කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි



යාබද ගමක විවාහක කාන්තාවක සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය මැදිවියේ විවාහකයකු මැදියම් රැයක සුපුරුදු පරිදි අදාළ කාන්තාව හමුවීමට යාම සඳහා සිය නිවසේ උඩුමහලේ සිට හොර රහසේ  සාරියක ආධාරයෙන් බිමට බැසීමට ගොස් උකුල් ඇටයක්ද පන්නාගෙන බිරිඳගේ උවටැන් මැද නිවසට වී සිටින බව කියන පුවතක් පසුගිය දිනක උතුරුමැද පළාතේ බස්නාහිර දෙසින් පිහිටි ගමකින් වාර්තා විය.
සිවුදරු පියකු වන මෙම පුද්ගලයා වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන බවත් ඔහු අනියම් ඇසුර පවත්වාගෙන යන කාන්තාව ඔහුගේ වෙළඳසලට යන එන ගනුදෙනුකාරියක වන දෙදරු මවකි.
මේ දෙදෙනා අතර කලක සිට පවතින මෙම සම්බන්ධය ගැන ව්‍යාපාරිකයාගේ බිරිඳටද ඉව වැටී ඇති නමුත් එය තහවුරු කිරීමට තරම් සාක්කියක් ඇයට හසුවී නැත.
කෙසේ වෙතත් කාලයක සිට ක්‍රමක්‍රමයෙන් සිය සැමියාගේ යම් වෙනස්වීමක් බිරිඳට දැනෙන්නට වී ඇති අතර ඇය ඒ ගැන අවස්ථා කිහිපයකදීම කල්යල් බලා සැමියාගෙන් විමසා ඇති නමුත් එම සෑම අවස්ථාවකදීම ඔහු ඇයට ප්‍රතිචාර දක්වා ඇත්තේ යක්ෂාවේෂ වූවකු ලෙසින්ය.


ඒ මෙම සිදුවීමට අදාළව අඹුසැමියන් අතර නිරන්තරව ගැටුම්කාරී තත්වයන්ද වර්ධනය වෙමින් තිබී ඇත. එය කොතෙක්ද යත් මෙම අනතුර පවා සිදුවී ඇත්තේ කලක් යනවිට අදාළ ව්‍යාපාරිකයා රාත්‍රී කාලයේදී සිය අඹුදරුවන්ව බිම්මහලේ තනිකර ඔහු පමණක් උඩුමහලට ගොස් තනිවම නිදා ගැනීමට තරම් හිත හදාගත් පසුබිමක් තුළ බවද කියයි.
මෙම හොර ගමන යාමට ඔහු උඩුමහලේ සිට නියමිත පියගැටපෙළ බැස පහළට එනවා වෙනුවට ඒ සඳහා එක්වරම උඩුමහලින් මිදුලට බැසීමට යොදා ගත් සාරියේ ගැටය ලිහී ඇදවැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව වෙදැදුරෙකුගේ පිහිටෙන් සැමියාගේ උකුල් ඇටය යථා තත්වයට පත්කිරීමට තෙල් පත්තු බඳින බිරිඳ ඇගේ විශ්වාසවන්ත මිතුරියකට පවසා ඇත.