කලකට පෙර දෙල්ගොඩ ප්‍රදේශයේ විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක වූ සිදුවීමකි.
එම වකවානුවේ විදුලි සේවකයන්ට ඔවුන්ගේ පඩි නඩි ලබා දුන්නේ ආයතන ප්‍රධානියා විසින් ආයතන පරිශ්‍රයේදීය.
විදුලි අධිකාරිවරයා විසින් බැංකුවෙන් රැගෙන  එන  සේවක වේතන  මුදල් මෙසේ අදාළ සේවකයන්ට ලබාදීම සිදුවිය.
මෙම මධ්‍යස්ථානයේ සේවකයන් හා විදුලි පාරිභෝගිකයන්  සමඟ මනා සුහදතාවයක් ගොඩ නගාගෙන සිටි තරුණ විදුලි අධිකාරීවරයෙක් එවක මෙහි සේවය කළේය.                   
විදුලි අධිකාරී විසින් එක් දිනක් නගරයේ බැංකුවට ගොස් එම මාසයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා රැගෙන ආ මුදල් පාර්සලය තම කාර්යාලයේ  මේසය මත තබා තමා දිවා ආහාරය ගැනීමට රැගෙනා ආ කෑම පාර්සලය ද එය අසලින්ම  තියා ගමන් වෙහෙස නිවා ගැනීමට තම රාජකාරී අසුනේ ඉඳගත්තා පමණි. 


මුව ආවරණ සහිත හෙල්මට් පැලඳ ගත් පුද්ගලයෝ දෙදෙනෙක්  සේවක වැටුප් කොල්ලකෑමේ අරමුණින් විදුලි අධිකාරිවරයා වෙත කඩා පැන ඔහුට ගිනි අවියක් එල්ල කර මේසය මත තිබූ පාර්සලයක් කොල්ලකා ක්ෂණිකයකින් යතුරුපැදියකින් පලා ගියහ.
කොල්ලකරුචන්ට ටික වේලාවකින් තරු පෙනී තිබුණේ තමන් ඉතා සූක්ෂම සැලසුම් කළ කොල්ලයේදී අනපේක්ෂිතව තමන් අතට ලැබී තිබුණේ විදුලිය අධිකාරිවරයාගේ දිවා ආහාර පාර්සලය වීම බව අවබෝධ වූ පසුවයි.                                                        ‍   විදුලි අධිකාරිවරයාට පිස්තෝලය පෙන්වා කොල්ලකරුවන් කලබලයට කොල්ලකා තිබුණේ ඔහුගේ දිවා ආහාර පාර්සලය වන අතර මුදල් පාර්සලය එලෙසම මේසය මත තිබුණි.
කොල්ලකරුවන්ට වැරදි  රැගෙන ගිය බත් පාර්සලය කඳුබොඩ සුසාන භුමිය ආසල මාර්ගයේ විසිකර දමා තිබුණු බව එවකට ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ පොලීසිය පවසා තිබුණි.


දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති