සැමියා කාර්යාලයට ගෙන යන බෑගයෙන් හිස්කෑම පෙට්ටිය එළියට ගැනීමට ගිය බිරිඳට ඉංග්‍රීසි අකුරු කෙටූ පෙන්ඩනයක් හමු වී මහා ජංජාලයක් ඇතිවීමේ සිද්ධියක් දකුණේ ගමකින් වාර්තා වේ.
එදා ඔහු සිය කාර්යාලයෙන් කෙටි නිවාඩුවක් දමාගෙන පැමිණියේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන හිතවතකු බැලීමටය. ගෙටවත් නොවැදුණු ඔහු සිය භාර්යාවට කන්තෝරු බෑගය දී යතුරුපැදියෙන් රෝහල වෙත ගියේ ඒ වන විටත් රෝගීන් බැලීමට වෙන්කර තිබූ කාලය ඉක්ම යමින් තිබූ නිසාය.
භාර්යාවට මේ වගක් නොකී ඔහු ගියේ හදිසි ගමනක් යනවා යයි පවසමිනි. දනිපනි ගා රෝහලේ වාට්ටුව තුළට ඔහු ඇතුළු වූයේ සිය ජංගම දුරකතනය ද ක්‍රියා විරහිත කරගෙනය. ඒ රෝහලේ නීති පද්ධතිය අනුවය.
මේ අල්ලපනල්ලේ ඔහුගේ භාර්යාව සැමියා කන්තෝරු රැගෙන යන බෑගය ඇවිස්සුවේ හිස් කෑම පෙට්ටිය එළියට ගැනීමටය. ඇයගේ නෙත ගැටුණේ රන් ආභරණ අලෙවි සලකින් මිලදී ගනු ලැබූ පෙට්ටියක් වෙතය. එහි වූයේ රන් පෙන්ඩනයකි. ඉංග්‍රීසි අකුරු දෙකක් ද කොටා තිබිණි. එයින් එක අකුරක් සිය සැමියාගේ නමේ මුල් අකුරවීමත් සමගම ඇයට උන්හිටිතැන් අමතක වූවාය.
සැමියා කාර්යාලයේ කාන්තාවක් සමග අනියම් සබඳතාවක් ගොඩනගාගෙන ඇතැයි එදා සිටම සැක කළ ඇය මෙය ඒ කාන්තාවට දීමට ගෙන ආ එකක් වීමට ඉඩ ඇතැයි සිතුවාය. ඒ මානසිකත්වයෙන් ඒ මොහොතේ සිට ඉවක්බවක් නොමැතිව කටයුතු කළ ඇය මේ සම්බන්ධයෙන් විමසීමට ඔහුට ඇමතුම් ගත්තද දුරකතනය ද විසන්ධිව තිබුණෙන් ඇයගේ සැකය තවත් වැඩි විය.
ඇය සිය දරුවන් දෙදෙනාද සමග ඇඳුම් පැළඳුම් ද රැගෙන ත්‍රිරෝද රථයකින් මහගෙදර ගියේ ආයෙත් නම් මේ වගේ සැමියකු එපා යයි කියමින් අසල්වාසීන්ද ඒ පිළිබඳව දැනුම්වත් කරමිනි. හැඬූ කඳුලින් මහගෙදර ගිය ඇය මේ සම්බන්ධයෙන් සිය සනුහරේම දැනුම්වත් කළේ සිය සැමියාගේ රෙදි ගලවමිනි.
අවේලාවේ දොර ජනෙල් වසා දමා නිවසේ කිසිවකු නොසිටි බැවින් ඔහු සිය භාර්යාවට ඇමතුමක් ගත්තේය. තමුසේ වගේ නොහොබිනා මිනිහෙක් එක්ක මම ආයෙත් දීග කන්න එන්නේ නැහැ. කාටද ඕයි අර මාල පෙත්ත දෙන්න හංගගෙන හිටියේ. අද මට තමුසෙගේ හොරේ අහුවුණා. තමුසෙට පේන්නේ නැහැ මම වැරහැලි ඇඳගෙන ඉන්න හැටි.’ සිදුවී ඇති දේ ඔහුට තේරුම් ගියේ ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවා ගැනීමට දැන් බැරි යයි සිතමිනි.
භාර්යාවට ඇති තරම් ආඩපාලි කියන්න ඉඩ දුන් ඔහු භාර්යාව අමතා කීවේ හෙට අපේ කන්තෝරුවේ නෝනා කෙනකුගේ උපන් දිනයක්. ඇය හෙට අපිට දවල් කෑම වේලක් දෙනවා. ඒකට හිලව් වෙන්න කාර්යාලයේ අය සල්ලි එකතු කරලා මාල පෙත්තක් ගත්තා හෙට දෙන්න. මම අනිවාර්යයෙන්ම හෙට වැඩට යන නිසාත් කාර්යාලයට ළඟ නිසාත් මට ඒක ගෙදර ගෙනියන්න දුන්නා’ යැයි සැමියා කී විට සිදුව ඇති දේ ඇය තේරුම් ගත්තාය.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සැමියාගේ කන්තෝරු බෑගයෙන් බිරිඳට රන් පෙන්ඩනයක් අසුවී වලියක් ඇරැඹිලා