IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


මිථ්‍යාව වපුරා ජනතාව සූරාකන බඩගෝස්තරවාදියෝ

විද්‍යාව කෙතරම් ඉහළට දියුණු වුවද මිථ්‍යාවට තවමත් වැඩි ඉඩකඩක් තිබේ. යම් අයකු අසනීප වූ විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවී විවිධ ගුරුකම්, තොවිල් නැටීම් ආදියෙන් ලෙඩ රෝග සුවපත් කර ගැනීමට යොමුවන නොදියුණු ජන කොටස් අප අතර තවමත් සිටිති. යකැදුරන්ගේ ලිංගික අතවරවලට ලක්වීම් පමණක් නොව විවිධ හේතු මත ජීවිත අහිමිවීමේ  අනුවේදනීය සිදුවීම් කොතෙක් වාර්තා වුවද ඒවාට යොමුවන්නෝ හිඟ නොවෙති. නිදන් පිළිබඳ මිථ්‍යා විශ්වාසය ද එසේමය.

අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ කඩවත, සූරියපාළුව ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යමින් පුද්ගලයන් රවටා ඔවුන්ගේ ඉඩම්වල නිදන් තිබෙන බව පවසා රුපියල් ලක්ෂ 22ක මුදලක් වංචා කළ බව කියන කපුවන් තිදෙනකු ඇතුළු නව දෙනකු කඩවත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවය. මෙම පිරිස් එම දේවාලයේ පූජාවක් පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස් අතර කාන්තාවක ද සිටින බව අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත්  සඳහන්ය.

ඕනෑම ආගමක්, දහමක් විශ්වාසයක් ඇදහීමට ඕනෑම අයකුට අයිතියක් තිබේ. එහෙත් එය ඔවුන්ගේ විනාශයට හේතු වන්නේ නම් එයට එරෙහිවීමේ අයිතියක් ශිෂ්ට සම්පන්න සමාජයට තිබේ. මිථ්‍යාව වපුරා සිය බඩගෝස්තරය සොයාගන්නා ජාවාරම්කරුවන් සමාජයට සිදු කරන්නේ අතිමහත් විනාශයකි. සොයා බැලීමකින් තොරව තම පෞද්ගලික වාසිය තකා එම මිථ්‍යාව කරගසාගෙන යන්නෝ විනාශය තමන් කරා ළඟාකර ගනිති.

අප පුවත්පත වාර්තා කළ අන්දමට කඩවත, සූරියපාළුව ප්‍රදේශයේ පවත්වාගෙන යන දේවාලයකට පැමිණි පුද්ගලයකුගේ රාගම, තේවත්ත ප්‍රදේශයේ නිවෙසක් පරීක්ෂා කිරීමට අවශ්‍ය බව එහි කපුවා පවසා ඇති අතර එම ඉඩම පරික්ෂා කළ කපුවා ඉඩමේ නිදන් තිබෙන බව පවසා ඇත. සැකකරුවන් පසුව රත්නපුර ප්‍රදේශයෙන් අජීවි මැණික් ගල් රැගෙන විත් ඒවා ව්‍යාජ ලෙස සැකසූ පාෂාණවලට ඔබ්බවා පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් නිදන් වස්තු ඉඩම් තිබූ බව පවසමින් ඉඩම් හිමියා රවටා මුදල් වංචාව සිදුකර තිබේ.

මෙය කියවන ඔබට මෙවැනි වංචාවලට අහුවෙන මිනිසුන්ගේ ඔළු විශේෂ පරීක්ෂාවට ලක් කළ යුතු යැයි සිතෙනු නො අනුමානය. එමෙන්ම මෙබඳු වංචනිකයන්ට මිනිසුන් ගොදුරු වන්නේ වංචනිකයන් ගේ දක්ෂතාවට නොව වංචනිකයන්ට ගොදුරුවන පුද්ගලයන්ගේ දුර්වලතාවටය. එම මෝඩකම්වලට බෙහෙත් නැතැයි කීව ද පෙර අත්දැකීම් තමන්ට නොවූව ද සමාජයෙන් වාර්තාවන සිදුවීම් ආශ්‍රයෙන් යථාර්ථය තේරුම් ගැනීමට අසීරු නොවේ.

නිදන් පිළිබඳ මිථ්‍යාව ඇතැම් කොටස් තුළ බරපතළ ලෙස මුල් බැස තිබේ. කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති වුවද තරාතිරම් බේදයකින් තොරව සමාජයේ විවිධ පිරිස් මෙම මිථ්‍යාවට ගොදුරුවී සිටිති.  ආරක්ෂක අංශවල ඉහළ නිලයන් දරන සමහර පුද්ගලයන් පවා නිදන් හැරීමට ගොස් පොලිස් අත්අඩංගුවට පත්වූ පුවත් පසුගිය සමයේ බහුලව වාර්තා විය.

 සොයා බලා විමසීමකින් තොරව ඕනෑම දෙයක් ඉස් මුදුනින් පිළිගෙන සියලු සේසත අහිමි කරගත් සිදුවීම් නිවැරැදිව කියවාගත හොත් යාගහෝම ආදියට යොමුවී වටිනා ජීවිත අහිමි කර ගත් අනුවේදනීය සිදුවීම එයට හිමි නිසි බරින්  කියවා තේරුම්ගතහොත් මෙම මිථ්‍යාව නමැති සැහැසි ග්‍රහණයෙන් මිදිය හැකිවනු ඇත. නොඑසේනම් මිල මුදලින්, දේපළවලින්, ජීවිතවලින් වන්දිගෙවීමට සිදුවන්නේ තමන්ට ම ය.

(***)



අදහස් (0)

මිථ්‍යාව වපුරා ජනතාව සූරාකන බඩගෝස්තරවාදියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 100 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 938 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site