හසලක සුනිල් ඒකනායක


රාත‍්‍රියේ සිහිනෙන් දුටු සුන්දර කතාවක් සැබෑ කරගන්නට ගිය අයකුට තරුණ කාන්තාවකගෙන් කම්මුල් පහරක් කා ආයතනයක කළ රැකියාව පවා අතහැර දමා යෑමට පවා සිදුවු පුවතක් මිණිපුර ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය.

තිස් හතර වියේ පසුවෙන දෙදරු පියකු වන මොහු මිණිපුර ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන අයෙකි. මෙදින ඔහුට රාත‍්‍රියේ නිදියහනේදී දුටු සිහිනය ඉතා මනරම් සිත පිනායන කිසිදා නොසිතු සිහිනයකි. පසු දින රැකියාව නිමා වීමෙන් පසු යතුරු පැදියෙන් එන ගමනේදී ඔහුට සිතුනේ පෙරදින රාත‍්‍රියේ දුටු සිහිනයේ සිහින කුමාරිය මුණ ගැසී එම පුවත පවසා ඇය සමග මිතුරු දමක් ඇති කර ගැනීමට ඇත්නම් කියාය.

ඔහු සේවය කරනු ලබන ආයතනයේම සේවය කරනු ලබන 32 හැවිරිදි විවාහක මේ සිහින කුමරිය සේවය නිමා කර බසයෙන් පැමිණ නගරයෙන් බැස නිවස බලා ගමන් ගන්නේ තනිවම පා ගමනින් බව ඔහු දැක තිබිණි. 

ඒ අනුව ඇය බසයෙන් බසින නගරයට පැමිණ ඇය ගමන් කරන දෙස බලා සිට පාලූ ප‍්‍රදේශයක මාර්ගයේ ඇය ගමන් කරමින් සිටින අවස්ථාවේ යතුරු පැදියෙන් ඇය පිටු පසින් ගොස් ඇයට ඉස්සර කර යතුරු පැදිය නවත්වා ඇය සමග කතාවකට අවතීර්ණ වී ඇත. කිසිදා මෙවැනි හමුවක් සිදුවී නොමැති නිසා ඇයට ඇතිවූයේ යම් කුකුසකි. 

මේ කතා බහ අතරේ ඔහු යතුරු පැදියෙන් බැස ඇය සමීපයට ගොස් පෙරදින තමන් දුටු සිහිනය විස්තර කරමින් එම සිහිනයේ දී තමන් මෙසේ ඇයගේ අත අල්ලාගෙන ඉතා සමීපව ඇයට ළංවූ බවත් කියනවාත් සමගම ඔහුගේ අත පසෙකට ගසා දැමු ඇය ඔහුගේ මුහුණ පුරා වේගවත් කම්මුල් පහරක් එල්ල කර “වනචරයා එනවා මෙතන මඟු‍ල් නටන්ට. පාරේ ගැහැනියකුට නිදහසේ ගමන් කිරිමටවත් නොදෙන වල් පාහරයා.” යැයි දැඩි ලෙස වාග් ප‍්‍රහාරයක් එල්ලකර වහා තමන් අසලින් ඉවත් වන ලෙසත් එසේ ඉවත් නොවුණ හොත් මේ සිද්ධිය අසල්වාසීන්ට කෑගසා පවසන බවත් වේවුලන ගතින් යුතුව ඇය පවසා ඇත.

ඇයගෙන් ලැබුණු කම්මුල් පහරේ වේදනාවත් වාග් ප‍්‍රහාරයත් නිසා අන්දුන් කුන්දුන් වූ සිහින කුමාරයා වහා යතුරු පැදියට නැගී ආපසු නගරය බලා පියෑඹුවේ මේ සිද්ධිය කවුරුන් හෝ දැක්කොත් වෙන අවමානය වගේම තවදුරටත් මෙහි රැදි සිටියහොත් වෙන විපත ගැන සිතමිණි.

පසු දින සේවයට ගිය ඇය පෙර දින සවස තමන් මුහුණ පෑ අවාසනාවන්ත සිදුවීම සිය මිතුරු මිතුරියන්ට පැවසූ අතර එම පුවත ආයතනය පුරා පැතිර ගියේ ලැව්ගින්නක් පැතිර යන්නා සේ වේගයෙනි. එම පුවත එසේ පැතිර ගිය නිසා ඔහුට තවදුරටත් ආයතනයේ සේවය කිරීමේ පැවති අපහසුතාවය නිසාවෙන් ඔහු සේවයට වාර්තා කිරිම නතර කර නගරයෙන් පිට වෙනත් ආයතනයක සේවයට ගිය බවත් මිතුරන්ට ආරංචි විය.