මහ රෑ සැමියා ඇතුළු කට්ටියට බයිට් හැදීම නතර කොට අතටත් ගනුදෙනුවක් එන අපූරු උපායක් යෙදූ කතක පිළිබඳ අලු‍ත් කතාවක් අලු‍ත්වලින් අසන්නට ලැබේ.
සැමියා රෑට රෑට සෙට් වීමට පටන් ගත්තේ කාලයක සිටමය. ඔහු සෙට් වූවේ තනිවම නම්  නොවේ. සමකාලීනයන් සමගය. ඔවුහු බෝතල් ගෙන එති. ඔහු කරන්නේ තැන සම්පාදනය කිරීම පමණි. ස්ථානය ඔහුගේ දෙමහල් නිවසේ උඩු මහලේය. බෝතල් රැගෙන එන මිතුරන් බයිට් රැගෙන ඒමට මිල මුදල් දෙන්නේ ඔහුටය. ඔහු ඒ සඳහා කැඳවනුයේ බිරිඳය. බිරිඳ රාත්‍රියේ නගර මධ්‍යයට ගොස් බැදපු රටකජු, තම්බපු කඩල සහ පාන් පිටිවලින් හදපු බයිට් වර්ග ගෙන ඒම කාලයක් තිස්සේම සිදු කළාය.


ඇය මේ පිළිබඳව කොතෙක් දැනුම්වත් කළත් ඔහු සිටියේ නෑසූකන්වය. ඒ අවස්ථාවේ දී ඔලු‍ව සොලවා එය අනුමත කළත් ඊළඟ දිනයේදීත් මේ දේ එලෙසම සිදු වන්නේය. ඇය මේ සඳහා ක්‍රමයක් කල්පනා කළාය. ඇයගේ ටිකිරි මොළයට අදහසක් ආවාය. ඇය එය ක්‍රියාත්මක කළාය. ඇය මේ සඳහා සිය රන් මාලය උකස් කොට මුදලක් ලබා ගත්තාය. එදා රෑත් කට්ටිය සෙට් වූහ. එදා රෑත් ඔහු බයිට් ගෙන ඒම සඳහා බිරිඳ කැඳවීය. ඔහු කියූ සැණින් ඇය කිසිදු පැකිලීමක් නොමැතිව මුදල් ලබා ගත්තාය.
වෙනදා මෙන් නොව සැණින් එසැනින් ඇය බයිට් රැගෙන ආවාය. සැමියාට මෙන්ම කට්ටියටම පුදුමය. මේ තරම් ඉක්මනටම ඇය බයිට් ගෙන ඒම පිළිබඳව ඔහු විතරක් නොව සෙට්වූ කට්ටියම කතා කළහ. ඒ අනුව ඇයට සැමියාගෙන් කැඳවීමක් ලැබුණේය. ඇය සිතුවේ යළිත් බයිට් රැගෙන ඒමට යැයි සිතාය. ඇය වඩාත් සතුටින් ඔවුන්ගේ සම්මුඛයට ආවාය.
කට හඬ අවදි කළේ සැමියාය. කොහොමද මෙච්චර ඉක්මනටම නගර මධ්‍යයට ගිහිල්ලා බයිට් ගේන්නේ යයි ඔහු ඇයගෙන් ඇසුවේය. ඔහු අනුව අනෙක් කට්ටියත් ඒ ප්‍රශ්නයම ඇයගෙන් ඇසූහ. ඇය ඒ සම්බන්ධයෙන් යමක් කීමට මැලි වූවාය. එහෙත් ඇයට ඔහුගෙන් බේරුමක් නැති විය. අවසානයේ දී ඇය කීවේ ඔවුනට අවශ්‍ය බයිට් තොග වශයෙන් මිලදී ගෙන ඒවා සිල්ලරට නගරයේ වෙළෙඳ සල් දෙන මිලට දෙන බවය. සිය නිවසේ වසා තිබූ කාමරයක් විවෘත කොට ඇය පෙන් වූ විට ඔවුනට කාරණය අවබෝධ විය.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත