ලේ ලෝකයම ‘‘නොනගතයකට’’ මුහුණ දී සිටියදී ඡන්දය පැවැත්වීමත් වසංගතය හේතුවෙන් මහ මැතිවරණය මාස කිහිපයක් පසුපසට තල්ලු‍ වීමත් එම සුවිශේෂී තත්ත්වයට හේතු විය. එසේම මහ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඇදී ගිය නීතිමය ගැටලු‍වක් බවට ද පත් විය.

මේ අතරවාරයේ රට තුළ කොරෝනා වසංගතය සතුටුදායක මට්ටමින් පාලනය කරගත හැකිවීම මහ මැතිවරණය මේ ආකාරයට ප්‍රමාද වී හෝ පැවැත්වීමට මඟ පෑදූ බවද සඳහන් කළ යුතුය. පවතින සෞඛ්‍යාරක්ෂක ගැටලු‍ මැද ඡන්දදායකයා තුළ තමන්ගේ ආරක්ෂාව පිළිබඳ උපරිම විශ්වාසයක් ඇතිවන පරිදි මහ මැතිවරණ යාන්ත්‍රණය ක්‍රියාවේ යෙදවීමට මැතිවරණ කොමිසම විසින් ඉටුකරන ලද මෙහෙවර ඉතා වටිනා බවද සඳහන් කරනු කැමැත්තෙමු. එසේම නිදහස් සහ සාමකාමී මැතිවරණයකට යෝග්‍ය පරිසරයක් ඇතිකර ගැනීම සඳහා කොමිසම මගින් ඡන්ද නීතිරීති දැඩිව ක්‍රියාත්මක කිරීම ද අගය කළ යුතුය.

අපේ රට ඉදිරි වසර 05ක කාලය තුළ පාලනය කළ යුත්තේ කුමන ආණ්ඩුවක්දැයි යන තීරණාත්මක බලය ඇත්තේ තමන් සතුව බවත් එය වෙනත් කෙනකුට පැවරිය නොහැකි බලයක් බවත් ඡන්දදායක ඔබ කිසිවිටෙකත් අමතක නොකළ යුතුය. ඡන්දය සලකුණු කරන පත්‍රිකාව අතැතිව සිටින ඡන්දදායකයා අද දවසේ රජවන බව අප මුලින්ම සඳහන් කළේ ඒ හේතුවෙනි. ආණ්ඩුව තෝරාගනු ලබන්නේ වැඩි ඡන්දයෙනි. එසේ වුවද පත්වෙන ආණ්ඩුවට ඡන්දය පාවිච්චි නොකළ ඡන්දදායකයාගේ ඡන්දයට හිමි වටිනාකම අඩුවන්නේ නැත. ඉදිරි කාලය තුළ අලු‍ත් ආණ්ඩුව වැඩ කරන ආකාරයේ ගුණ දොස් සෙවීමේ විපක්ෂයේ වගකීම ඔවුන්ට පැවරෙන බැවිනි. ඡන්ද පොළට ගොස් තම ඡන්දය ප්‍රකාශ කිරීමත් නිදහස් සහ සාධාරණ ඡන්දයක් පවත්වා ගැනීමට සෑම අතින්ම සහාය වීමත් හරහා ඡන්දදායකයාට තම පරමාධිපත්‍යයේ බලය නිසි පරිදි ක්‍රියාවේ යෙදවිය හැකිය.

