විදේශගතව සිටි අයෙකු විසින් ගෙනෙන ලද රටබීම බෝතලයක් මිලදීගත් පිරිසකට එය පානය කරන්නට ගොස් සිදුවූ අලකලංචියක් ගැන අමුතුම තාලේ තොරතුරක් පසුගියදා දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් වාර්තා විය.
පාසල් වියේ සිටම යහළුකම් පවත්වන මිතුරන් තිදෙනෙකි. මේ මිතුරු සමාගමේ ප්‍රධානියා කුරුඳු ගම්මිරිස් ඇතුළු කුළුබඩු එකතු කරන අතමිට සරු අයෙකි. තවකෙක් වෑන් රථයක් හිමි දේශීය විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කරන්නෙකි. අනිකා පෞද්ගලික ආයතනයක අලෙවි නියෝජිතයෙකි. මංගල උත්සවයකට ගියත් අවමංගල උත්සවයකට ගියත් මේ තිදෙනා යන්නේ එන්නේද එකටය. තිදෙනාගේ යහළුකම පිළිබඳව ද ප්‍රදේශයේ බොහෝ දෙනා දැන සිටියහ.
විදෙස් රටක සිට පැමිණී තැනැත්තකු විසින් ගෙනෙන ලද විදේශීය මත්පැන් බෝතලයක් අලෙවි කිරීමට ඇති බවට ඔත්තුව ලැබී ඇත්තේ කුරුඳු බිස්නස් කරන යහළුවාටය. එහි වටිනාකමින් දෙකෙන් පංගුවක් තමා ගෙවන බව පවසා ඉතුරු කොටසේ බරපැන මිතුරන් දෙදෙනා දරන්නේ නම් එය මිලදී ගැනීමට හැකි බව පවසා ඇත. මිතුරන් දෙදෙනා ද එක පයින් කැමැත්ත ප්‍රකාශ කිරීම නිසා රුපියල් විසි දහසක් ගෙවා රටබීම බෝතලය ඔවුහු සතුකර ගත්හ.
පසු දිනෙක තිදෙනා එකතුව මධුපානය සඳහා පහසුකම් සපයන අවන් හලකට ගොස් ඒ සඳහා අවශ්‍ය කරන අනෙකුත් අඩුම කුඩුමද සම්පාදනය කරගෙන රට බීමේ රස විඳීමට සූදානම් විය.
වැඩි බරපැන දැරූ මිතුරා විසින් කිරළ මූඩියකින් වසා සීල් කර තිබුණු බෝතලය විවර කර තිදෙනාගෙම වීදුරුවලට එහි පළමු වඩිය වක් කළේය. තිදෙනාම ‘‘චියර්ස්” කියා වීදුරු එකට හප්පා උගුරට හලා ගත්තත් එහි එතරම් සැර ගතියක් තිබී නැත. ඔය සමහර රට බීම වර්ග ‘‘තැපෑලෙන් වදිනවා ”යැයි විශ්වාසයක් තියෙන නිසා මතු බලාපොරොත්තු සහිතව ඔවුහු සම්පූර්ණ බෝතලම හිස් කළෝය. ඒත් ඔවුන් බලාපොරොත්තු වූ කිසිම සංතර්ණයක් නම් දැනී නැත. බලාපොරොත්තු සුන් වූ ඔවුන් පසුව අවන්හල මාර්ගයෙන් දේශීය පානයක් ගෙන්වාගෙන යන්තම් සිතේ දුක නිවාගෙන ඇත.
ඔවුන් එම ස්ථානයෙන් පිටත්වීමට සූදානම් වූ අවස්ථාවේ මිතුරකුද පැමිණියේය. එහිදී ඔවුහු තමන් පානය කළ විදෙස් මත්පැන් බෝතලය ගැන මිතුරා සමග ද පවසා සිටියහ. මිතුරා විසින් අර හිස්කළ විදේශීය මත්පැන් බෝතලය ගෙන එහි ඉංග්‍රීසියෙන් සඳහන් වූ වැකි කියවා බලා සිනාසෙමින් වෙච්චි සංගදිය පැහැදිලි කළේය. ඔවුන් පානයකර ඇත්තේ මත්පැන් බෝතලය සමග දෙන එහි සැර අඩුකරන ‘‘ෂැන්ඩි” බෝතලයකි.
එම වර්ගයේ මත්පැන් බෝතලයක් මිලදී ගන්නන්ට ඒ සමගම මෙවැනි බෝතලයක් ද නොමිලේ ලැබෙන බව මිතුරා පවසා ඇත. මෙම බීම වර්ගය නම් බවුසරයක් බිව්වත් බලාපොරොත්තු ඉටු නොවන බව ද ඔහු පෙන්වාදී ඇත.
රුපියල් විසි දහසක් ගෙවා වතුර බෝතලයක් මිලට ගෙන පානය කළ මිතුරන් තිදෙනාගේ කතාව අර මිතුරාගේ මාර්ගයෙන් හා අවන්හල මාර්ගයෙන් ප්‍රදේශය පුරා පැතිරී ගොස් ඇති අතර දැන් මේ යාළුවො තුන් දෙනා ‘‘විස්කි” කියන නම අසන්නටවත් කැමති නැතිබව තතු දන්නෝ පවසති.
පෝද්දල සරත් ආනන්ද ගමගේ
COMMENTS