කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



සිය මහලු‍ මවට සලකනවා යයි කියමින් ඡායාරූප සහ වීඩියෝ මගින් පිටරට යවා සැමියා මුළා කළ කතකගේ සැබෑ සැලකිල්ල සැමියාගේ අතටම හසුවූ අලි ජංජාලයක් පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු විදෙස් ගත වූයේ සිය මහලු‍ මව බලාකියා ගැනීමේ වගකීම භාර්යාවට පවරමිනි. ඒ වෙනුවෙන් ඇයට නිවසේ වියදමට අමතරව සිත් ගන්නා සුළු ප්‍රසාද දීමනා මාසිකව ලබා දුන්නේය. ඒ ඇයට ඕනෑම දෙයක් මිලදී ගැනීමටය.
 සිය මවට ඉතාම හොඳින් සලකනවා යයි තමාට ඒත්තු ගියහොත් ලබාදෙන මාසික දීමනාව තවත් වැඩි කරන බව ඔහු ඇයට කීවේ මවට තමාගේ අඩුව නොදැනී හොඳින් සලකනු ඇතැයි සිතාය.


ඇයත් මේ දීමනා කතාවෙන් දිරිමත් වූවාය. සිය නැන්දනියට කවන, පොවන අයුරු පමණක් නොව නාවන අයුරු ද ඇය වීඩියෝ කෝල්වලින් සිය සැමියාට පෙන්නුවාය. මේ සම්බන්ධයෙන් ඔහු සිටියේ භාර්යාව පිළිබඳව දැඩි පැහැදීමකිනි. ලොකු සෙනෙහසෙනි.
කාලය කෙමෙන් ගෙවී ගියේය. ඔහු විදෙස්ගතවී වසරක් ගත විය. ඒ අතරේ ඔහුට සිය රටට ඒමට කෙටි නිවාඩුවක් ලැබුණේය. ඒ අනුව ඔහු ලංකාවට පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. එහෙත් ඔහු ඒක කාටවත්ම නොකීමට වග බලා ගත්තේය. ඒ සිය භාර්යාව පුදුම කරවන්නටය. සර්ප්‍රයිස් කරන්නටය.
ඔහු ලංකාවට ආවේය. දැන් ඔහු නිවසේ ප්‍රධාන දොර ළඟය. දොර වසා ඇත්තේය. නිවසේ ඇතුළේ නෝනා කාටදෝ දොස් කියනවා ඇසුණේය. ඔහු වඩාත්ම සැලකිලිමත් වූවේය. ඒ තමාගේ වියපත් මවටය. මව ඇඳේ දමා තිබූ මළපහ ඉවත් කරමිනි. මොන කරුමයක් ද මේ මම ගෙවන්නේ මේ මළ කරදරේ කවද ද ඉවර වෙන්නේ යයි කියමින් ඇය කෑ මොර දුන්නාය.
පුතාගේ කරේ එල්ලලා රට යවන්න තමයි තිබුණේ. මට හැමදාම මේ ජරාව අතපත ගාන්න පුළුවන් දැයි කියමින් ඇය වියපත් නැන්දම්මාට දෙහි කපන්නේ අල්ලපු නිවෙස්වලටත් ඇසෙන සේය.
 දොර ඉදිරිපිට සිටි ඔහු නිවසේ සීනුව නාදකළේය. ඇය සිතුවේ වෙනදා මේ වෙලාවට පාසල ඇරී නිවසට එන පුතා කියාය. ‘පොඩ්ඩක් ඉඳපං මේ මහා ගෑනි ජරාව දාලා මම අස්කරලා එන්නම්’ යයි ඇය කීවේ වහලයේ සෙවිලි තහඩු හෙල්ලෙන සේය. ඔහුගේ කේන්තිය පාලනය කිරීමට නොහැකි තරම් විය.
ඒ අනුව ඔහු නිවසේ සීනුව නොනවත්වාම නාද කළේය. ඇයගේ ද මළ ඕවර්ය. ‘කවුද යකෝ මේ බෙල් එක කඩන්න හදන්නේ’ යයි කියමින් කෑ මොර දෙමින් නිවසේ දොර හැරියේය. දෙවියනේ සිය සැමියාය.
ඔහු කේන්තියෙන් නිවස තුළට ගිය ආකාරයට සිය සැමියා නිවසට ඇවිත් කාලයක් වන්නට ඇති බවත් තමාගේ ක්‍රියා කලාපය ඔහු අවබෝධ කර ගන්නට ඇති බවත් ඇයට තේරුම් ගියේ දැන් ඉතිං මොකෑ කරන්නේ යයි සිතමිනි.