කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



නිවසේ දී සෙට් වී කන පැලෙන්න බිව් මිතුරා රුපියල් විසිපන්දහසේ පොලිස් දඩයෙන් බේරාගැනීමට මහ රෑ යතුරුපැදියෙන් යාමට නොදී සිය නිවසේ නතර කරගෙන අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව අමුතු කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
එදා රෑ කට්ටියම සෙට්වූවේ කාලයකින් ය. ඔවුහු මිතුරෝ ය. බහුතරය ගමේම ය. එක් අයකු පමණක් දුර ය. ඔහු පැමිණ සිටියේ යතුරු පැදියෙනි. බෝතලයෙන් බෝතලය හිස් වෙමින් තිබිණ. දැන් දැන් කට්ටියටම බඩු ය. නැතහොත් අමරපදම් ය. ගමේ ඈයෝ හිමිහිට හිමිහිට සිය නිවෙස් කරා ගියහ. ඔවුන් නිවෙස් කරා ගොස් තිබුණේ පාද චාරිකාවෙනි. දුර මිතුරාට බඩු වුවත් ඔහුට යතුරුපැදිය පැද යාමේ හැකියාව තිබිණ.


ප්‍රශ්නය නම් එය නොවේ. මහ රෑ බීලා යතුරු පැදියෙන් යන අය කුදලාගෙන යාමට දඩයම් බල්ලන් මෙන් මහ මග රැක සිටින පොලිස් නිලධාරීන් සැදිපැහැදී සිටීම ය. බිලා අහුවුණොත් දඩය රුපියල් විසිපන්දහසකි. අධිකරණයට දැමූ විට නීතීඥ මහතකු නෑල්ලු‍වොත් රිය බලපත මාස දෙකකට අවලංගු ය. නීතීඥයකු මහතකුගේ සහාය ගත්තොත් එය මාස එක හමාරකට අවලංගු ය. ඒ සඳහා නීතීඥයකුට රුපියල් පන්දහසක් පිදිය යුතුය. මේ නිසාම ඔහු කන පැලෙන්න බී සිටි දුර මිතුරාට යතුරු පැදියෙන් යාමට නොදී සිය නිවසේ රඳවා ගත්තේ ය.
නිවස ඇතුළේ කාමරයක දෙමිතුරන්ම එකම ඇඳේ ය. දෙපැත්තේ ය. නිවෙස් හිමි මිතුරා මර නින්දේ ය. දුර මිතුරා කළුවරේම නැගිට්ටේ ය. කාමරයක දොරක හැඬලයක් කරකැව්වේ ය. කවුද ඔය දොර කඩන්න හදන්නේ කාමරය ඇතුළෙන් කාන්තා කට හඬකි. මේ ශබ්දය ඇසී නිවෙස් හිමි මිතුරා ද නැගිට්ටේ ය. නිවසේ ඇතුළේ විදුලි පහන් දැල්විය. දුර මිතුරා සිය භාර්යාව නිදන කාමරයේ දොර ළඟ ය. දෙන්නාගේ වෙරි හිදී ගොසිනි.
මචං මම මුත්‍රා කිරීමට එළියට බහින්නයි කල්පනා කළේ. මම හිතුවේ මේ ඉස්සරහා දොරයි කියල නේ. අනේ සොරි මචං කියමින් දුර මිතුරා නිවෙස් හිමි මිතුරාගෙන් සමාව ඉල්ලුවේ ය. ඔහුගේ කතාව ඇත්තම එකක් ද නැතහොත් වෙන එකක් ද කියා දන්නේ ඔහු පමණි. කෙසේ වෙතත් සිදුවූ දෙයින් විශාල අපහසුවට පත්වූ දුර මිතුරා ඒ වේලාවේම ඔහුගේ නිවසින් පිටව යතුරුපැදියෙන් ගියේ ය. නිවෙස් හිමි මිතුරා ඔහු නවත්වන්න උත්සාහ නොගත්තේ ඇයි ද යන්න ප්‍රශ්නයක්ම වූවේ ය.