කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත



තමා අන්දන්න ගිය එළවළු මුදලාලි කෙනකුට ඇපත් නැති කළ සුද්දකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
සුද්දා ජර්මන් ජාතිකයෙකි. ලංකාවට ආදරය කරන්නෙකි. ඒ නිසාම ඔහු ලංකාවට අවස්ථා කිහිපයකදීම ආවා ගියාය. ඒ ඉස්සරය. දැන් ඔහු බින්න බැස ඇත්තේ ලංකාවේමය. ගමකය. ඒ ඔහුගේ සුදු හාමිනේ සමගය. මේ සුදු දෙන්න දෙමහල්ලන් කෑවේ බිව්වේ උයා පිහාගෙනය.


මෙසේ ජීවිකාව ගෙන යන අතරේ සිය මෝටර් රථයෙන් ගමනක් බිමනක් ගොස් එන අතරේ නගරයේ තිබූ එළවළු වෙළඳ සලක් ඉදිරියේ සිය මෝටර් රථය නතර කළේය. ඒ පරිභෝජනයට අවශ්‍ය එළවළු ටිකක් මිලදී ගැනීමටය. මෙය දුටු එළවළු වෙළඳසල් හිමියාගේ සතුට නිම්හිම් නැති විය. ඒ සුද්දාගෙන් ගානක් කපා සිය මඩිය තරකර ගත හැකි යයි සිතූ නිසාය.
සුද්දා පෙන්නූ එළවළු මුදලාලි කිර කිරා බේසමකට දැම්මේය. හව් මච් යයි කියමින් සුද්දා මුදලාලිගෙන් එළවළුවල මිල ඇසුවේය. මුදලාලි එළවළු මිල කොළයක ලියා සුද්දාට පෙන්නුවේය. එළවළු මිල දුටු සුද්දාගේ ඇස් උඩ ගියේය. සුද්දා එම බිලත් රැගෙන ගියේ වෙළඳසලේ ගසා තිබූ එළවළු මිල සඳහන් මිල දර්ශනය වෙතය. බිලේ හා මිල දර්ශනයේ සඳහන් එළවළු මිල සුද්දා මුදලාලිට කීවේ අමු සිංහලෙනි.
ඒ එක්කම තමා සුද්දාට දුන් සෑම එළවළුවක්ම මිල දෙගුණයක් කළ බව සුද්දා දැනගත් බව අවබෝධකර ගත් මුදලාලිට පොළව පලාගෙන යන්න තරම් ලජ්ජාවක් ඇති විය. නියම මිලට එළවළු සුද්දාට මුදලාලි දුන්නේ මූනම් අමු සිංහල සුද්දෙක් නේ කියමින්ලු‍.