කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
දියණියගේ විවාහ උත්සවයට පිටරට සිට පැමිණි භාර්යාව එම උත්සවයට සිය සැමියා බටහිර පන්නයට හැඩ ගන්වා සහභාගී කරවීමට ගොස් අලි ජංජාලයක් කරගත් කතාවක් ඇසෙන්නේ කුරුඳුවලට ප්‍රසිද්ධ ගමකිනි.
මහ උන්දෑ කළේ කුරුඳු වතු උදුළු ගෑම වැනි කම්කරු රැකියාවක්ය. එයින් එන ආදායම තුන් පවුල් ජීවිතය ගෙන යෑමට කෙසේවත් ප්‍රමාණවත් නොවීය. ඒ නිසාම ඔහුගේ භාර්යාව මැද පෙරදිග රැකියාවකට යාමට තීරණය කළාය. ඔහුට භාර්යාව සමග එකඟවීම හැර අන් විකල්පයක් නොවූවේය. එහෙයින් මහ උන්දෑ අකමැත්තෙන් වුවත් සිය භාර්යාවට රට යාමට ඉඩදී ඔහු මෙරට සිටියේය. ඒ එකම දියණිය ද රැක බලාගෙනය.
වාසනාවකට ඔහුගේ ඇඹේනියට පිටරට රැකියාවට ලැබුණු තැන ඉතා හොඳය. හොඳ පහසුකම් සහිත හොඳ වැටුපක් ද ඇයට ලැබුණේය. ඒ අනුව ඇය වසරක් දෙකක් ගත වෙන්නටත් මත්තෙන් රට යාමට උකසට තැබූ ගේ ඉඩම සින්නවීමට නොදී බේරා ගත්තාය. ණය තුරුස් ද එකින් එකම ගෙවා දැම්මාය. එහේ වැටුණු රස ආහාර පාන නිසා ඇයද අවුරුද්දෙන් දෙකෙන් ඇහැට කනට පේන ලියක් වූවාය.
වසර තුන හතරක් යන විට ඇය අලුත් නිවහනක්ද ඉදිකිරීමට සමත් වූවාය. ඇයගේ දියණිය ද දැන් දීගතල දෙන වයසේ පසුවූවාය. දියණියට විවාහයට කතා කර ගෙන තිබුණේ දුර බැහැර පෙදෙසක කඩවසම් තරුණයෙකි. ඒ සඳහා පාදකවූවේ ඇයගේ රට සල්ලිය. තමාගේ වෙන්ඩ බෑනාගේ පියා ජේත්තුවට කලිසම් අඳින අයෙකි. වෙන්ඩ බෑනාගේ සනුහරේ පිරිමි අයද සියල්ලෝම කලිසම් කාරයෝය. එහෙත් තමාගේ සැමියා තවමත් සරම කමීසයය. ඇයට මෙය මහත් මදිකමක් වූවාය.
ඇය පිටරට සිට සිය රටට මෙවර පා තැබුවේ දියණියගේ විවාහ උත්සවය කර දීමටය. ඇය එන විට පිටරටින් එවූ ඩොලර්වලට පිං සිදුවන්නට දැන් සියල්ලම සූදානම්ය. කළ යුතුව තිබුණේ නැකතට විවාහ මංගලයයට සහභාගී වීමටය.
ඊට සැමියාට මෙන්ම තමාට අවැසි ඇඳුම් පැලඳුම් සියල්ලම ඇය රැගෙන පැමිණියේ පිට රටිනි. මෙතෙක් කලක් සරම ඇන්ද සැමියාට ඇය දිගු කලිසමක් ගෙනත් තිබුණාය. සැමියා එය ඇඳීම ප්‍රතික්ෂේප කළේ භාර්යාව සමග රණ්ඩු සරුවල් ද වෙමිනි. එහෙත් ඇය සිය උත්සාහය ඇත නෑරියාය.
දුවගේ නම්බුව ආරක්ෂා කිරීමට නම් ඇයගේ විවාහ උත්සවයට දිගු කලිසම ඇදිය යුතු බවද ඇය සැමියාට දන්වා සිටියාය.
විවාහ මංගලෝත්සවය දිනය උදාවිය. එය පැවති හෝටලයට යාමට ඇය දියණිය ඇතුළු ඥාතීන් එදින උදේ යුහුසුලුව ලැහැස්ති වුණත් මහ උන්දෑ ගෙදර නොසිටියේය. සැම දෙනාටම මහත් ප්‍රශ්නයකි. මෙතරම් වැදගත් දිනයක දී පියා නිවසින් යාමට හේතුව කුමක්දැයි ඥාතීහු සෙවූහ. පිටරට සිට පැමිණි ඇය පිට රටින් ගෙනා පැත්තක තිබූ දිග කලිසම දිහා හොරෙන් හොරෙන් බලන විට ඔහු නිවසින් යෑමට හේතුව ඥාතීන්ගේ මනසට පැමිණියේ ඒ සම්බන්ධයෙන් ඇය ඔවුන් දැනුම්වත් කිරීමටත් පෙරය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd