රජය සතු ආයතන (රාජ්‍ය ව්‍යවසාය) පාලනයට තද නීති පැනවීමට මුදල් අමාත්‍යංශය මගින් පසුගිය සතියේ දී දැඩි පියවරක් ගනු ලැබීය. එම ආයතන පාලනයට රජය මගින් පත්කරනු ලබන අධ්‍යක්ෂවරුන් තමන් විසින් ගනු ලබන තීරණවලට වගවිය යුතු බවත් බඳවා ගැනීමේ ක්‍රමවේදවලට සහ සිදුකරන ගෙවීම් සඳහා තදබල ලෙස ක්‍රියාත්මක කළ යුතු උපමාන හඳුන්වාදීමත් එමගින් බලකරනු ලැබේ. 400කට වැඩි රාජ්‍ය ආයතන සඳහා පසුගිය 17 වැනිදා සිට මේ නීතිරීති ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්ය.

දැනට ක්‍රියාත්මකව පවතින රාජ්‍ය ආයතන කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය තරමට තීන්දු තීරණ ගැනීමට බලතල ලබාදෙමින් ඒවායේ ඵලදායිතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් මේ නීති රීති හඳුන්වා දී ඇතැයි භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් නිකුත් කරන ලද අදාළ චක්‍රලේඛයේ පෙන්වා දී තිබේ. මෙම උපමාන මගින් අදාළ ආයතනවල පාරදෘශ්‍යභාවය පවත්වා ගනිමින් ජාත්‍යන්තර ක්‍රමවේදවලට අනුකූල වන ලෙස සාධාරණව, වගකීම් ඉටුකරමින් කටයුතු කිරීම දිරිගන්වා තිබේ. එම ආයතන මගින් පවත්වාගෙන යන ව්‍යාපාර කටයුතු මෙහෙයවීම සඳහා වෙනම උපදෙස් පත්‍රිකාවක් ද ඒ සමඟ ලබා දී තිබේ.

රාජ්‍ය සේවයේ ආයතනවල කාර්යක්ෂමභාවය සම්බන්ධයෙන් නිරන්තරයෙන් රට තුළින් ප්‍රශ්න කෙරෙයි. එහෙත් කිසිදු රජයක් මේ කාර්යක්ෂමභාවය වර්ධනය කර ගනිමින් රාජ්‍යය සතු ආයතන ලාබදායී නිෂ්පාදනයට සහ අපනයනයට දිරි දෙන රටේ ආර්ථිකයට බරක් නොවන ආයතන වශයෙන් පවත්වාගෙන යාමට අවස්ථාවක් නොදෙන බවට රටේ වෘත්තීයවේදීන්ගේ සහ පොදු මහජනතාවගේ බරපතළ විවේචනයක් පවතී. බොහොමයක් ආණ්ඩු රාජ්‍ය සතු ආයතනවල දොස් දකින්නේ විපක්ෂයේ සිටින විට පමණි. ඔවුහු බලයට පැමිණි පසුව රාජ්‍ය ආයතන විවේචනය කිරීම පසෙකට දමා ඒවා තමන්ගේ හෙංචයියන්ට රැකියා සපයන මධ්‍යස්ථාන බවට පත්කර ගනිති.

ඒ ඒ ආයතනවල රේඛීය අමාත්‍යවරුන් ඒවායේ පාලනයට පත් කරන්නේ විෂය සම්බන්ධ ප්‍රාමාණික දැනුමැති වෘත්තීයවේදීන් නොව තමන් වෙනුවෙන් මැතිවරණයේ දී අත දිගහැර වියදම් කළ ගජ මිතුරන්ය. තවත් අවස්ථාවල දී සමීප ඥාතීන් පත්කර ගනිති. ඔවුන් ඇතැමුන්ට ආයතනයක් පාලනය කිරීම තබා පෙට්ටි කඩයක්වත් පවත්වාගෙන යන තරමට හෝ දැනුමක් නැත. මෙවැනි පත්කිරීම් හේතුවෙන් රටට අභිමානයක් ලබාදෙමින් ලාබදායී ලෙස පවත්වාගෙන යාමට හැකියාව තිබූ රාජ්‍ය ආයතන බිමට කඩා පාත් වූ අවස්ථා සම්බන්ධයෙන් උදාහරණ රාශියක් මෑත අතීතයේ තිබෙන බව සඳහන් කළ යුතුය.

රාජ්‍ය ආයතන කාර්යක්ෂම, ඵලදායී ආයතන වශයෙන් පවත්වාගෙන යාමට උත්සාහ දැරීම පවා සටකපට අදහස් ඇති බඩගෝස්තරවාදී දේශපාලනඥයන්ට වහකදුරු මෙනි. එවැනි කැපී පෙනෙන ආයතන තමන්ගේ සාක්කු පුරවා ගැනීමට ඇති අවස්ථා අහිමි කරන බව ඔවුහු දනිති. මේ නිසා කුණු ගොඬේ තිබෙන කුණු මස් කෑල්ලට ඉව අල්ලන බලු‍ කපුටන් මෙන් මේ රාජ්‍ය ආයතන තමන්ගේ බඩගෝස්තරයට යොදවා ගැනීමට උපකාරී වන පාලකයන් පිරිසක් ඒවාට පත්කර ගැනීමටත් තමන්ගේ ‘ඇතුළේ වැඩ’ ටික කරවාගත හැකි හිතවතුන්ට ‘චිට්’ රැකියා ලබාදී තම හිතවතුන්ගේ රැකියා ප්‍රශ්නය විසඳා ගැනීමටත් ඔවුහු කටයුතු කරති. එහි එකම ප්‍රතිඵලය රාජ්‍ය ආයතන අනවශ්‍ය පුද්ගලයන්ගෙන් පිරී ඉතිරී ගොස් ඒවා කඩා වැටීමත් හෙංචයියන්ගේ බඩ කට පිරි යාමත් පමණි.

