IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සිඟිත්තියක් මට්ටු කළාට නැන්දම්මා ලේලියට යුද ප්‍රකාශ කරලා

වයස අවුරුදු තුනක දියණියට සිය මව විසින් අතින් පහරක් එල්ල කළා යැයි උරණ වූ මිත්තනිය ලේලියට කොසු මිට කැඩෙනතුරු පහර දීමෙන් ලේලිය රෝහලේ ද මිත්තනිය කූඩු කර ඇතැයි ද කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි.


වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.


කෑගල්ල නගරයේ සිට තරමක් දුරින් පිහිටා ඇති ගම්මානයකි. මෙම ගම්මානයේ වයෝවෘද්ධ යුවළක් බාල පිරිමි දරුවා මීට වසර 10 කට පමණ ඉහතදී ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ තරුණියක් විවාහ කරගෙන කෑගල්ලේ නිවසට කැන්දාගෙන පැමිණියාය. මෙම පිරිමි දරුවා බර වාහන රියැදුරෙකි. ලේලිය ද පසු කලක සිට කෑගල්ල ප්‍රදේශයේ ඇගළුම් ආයතනයක ඇඳුම් මසන්නියක් ලෙස සේවයට ආව ගියාය. ඔවුන් දෙදෙනාට දැනට ගැහැණු දරුවන්ම දෙදෙනෙකි. වැඩිමහල් ගැහැණු දරුවා ප්‍රදේශයේ පාසලක දෙවැනි පංතියේ ඉගනුම ලබන්නීය. දෙවැනි ගැහැණු දරුවාගේ යාන්තම් වයස අවුරුදු තුනකි.


මෙම වයෝවෘද්ධ යුවළගේ බාල පිරිමි දරුවා සෑම දිනකම අලු‍යම රියදුරු රැකියාවට නිවසින් පිටව යයි. ලේලිය ද පාන්දර අවදි වී කෑම උයා පිහා තබා පාසල් යන දියණියගේ ඇඳුම් ද සූදානම් කර අලු‍යම 6 ට පමණ ඇය ද ඇගළුම් ආයතනයේ රැකියාවට පිටව යන්නීය.
පිරිමි දරුවා හා ලේලිය පාන්දර රැකියාවල්වලට නිවසින් පිටව ගියාට පසුව ඔවුන්ගේ පාසල් යන දරුවා මූණසෝදා කවා පොවා ඇඳුම් අන්දවා මිත්තනිය විසින් සූදානම් කිරීමෙන් පසුව පාසලට ඇරලවන්නේ සීයා විසින්ය. පාසල නිමා වීමෙන් පසුව යලි මිනිපිරිය රැගෙන ඒමට වයෝවෘද්ධ යුවලගෙන් කෙනෙක් ද යන්නේය.


තරුණ යුවළ රැකීරක්ෂාවලට ගොස් සවස හත අට වෙන විට නිවසට පැමිණෙති. ඇතැම් දිනවලදී කළුවර වැටුණු අවස්ථාවක ලේලිය රැගෙන ඒමට මාමණ්ඩිය හෝ නැන්දම්මා පාරට යන්නේය. මව්පියන් රාත්‍රියට පැමිණිය ද ගැහැණු දරුවන් දෙදෙනා මව්පියන් අසලට නොයන අතර රැගෙන එන දෙයක් කා සුපුරුදු පරදි ඔවුන් දෙදෙනා වසර ගණනාවක සිට හුරු වී ඇති පරිදි මිත්තනිය අසලට යන්නේය. වැඩිමහල් දියණිය රාත්‍රියට මිත්තනිය අසලට වී නිදා ගන්නේය. වයස අවුරුදු තුනක දැරිය මිත්තනිය විසින් කකුල් දෙක මත තබාගෙන කවි ගායනා කර නිදි කරවා ඇයත් අසලින්ම දරු දෙදෙනා දෙපැත්තෙන් තබාගෙන නින්දට වැටෙන බව අනාවරණය වෙයි.


දැරියන් දෙදෙනාගේ මවට ඉකුත් ඉරිදා නිවාඩු දිනයක් විය. පෙරවරුවේ ඇය අධික වර්ෂාපතනය මධ්‍යයේ රෙදි පෙරදී සේදීමට හිස ආවරණය කරගෙන නිවස පිටුපස වතුර ටැංකියට ගියේය. වයස අවුරුදු තුනක දැරිය ද තෙමි තෙමී රෙදි පෙරදී සෝදමින් සිටි මව ළඟට දිව ගොස් කුඩා ප්ලාස්ටික් බාල්දියෙන් වතුර ටැංකියෙන් වතුර ගැනීමට ගියාය. වැස්ස පේන්නේ නැද්ද තෙමිලා උණ හෙම්බිරිස්සාව සෑදෙයි ගෙට යන්න යැයි පවසා තරුණ මව විසින් අතින් දැරියට පහරක් දී නිවසට යැවීමට කටයුතු කර ඇත. පසුව දැරිය හඬාගෙන අම්මා ගැහුවා යැයි පවසා මිත්තනියට ගොස් කීවාය.


“ඇයි කෙල්ලට ගැහුවේ මම දවල් තිස්සේම බලා හදා ගන්නවා එකක්වත් ගහන්නේ නෑ යැයි දොස් පැවරුවාය.


“අම්මා එහෙම හදන හින්දා තමයි දරුවන් දෙන්නා හොඳටම මුරණ්ඩු වෙලා ඉන්නේ අම්මයි තාත්තයි කියන දෙයක් පොඩි දුව අහන්නෙම නෑ නැන්දම්මා ලේලිය අතර වචන හුවමාරුවක් සිදුව නිවස තුළ ගිනි ගන්නට විය.


දැන් හොඳටම ඇති දෙන්නම කටවල් වහ ගනිල්ලා”‍ නැන්දම්මාගේ හා ලේලියගේ වචන හුවමාරුව නතර කිරීමට මැදිහත් වී දැරියන් දෙදෙනාගේ 76 හැවිරිදි සීයා පැවසීය.


අවසානයේ දෙන්නාගේ කටවල් වැහුණේ ද නැත. නැන්දම්මා නිවසේ තිබුණු කොස්ස ගෙන ලේලියට පහරවල් කිහිපයක් එල්ල කළාය. එහිදී කොස්ස දෙකට කැඩුණි. ලේලිය ද ප්‍රති ප්‍රහාර දීමට පසු බට වූයේ නැත. නැන්දම්මා අත ඉතිරිව තිබුණු කොසු මිට කැබැල්ල උදුරාගෙන නැන්දම්මාට එල්ල කිරීමට ගිය අවස්ථාවේ මැදට ගිය වයෝවෘද්ධ පුද්ගලයාට ද කොසු පහරක් වැදුණි. පසුව ලේලිය ඇඳුම් සේදීම පසෙකලා රෝහලට ගොස් තැලීම් තුවාලවලට නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට නතර වූවාය. පසුව සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලය පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව පොලිසිය විසින් අදාල නිවසට ගොස් නැන්දම්මා අත්අඩංගුවට ගෙන රැගෙන පැමිණ ප්‍රකාශයක් ලබා ගෙන පොලිස් ඇපයක් මත නිදහස් කර යලි විමර්ශනයක් සිදු කිරීමට ඉදිරි දිනක පොලිසියට පැමිණෙන ලෙස දන්වා කාන්තාව ආපසු නිවස කරා යවා ඇති බව වාර්තා වෙයි.

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න

 



අදහස් (0)

සිඟිත්තියක් මට්ටු කළාට නැන්දම්මා ලේලියට යුද ප්‍රකාශ කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site