අද පැවැත්වෙන මහ මැතිවරණයෙන් බලයට පත්වෙන ආණ්ඩුව නුදුරු දිනයක දිවුරුම් දෙනු ඇත. එසේ දිවුරුම් දෙන ආණ්ඩුවේ සියලු‍ මැති ඇමැතිවරුන්ගේ වගකීම වන්නේ තමන් කෙරෙහි විශ්වාසය තබා ඡන්දය ප්‍රකාශ කළ ජනතාවගේ බුද්ධියට නිගා නොකර රටේ පාලනයට සම්බන්ධ ඉදිරි වැඩ කටයුතු කිරීමය. විපක්ෂයට යන මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය විය යුතු වන්නේ හිටිගමන් අනෙක් පැත්තට පනින ගෙම්බන්ගේ චරිතයට පණ පෙවීමෙන් වැළකී ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති ජනතාවගේ විශ්වාසය රැකෙන පරිදි කටයුතු කිරීමය. ආණ්ඩුව වැරැදි මාර්ගයේ යනවා නම් එය හරි පාරට දමාගැනීමට දැඩිව බලපෑම් කිරීමය.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පමණක් ඡන්දදායකයාගේ වගකීම අවසන් නොවේ. ඊළඟට සෙවිල්ලෙන් සිටිය යුතු වන්නේ ආණ්ඩුව සහ විපක්ෂය දෙකම විනිවිදභාවයකින් යුතුව ක්‍රියා කරන්නේ ද යන්න ගැනය. රටට වසන් කර ඇතැම් ආණ්ඩු මගින් ගෙන ඇති තීන්දු තීරණ හේතුවෙන් මේ රටේ ජනතාව අතීතයේ පටන් දැඩිව දුක් විඳ තිබේ. එය තවදුරටත් සිදුවිය යුතු නැත. තමන්ගේ අභිමතය අනුව කාට හෝ තම ඡන්දය ප්‍රකාශ කිරීම අද දවසේ වඩාත්ම වැදගත් කාර්යය වන්නේ තවදුරටත් එවැනි දුක් පීඩා විඳීම අවශ්‍ය නොවන බැවිනි. ඡන්දදායකයා තමන්ගේ වගකීම ඉටු කරන්නේ නම් ඡන්දයෙන් බලයට පත්වන තැනැත්තාට ද තම වගකීම්වලින් කරඇරීම පහසු නොවනු ඇත.

මෙවර ඡන්දය සඳහා නාමයෝජනා ලැබ සිටින ඡන්ද අපේක්ෂකයන් අතුරින් වඩාත් සුදුසුම තැනැත්තන් තෝරාගැනීම ද ඡන්දදායකයාගේ වගකීමෙන් කොටසකි. තමන්ගේ වටිනා ඡන්දයෙන් හොරුන්, මිනීමරුවන්, අපරාධකාරයන්, ස්ත්‍රී දූෂකයන්, වංචනිකයන් සහ නීති කඩකරන්නන් පාර්ලිමේන්තුවට නොයැවීමට ඡන්දදායකයන් වගබලාගත යුතු වෙයි. කුමන පක්ෂයකින් වුවද පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවිය යුත්තේ සැබෑ මහජන නියෝජිතයන් වීමට සුදුසුකම් ඇති පුද්ගලයන් පමණි. මේ සුදුසුකම් අධ්‍යාපන සුදුසුකම් පමණක් විය යුතු නැත. ඉහළ අධ්‍යාපනයක් ලද ලෝක හොරු ද දේශපාලනය කරති.

අපරාධකාරයන්ට නාමයෝජනා ලබාදීමෙන් දේශපාලන පක්ෂ නායකයන් කරන්නේ වරදක් බව සැබෑය. එහෙත් ඔවුන් පාර්ලිමේන්තුවට තෝරා යැවීමෙන් ඡන්දදායකයන් සිදුකරන්නේ ඊටත් වඩා බලවත් වරදක් බවද පෙන්වා දීම අවශ්‍යය. අද දවසේ ප්‍රකාශ කරන ඡන්දයට ඉහළම වටිනාකම ලබා දිය හැක්කේ කුමන පක්ෂයකින් වුවද ඉදිරිපත්ව සිටින සුදුසුම පුද්ගලයන් ඉදිරියේ කතිරය ගැසීමෙන් පමණි.



අදහස් (0)

උදෙන්ම ගොස් ඡන්දය දාන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1764 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1449 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site