කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
නෝනයි දරුවනුයි පුදුම කරවන්න නොකියාම රට ඉඳන් ආ අයකුට පුදුම වෙන්න සිදුවූ අපූරු පුවතක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
ආර්ථික අහේනියෙන් මිදෙන්න රට ගිය අයෙකි. දරු තිදෙනෙකි. භාර්යාව දරු තිදෙනා හොඳින් රැකබලා ගත්තාය. සැමියා රට ඉඳන් එවන මුදල් ඇය අරපිරිමැස්මෙන් වියපැහැදම් කළාය. ඒ නිසාම නිවස වටේ තාප්පයක් බැඳ ගේට්ටුවක්ද දමා ගැනීමට මේ කත සමත්වූවාය.
මේ සම්බන්ධයෙන් විදෙස්ගත සැමියා සිටියේ කියාගන්න බැරි තරම් සතුටිනි. මීට සමගාමීව ඇය දරු තිදෙනාටම හොඳින් ඉගැන්නුවාය. මේ ගැන සිත සිතා සතුටින් සිටි ඔහු වසර කිහිපයක්ම එක දිගට ඒ රටේම සිටියේය. සිය රටට යාමට කෙටි නිවාඩුවක් ලැබුණේ මේ අතරය.
තමාට ලංකාවට යෑමට ලැබුණු කෙටි නිවාඩුව ගැන ඔහු සිය භාර්යාව ඇතුළු දූදරුවන්ට නොදැන්වීමට වග බලා ගත්තේය. එයට ප්‍රධාන හේතුවක් තිබුණේය. ඒ නිවැසියන් පුදුම කරවන්නටය. ඒ අනුව ඔහු ලංකාවට ආවේය. ඒ රෑබෝවීය. නිවසේ ගේට්ටුව වසා තිබිණ.
වාහනයෙන් බැස ඔහු ගේට්ටුව ඇරියේය. ඒ සමගම මහ හඩින් බුරා ගෙන පැමිණි බලු තඩියෙක් ඔහුව බිම පෙරළාගෙන හපාගෙන හපාගෙන ගියේය. මේ ශබ්දයට භාර්යාව දරු තිදෙනා සමග මිදුලට පැමිණියහ.
දෙයියනේ මේ තමාගේ සැමියානේ. බල්ලා අල්ලා ගන්නා විටත් බලු තඩියා ඔහුගේ කිහිප පොළක්ම සපා කා තිබුණි. ‘මොකද කියන්නේ නැතිව ආවේ’ යයි භාර්යාව ඔහුගෙන් විමසූවිට ඔහු කීවේ ‘ගෙදර අය පුදුම කරන්නට’ මෙසේ පැමිණි බවය. ‘අපිත් මේ බල්ලා ඔයාට හොරෙන් ගෙනැල්ලා ඇති කරේ ඔයාව පුදුම කරවන්න’ යයි ඇය කීවාය.
අම්මලා තාත්තලාගේ පුදුම කිරීමෙන් වූ අලකලංචියෙන් දරුවන් ඇතුළු නෑයන් බඩ අල්ලාගෙන සිනාසුනා ලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd