කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



 නිවසේ පුරුද්ද දන්සලට දාන්න ගොස් දන්සල් සංවිධායක කොල්ලන්, කෙල්ලන්ගෙන් අම්බානකට තැලු‍ම් කෑ අයකු පිළිබඳව කතා බහක් ගාලු‍ දිසාවේ ග්‍රාමීය ප්‍රදේශයකින් අසන්නට ලැබේ.
මිනිහා සුදුවා මරුවාය. රට බඩු ගැන සොයන්නේම නැති තරම්ය. ඒ කරුණු කාරණා කිහිපයක්ම නිසාය. එකක් ආර්ථික ශක්තියය. අනෙක ඒවාගේ කරන්ට් එක මදිවීමය. නගරයට යෑමට සිදුවීම ද තවත් හේතුවක්ය. සුදුවා ගමෙන්ම සොයා ගැනීමට හැකි නිසා ඔහු සුදුවාට හුරුවුණේය. ඊට ඇබ්බැහි වුණේය. කතාව නම් එය නොවේ. 
සුදුවා ගත් දාට නිවසේ අඩදබරය. වැඩිමනත්ම රාත්‍රි ආහාරයට යෑමේදීය. කෑම රස නැතැයි, ලු‍ණු මදි යයි කියමින් ඔහු භාර්යාවට දෙස්දෙවොල් තිබ්බේය. තඩි බෑවේය. එතැනින් නොනැවතී කෑම පිඟානයෙන් නෝනාට ගැසූ වාර අනන්තය. ඇය පිඟන් පහර කාගෙනම ඉඳුල් නාගෙන සිටියත් ඔහුට එරෙහිව නොගියේ ඔහු හැර එල්ලෙන්න වෙනත් අත්තක් නොතිබුණු නිසාය.


එදා පස්වරුවේදී සුදුවා අරගෙන නිවසට එන අතරමග දන්සලකි. සව් දන්සලකි. එය සංවිධානය කොට තිබුණේ ගමේම කොල්ලන් කෙල්ලන්ය. මිනිහට දැන් සුදුවා වැඩ කර ගෙන එමින්ය. එන අතරමග සව් දන්සලට හොට දැම්මේ සව් එකක් බීමට නම් නොවේ. සුදුවා ගත් ඔහුට පැණි රස අරහංය. නිකමට උනත් සව් දන්සලට හොට දැම්ම නිසා ඔහුට ද කෙල්ලෝ කොල්ලෝ සව් එකක් ඇල්ලූහ. ඔහුද එය අතට ගත්තේය. තොලට ළං කළේය.
මොනවද යකෝ මේ. මේවා සව්ද. කෝ මේකට වේලිච්ච මිදි දාලා. තොපි ගමෙන්ම සල්ලි එකතු කරලා ලාවට සව් දීලා ගාණක් සාක්කුවට දාගත්තා නේදැයි කියමින් එතන ගෝරිය. එයින් නොනැවතුන හේ සව් එක අල්ලලා විසි කළේය. ඔහුගේ කර්මයට එය ඇඟ ගැටුණේ සංවිධායක කෙල්ලකුගේ ගවුමටය. කොල්ලෝ කෙල්ලෝ දෙවරක්ම නොසිතුහ. ඔවුහු සව් බෙදීම පැත්තක තියා ඔහුට බෙදීමටත් නෙලීමටත් පටන් ගත්හ.
 බුදු අම්මෝ මෙන්න මිනී මරනවෝයි කියමින් ඔහු කෑගැසුවේය. ගමේ වැඩිහිටි කිහිපදෙනකු එතනට නොඑන්න ඔහුට සිදු වනුයේ කොල්ලන්, කෙල්ලන්ගෙන් තැලු‍ම් කා රෝහලේ ලගින්නටය. එසේත් නැත්නම් වෙද ගෙදර දුවන්නටය. වෙරි හිඳුණේය. බැරි බැරි ගාතේ දිව ගියේ නැත්නම් වෙනදේ ඉවෙන් මෙන් වටහාගෙනය.