මේ සම්බන්ධයෙන් වරක් කොළඹ වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයකු අපූරු කතාවක් කියා තිබිණි. ඔහුගේ කතාවට අනුව කොළඹ වරායේ අවශ්‍ය සංඛ්‍යාවට මෙන් තුන් ගුණයක සේවක පිරිසක් රැකියාව කරති. වරායෙන් උපදවන ආදායමෙන් වැඩි කොටස මේ අනවශ්‍ය සේවක පිරිස නඩත්තු කිරීමට වැය වන බව කිව යුතු නැත. බොහොමයක් රාජ්‍ය ආයතනවල තත්ත්වය මෙයයි. දරාගත නොහැකි සේවක පිරිසක් සිටින විට ඔවුන් වෙනුවෙන් විශාල පිරිවැයක් දැරීමට සිදුවෙයි. එවිට සිදුවන්නේ රාජ්‍ය ආයතනයට මන්දපෝෂණය වැළඳී මරණාසන්න වනවිට එහි සේවක පිරිස අධිපෝෂණයෙන් තෘප්තිමත් වීමය. එවිට රටේ ආර්ථිකය බලා සිටිය දී වළපල්ලට යයි.

මේ කටුක යථාර්ථයෙන් අත්මිදීමට නම් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. විදුලිබලය, පොදු ප්‍රවාහනය සහ තෙල් සැපයුම බිලියන ගණනින් පාඩු ලබන රාජ්‍ය ආයතන කිහිපයකි. ඒවා අත්‍යවශ්‍ය සේවා හේතුවෙන් කොතරම් පාඩු වුව ද වසා දැමිය නොහැක. ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩාපහත් වීම තවත් පැත්තකි. එහෙත් ගැටලු‍ව වන්නේ රටේ බදු ගෙවන මහජනතාවගේ කරපිටට මේ සියලු‍ බර පැටවීමය. මේ ආයතනවල සිටින සියලු‍ සුපිරි වැටුප් බලධාරීන් සහ අධික වැටුප් ලබන සියලු‍ නිලධාරීන් සහ සේවකයන් දැන සිටිය යුත්තේ ඔවුන් මේ සියලු‍ සැප සම්පත් විඳින්නේ තමන්ගේ ආයතන ලබන ලාබයෙන් නොව මෙරට සෙසු අහිංසක පුරවැසියන්ගේ බදු මුදලින් බවය. එම ආයතනවල ඇති අධික දූෂණ සහ වංචා නැවැත්විය හැකි නම් මේ බර සෑහෙන දුරකට අඩුකර ගැනීම අපහසු නැත. එහෙත් කිසිදු රජයක් එම දූෂණ සහ වංචා නැවැත්වීමට නිසි පියවරක් ගෙන නැත. එම දූෂණ සහ වංචාවලට ගෑවුණ පිරිස් තවමත් යහතින් වැජඹෙති. එතෙක් ඒවායින් සිදුවූ පාඩුව වැටුණේ ජනතාවගේ කර මතටය.

රාජ්‍ය සේවය තවදුරටත් බරක් නොවිය යුතු බවට මුදල් ඇමැතිවරයා කරන ලද ප්‍රකාශය නිවැරැදි දිශාවට තබන ලද පියවරක් බව අපි සිතමු. මෙය අවබෝධ කරගෙන දීර්ඝ කාලයක් ගතවුව ද කිසිදු රජයකට අඩු තරමින් පාඩු ලබන රාජ්‍ය ආයතන රාජ්‍ය පෞද්ගලික ආයතන වශයෙන් ව්‍යුහාත්මකව ප්‍රතිසංස්කරණය කිරීමට හෝ ප්‍රමාණවත් වුවමනාවක් ඇති බවක් පෙන්නුම් කර නැත. අයි.එම්.එෆ්. නොගොස් අපේ ආර්ථිකය හදාගත හැකි බවට පාරම්බාන ඇමැතිවරුන් අඩුම තරමින් රට තුළ ප්‍රබල ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකර ගනිමින් රාජ්‍ය ආයතනවල අධික ණය බර සැහැල්ලු‍ කර ගැනීමට හෝ සහාය දක්වන්නේ නම් පවතින තත්ත්වයෙන් තරමක් දුරට හෝ ගොඩ ආ හැකිවනු ඇත. එහෙත් එය කළ හැකි ද? එයට පිළිතුරක් සොයා ගැනීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයක් වශයෙන් ලබා ඇති ප්‍රගතිය අධ්‍යයනය කිරීම පමණක් ප්‍රමාණවත්ය.

(***)