IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ආගම්වලට අපහාස කිරීම මිනිසා මිනිසාට නිගා කිරීමක්

රටේ ආගමික එක්සත් බව සහ සංහිඳියාව අනතුරට ලක්වන අයුරින් ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා කළ ප්‍රකාශය හෙළා දකින බවත් එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් කතෝලික සභාව පසුගියදා ප්‍රකාශ කර තිබිණි. ආගමික සංහිඳියාවට හානිවන අයුරින් බුදු දහම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ බවට චෝදනා ලැබ සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු යන අයගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝගයක් නිකුත් කර ඇති පසුබිමක කතෝලික සභාවෙන් මෙවැනි නිවේදනයක් නිකුත් කර තිබීම වඩාත් වැදගත් බව පෙන්වා දිය යුතුය.

බුදු දහමට නිගාවන අයුරින් සහ ආගමික සංහිඳියාව බිඳලන අයුරින් වගකීම් විරහිත හිතලු‍ ප්‍රකාශයක් කළ මෙම දේවගැතිවරයාගේ එම ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ යුතු බැවින් විදෙස් ගමන් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර තිබූ ඉල්ලීමේ සඳහන් වී තිබිණි. මේ ප්‍රකාශය හේතුවෙන් ආගමික ගැටුම් නිර්මාණය වී සංහිඳියාවට බලපෑමක් සිදුවිය හැකි බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි ද දෙපාර්තමේන්තුව සිය ඉල්ලීමේ සඳහන් කර තිබේ.

ජෙරම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයා මේ රටේ ආන්දෝලනාත්මක ප්‍රකාශ ගණනාවක් පසුගිය කාලය තුළ සිදු කළේය. ඔහුගේ ආගමික විශ්වාසයන් පිළිබඳ දැඩි භක්තියකින් ක්‍රියා කරන පිරිසක් මේ රට තුළ සිටින බව සත්‍යයක් විය හැකිය. එහෙත් එසේ වූ පමණින් සෙසු ආගම්වලට සහ ඇඳහීම්වලට අපහාසාත්මක විය හැකි ප්‍රකාශ නිකුත් කිරීමට ඔහුට කිසිවකුත් වරමක් ලබා දී නැත. තමන් කෙරෙහි යම් පිරිස් වඩාත් ආකර්ශනය කර ගැනීමේ චේතනාවෙන් ඔහු මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ නම් ඒවායේ අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව ද ඔහු දැනුවත්ව සිටීම අවශ්‍යය.

ආගමික මතගැටුම් මහත් ව්‍යසනකාරී සිදුවීම් බවට පත්වීමට ගත වන්නේ ඉතා සුළු කාලයකි. මේ බව දැන දැනම ජනතාව ප්‍රකෝප කර කිසියම් අරමුණක් ඉටුකර ගැනීමට මෙවැනි ප්‍රකාශ ඔහු යොදවා ගන්නේදැයි සොයා බැලීම ද අවශ්‍ය යැයි අපි සිතමු. එවැනි කුමන්ත්‍රණකාරී වැඩවලට සංවිධානාත්මක ලෙස මුදල් පොම්ප කරන විවිධ අන්තවාදී සංවිධාන ලොව පුරා විසිරී සිටී. ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ද එවැනි සංවිධානයක අතකොලු‍වක් වශයෙන් ක්‍රියා කරන්නේ ද යන්නත් සොයා බැලිය යුතුය.

ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන බවටත් සියලු‍ම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන් කර තිබේ. ඒ සමඟ සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂා කර දී තිබේ. එසේ වුව ද වෙනත් කිසිදු ආගමකට හෝ ඇදහීමකට, ලබ්ධියකට හෝ විශ්වාසයකට එරෙහිව පහර ගැසීමට කිසිවකුටත් ඉඩක් නැත. යම් කිසිවකු එසේ කරන්නේ නම් එය ලාබ ප්‍රචාරක උපක්‍රමයක් බව පෙන්වා දිය යුතුය. සැබෑ ආගමික නායකයෝ කිසි කලෙකත් එවැනි උපක්‍රම යොදා නොගනිති.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මීට පෙර සිදු කළ ඇතැම් ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් රට තුළ දැඩි විවේචන එල්ල විය. ඔහුට එරෙහිව ඇතැම් විදෙස් මාධ්‍ය හරහා ද විවිධ චෝදනා එල්ල වී තිබීම ද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. එම චෝදනා සම්බන්ධයෙන් සොයා බලා මොහු කිසියම් අන්තවා දී සංවිධානයක හෝ සංවිධානවල රූකඩයක් වශයෙන් ක්‍රියා කරන්නෙක් ද යන්න පැහැදිලි කර ගැනීම ද අවශ්‍යය. එවැනි බලවේගවලට හිස එසවීමට කිසිසේත් ඉඩක් තැබිය යුතු නැත. නීති මාර්ගයෙන් හැකි ඉහළම ක්‍රියා මාර්ග ගැනීම අවශ්‍යය.

තවත් සමහරුන් මෙවැනි ආගමික මතවාද කරපින්නා ගනිමින් සෙසු ආගම්වලට පහර ගසන්නේ ඒවායින් ලැබෙන විශාල ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවෙනි. ඇතැම් බටහිර රටවල්වල ඇති සංවිධාන මෙවැනි පුද්ගලයන්ට මුදල් පොම්ප කරන්නේ ඩොලර් මිලියන ගණනනි. රටක ආගමික සංහිඳියාව නැති කිරීමෙන් එවැනි සංවිධාන වෙනත් අරමුණු ඉටුකර ගන්නා බව ද සඳහන් වෙයි. එවැනි ක්‍රියාකාරකම්වලට ලංකාව කෙළිබිමක් කර ගැනීමට ඉඩ නොදිය යුතුය. දේවගැති වේශයෙන් පැමිණියත් එවැනි පිල්ලිවල සැබෑ අරමුණු හෙළිදරව් කිරීමට පැකිලිය යුතු නැත.

ආගමික විශ්වාසයන්ට අපහාස සිදුවන ආකාරයේ සියලු‍ ක්‍රියාකාරකම් වැළැක්වීමට දැඩි පියවර ගැනීමට කාලය එළඹ තිබෙන බව ජෙරම් දේවගැතිවරයාගේ ක්‍රියාව රටටම පැහැදිලි කර දී තිබේ.

(***)



අදහස් (1)

ආගම්වලට අපහාස කිරීම මිනිසා මිනිසාට නිගා කිරීමක්

DISANAYAKA Tuesday, 23 May 2023 08:19 AM

බුද්ධ දර්ශණ ක්‍රමය ගැන සිතනවිට මෙය සරල කාරණයකි. ඔහු මිනිසුන්ට ඉගැන්වූයේ අඩු දැනුමක් ඇති මිනිසුන්ට බනින්න නොවේ. එවැනි අය මෝඩයින් බවත් ඔවුන් තවත් ඉගෙනගත යුතු බවත් ඔහු පැහැදිලි කළේය. පරිණත මිනිසුන් එවැනි මෝඩයින්ට ඉගැන්විය යුතු අතර බාලයන් ලෙස සැලකිය යුතුයි.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 436 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16860 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 660 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site