කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



මිතුරන්ට නොදැනෙන්න එක මිතුරකු සමග පමණක් සෙට්වී එය අහම්බෙන් පත්තුවී අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව අලු‍ත් කතාවක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ. 
නොඋස්වුවත් වැඩිමනත් මිටි අයකු නොවේ. ඩයල් එක අම්බලන්ගොඩම ප්‍රසිද්ධ අයෙකි. ඒ ඔහු කරන ව්‍යාපාරයත් එක්කය. මිනිහා වැඩිපුරම සෙට් වෙන්නේ කට්ටියත් එක්කය. ඒ ඔහුගේ හැටිය. 
එදා ඔහු සෙට්වුණේ අම්බලන්ගොඩ තවත් ව්‍යාපාරිකයකු එක්කය. රෑකය. ව්‍යාපාරිකයාගේ නිවසේය. කතානායකයා ගියේ යතුරු පැදියෙනි. දෙන්නා කන පැළෙන්නම බිව්වෝය. දෙන්නටම දැන් බඩුය. ව්‍යාපාරිකයාගෙන් සමුගෙන ඔහු ආ යතුරු පැදියෙන්ම නිවස බලා ගියේය. 
නිවසට ගිය ඔහු ඇඳ සිටි කොට කලිසම පිටින්ම ඇඳට ගියේය. නිදි දෙව්දුව ඔහුට හාදු දුන්නේය. මිනිහා දැන් නිදිය. ඉර එළිය වැටෙන්නට කලියෙන් ඔහු අවදිවූවේය. ඒ හිමිදිරි උදෑසනම කළ යුතු රාජකාරියක් මස්තිස්කටය ආ බැවිනි. ඒ නිසාම ඔහු දනිපනි ගා අවදි වූවේය. කොට කලිසම් සාක්කුවේ යතුරුපැදියේ යතුර අතට අසුවුණේ එවිටය. ඒ සමගම ඔහුට තරු පෙනුනේය. 


හිමින් සැරේ ඔහු දොර ඇරගෙන රෑ සෙට්වූ මිතුරාගේ නිවස බලා පාද යාත්‍රා කිරීමට පටන් ගත්තේය. එම නිවසට දුර කිලෝමීටරයක් නැත්නම් එකහමාරකි. ඔහු ඒ දුරම හිමිදිරියේ පාද යාත්‍රා කළේය. දැන් ඔහු මිතුරාගේ නිවස ඉදිරිපිටය. මිතුරාගේ නිවස ඉදිරිපිට හාත්පසම සිසාරා බැලු‍වේය. තමා සොයන දෑ එහි නොවීය. මිනිහගේ දැන් සියොළඟම දහඩියය. හිස ගිනි ගෙනය. ඒ නිසාම ඔහු ව්‍යාපාරික මිතුරාගේ දොරට තඩි බෑවේය. මිතුරා අවදි වී කලබලයෙන් පැමිණ දොර ඇරියේ හිමිදිරි උදෑසනම සිය දොරට තඩි බාන්නේ කවුදැයි යන්න බැලීමටය. දොර විවෘත කළ විට ඔහුට දක්නට ලැබුණේ රෑ එකට සෙට්වූ මිතුරාය.
‘‘මොකද මචං කලබලේ’’ යයි ඔහු ඇසුවේය. ගෙදරින් එළෙව්වා දැයි ඔහු ඇසුවේය. ‘‘උඹ මගුලක් කතා කරනවා. යකෝ මම ඊයේ රෑ සෙට්වෙන්න ආවේ මගේ බයිසිකලයෙන්. මම ඒක උඹලගේ ගෙදර දාලා ගෙදර ගියා. දැන් බයිසිකලය තිබ්බ තැන නැහැනේ.’’
‘‘මම මේ කල්පනා කළේ පොලිසියේ පැමිණිල්ලක් දාන්න’’ යයි ඔහු කීවේය. ඒ සමගම ව්‍යාපාරික මිතුරා බඩ අල්ලාගෙන සිනාසුනේය. ‘‘ඇයි බං උඹ බයිසිකලෙන් නේ ගෙදර ගියේ’’. ‘‘පිස්සුද උඹට, මම බයිසිකලයෙන් ගෙදර ගියානම් බීපු දවසට බයිසිකලය ගරාජෙකට නොදා ඉස්තෝප්පුවේ දාලයි නිදා ගන්නේ’’ යයි ඔහු කීවේය. 
මේ සම්බන්ධයෙන් දැන් දෙන්නා තර්ක විතර්කයේය. එය එසේ යද්දී ව්‍යාපාරික මිතුරා ඔහුට අලු‍ත් යෝජනාවක් කළේය. නිවසේ අයකුට දුරකතන ඇමතුමක්දී යතුරු පැදිය නිවස පිටුපස ගරාජයේ ඇති ද යන්න සොයා බලන ලෙසය. කියූ පරිදි ඔහු එසේ කළේය. ඔහු ආ බයිසිකලය ගරාජයේය.
මිතුරා සමග තර්කයෙන් ඔහු පැරදුණේය. ඔහු ආපසු පාගමනින්ම සිය නිවසට ඒමට සැරසුණේය. ‘‘කාටවත් මේක කියන්න එපා’’ යයි ව්‍යාපාරික මිතුරාට ඔහු කීවත් ව්‍යාපාරික මිතුරා එය අකුරට පිළිපැදීම නිසාම දැන් අනෙක් මිතුරන් දැන් එය දැනගෙන ඉන්නේ තමන්ට නොකියා සෙට්වූ ඔහුට ඕකට වුණේ හොඳ වැඩක් යයි කියමිනි.