එක් මිතුරකුගේ වෙස් මාරුවක් නිසා අනෙක් මිතුරාට ඔහු හඳුනා ගැනීමට නොහැකිව වෙන්නට ගිය අකරතැබ්බයකින් මිතුරන් දෙදෙනාම ගැලවූ සිදුවීමක් දුම්බර පහතට වැටෙන කොට්ඨාසයකින් වාර්තා වෙයි.
මහනුවර ප්‍රදේශයේ මහජන සේවා සපයන ආයතනයක සේවය කරනු ලබන ජනප්‍රිය චරිතයක් වන 55 හැවිරිදි මොහුගේ හිස කෙස් සුදු පැහැයෙන් වැළකීම සඳහා නිතර වර්ණාලේප ගන්වන අයෙකි.
දිනක් මොහුට එම වර්ණාලේප ගැන්වීමේදී ඇති වූ සංකූලතාවක් නිසා එදිනෙන් පසු එම වර්ණ ගැන්වීම නතර කළ අතර කොණ්ඩය කොටට කපා දැමීමට තීරණය කළේය. දැන් ඔහුගේ කොණ්ඩය සුදුම සුදුපාටය. කිසිවකුට ඔහු හඳුනාගන්නට නොහැකි තරම් ස්වරූපය වෙනස් වී තිබේ.
ඒ බව ඔහුට වැටහුණේ තම ආයතන ප්‍රධානියා සහ හිතවතුන් පවා වෙනදා ඔහු දුටු විට යමක් පවසා සිනාසුනත් මෙම වෙනසෙන් පසු ඔහු හඳුනාගැනීමට ඔවුනට විනාඩි කීපයක් ගතවීම හේතුවෙනි. වෙනස හඳුනාගැනීමෙන් පසු ඔවුන්ගේ මුවින් වෙනදට වඩා වැඩි සිනහවක් ඔහුට ලැබුණේ ඔච්චමට මෙනි.
මේ වෙනස නිසා තම කලණ මිතුරා දැඩි අපහසුතාවට පත් වුණේ මේ අහඹු වෙනස්වීම හේතුවෙනි. මාස දෙක තුනකින් හමු නොවුණු මිතුරකුගෙන් දිනක් ලැබුණු ඇමතුමකින් පැවසුණේ තමන් මහියංගණ ප්‍රදේශයේ කිසියම් අවශ්‍යතාවකට හෙට උදේ යන නිසා තමන් සමඟ එම ගමනට යන්නට එන ලෙස මිතුරාට ආරාධනයක් ද කරමිනි.
එම යන ගමනේ දී කාර්මික දෝෂයකට ලක්වී තිබෙන පරිගණක යන්ත්‍රය ද මහියංගණයට රැගෙන ගොස් එය සකස් කර ගැනීමට හැකිවෙන හෙයින් මිතුරා සඳහන් කළ දින එකී වේලාවට ඔහු මහියංගණයට යෑමට සූදානම්ව සිටියේය. නියමිත වේලාවට මිතුරා මෝටර් රියෙන් අදාළ ස්ථානයට පැමිණ ඇති බවට දුරකතන ඇමතුමකින් දැනුම් දුන්නේ ඒ වනවිට ඔහු මාර්ගයට පැමිණ නොසිටි නිසාය.
හිතවතා පැමිණෙන තුරු සින්දුවක් ඇසීම සඳහා ගුවන් විදුලි යන්ත්‍රය පණගන්වා එය ශ්‍රවණය කරමින් සිටින අතර හිතවතා එන මාර්ගය දෙසට නෙත් යොමු කළේ ඔහු පැමිණෙනවා දැයි බැලීමටය. කිසියම් අයකු යම් බරක් වැනි දෙයක් රැගෙන දෑතින් පපුවට තුරුළු කරගෙන තම මෝටර් රථය දෙසට එන අයුරු මිතුරාගේ දසුනට හසුවිය. එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවුණේ ඒ තම හිතවතා නොවන හෙයිනි.
ගතවූයේ විනාඩි කිපයකි. මෝටර් රථයේ පිටුපස දොර කිසියම් අයෙකු අවසරයකින් තොරව විවෘත කරන අයුරු දැණුනි. වහා එම දෙස බැලීමේදී ඔහුට දැක ගත හැකි වූයේ බරක් වැනි යමක් රැගෙන ආ පුද්ගලයා රැගෙන ආ දේ විමසිමකින් තොරවම එම භාණ්ඩය ආසනයේ තබන අයුරුත් නැවත වාහනයේ දොර වසා වාහනයේ වම් පස ඉදිරි දොර විවෘත කර වාහනයට නැග ගත් අයුරුත්ය. මෙය පුදුම සහගත දෙයකි.
නාඳුනන පුද්ගලයකු මෙසේ ක්‍රියා කිරීම පිළිබඳව උරණවූ ඔහු “මොනවද මේ තමුසේ කරන්නේ. මේක තමුසෙගෙ වාහනයද වාහනයෙන් ඇදලා දාන්න කලින් වහාම බහිනවා. ඒත් වාහනයට නැගී අමුත්තා කිසිවක් කතා නොකළේය. නිහඬව සිටියේය. හිතවතාට කාරණය වැටහුණි. ඔහු මිතුරා දෙස නොබලා දෑතින් මුහුණ වසාගෙන බිම බලා ගෙන සිටියේය. ආගන්තුකයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවූ කල රියදුරු අසුනෙන් වහා නැගිට පිටතට විත් වම් පස දොර වෙත පැමිණ ආගන්තුකයා වාහනයෙන් පිටතට ඇද දැමීමට වාහනයේ දොර විවෘත කරනවාත් සමඟම නවතා ගත නොහැකි සිනහවෙන් හිතවතා මිතුරා දෙස බලන විට මිතුරා දුටු දසුනින් ඔහුට ද මුවඟට නැගුණු සිනහව නතර කර ගැනීමට විනාඩි කීපයක් ගතවිය.
හසලක සුනිල් ඒකනායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd