කරුවලගස්වැව - ජයරත්න වික්‍රමාරච්චි



ජංගම දුරකතනයට ඇබ්බැහි වූ තම බිරිය වැසිකිළියට ගොස් සැලකිය යුතු වේලාවක් එහි ගත කිරීම නිසා කෝපයට පත් සැමියා ඇය වැසිකිළියෙන් පිටතට පැමිණි පසු ඇගේ අත තිබූ දුරකතනය උදුරා පොළොවේ ගසා අනතුරුව මුළුතැන්ගේ හැළි වළං ද පොළොවේ ගසා ඇතැයි කියන පුවතක් සතරකෝරළේ ගමකින් පසුගියදා වාර්තා විය.
කුකුළු කේන්ති කාරයකුද බව පැවසෙන අදාළ පුද්ගලයා එසේ හැසිරී ඇත්තේ ඔහුට ද එම අවස්ථාවේදී වැසිකිළි යාමේ අවශ්‍යතාව තදින් ඇතිවී තිබීමත් සහ බිරිය සිය මූලික අවශ්‍යතාව ඉටුකර ගන්නවාට අමතරව හෝ එසේ නැත්නම් ඒ මුවාවෙන් වැසිකිළියට වී ජංගම දුරකතනය කොටමින් මුහුණුපොතේ පිටු පෙරළමින් සිටිනවා විය හැකි බවට ඇතිවූ සැකය නිසා බවද මේ පිළිබඳව ආරංචිය කන වැකී ඒ ගැන විමසූ මිතුරකුට ඔහු පවසා ඇති බවත් මෙහිදී අනාවරණ විය.


“ඇයි බං ඉතින් අපේ ගෙවල්වල ඇතුළෙ එකයි පිට එකයි කියල නෑනෙ. කෝකටත් තියෙන්නෙ එක ටොයිලට් එකයි. මේ ගෑනි ටොයිලට් යද්දි ෆෝන් එකත් අරන් යන්නේ. ඒ ගිහින් ගිය වැඩේ කරනවද ෆෝන් එකට කොට කොටා ඉන්නවද දන්නෑ. පැයක් විතර ඒක ඇතුළට වෙලා ඉන්නවා. එතකොට කොහොමද බං ගෙදර තව කාට හරි හදිස්සියක් වුණාම ටොයිලට් එකට යන්නෙ. දවස් කීපයක්ම හොඳින් කීවත් ගණන් ගත්තෙ නෑ. මටත් එදා හොඳටම තද වෙලයි හිටියෙ.” යැයි ද ඔහු මිතුරාට ඒ ගැන වැඩිදුරටත් පවසා ඇති බවද කියයි.
කෙසේ වෙතත් එම සිද්ධියෙන් රුපියල් තිස් හතළිස් දහසක පමණ මූල්‍ය පාඩුවක් ද ඔවුන්ට සිදුවී ඇති බවත් එසේ වුවද පාසල් යන දරුවන් දෙදෙනාගේ අවශ්‍යතාව ගැන සලකා නැවතත් අලු‍ත්ම ජංගම දුරකතනයක් මිලදී ගෙනවිත් බිරිඳට තෑගි දීමෙන් පසුව දැන් දෙදෙනාම පෙර වැරදි යටපත් කරගෙන සමගියෙන් ජීවත්වෙන බවත් පැවසේ.