හිඟු‍රාණ - නවරත්න සමරතුංග 



පානයක් විස වී යැයි බොරු රඟපෑමක් කළ අයකු ‍ප්‍රතිකාර ලබා දෙනවාට බියෙන් ගිලන් රියෙන් එළියට පැන පලා යාමට තැත් කළ සිද්ධියක් හිඟු‍රාණ පැරැණි ගමකින් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය. 
ඉකුත් 19 වැනිදා හෘදයාබාධයකට ලක් වූ රෝගියකු දමන ප්‍රාදේශීය රෝහලට රැගෙනවිත් ඇති අතර, එම රෝගියා දමන රෝහලේ සිට අම්පාර මහ රෝහලට යැවීමට පියවර ගෙන තිබිණි. 
මේ අතර වස පානය කළ බවට එක්තරා පුද්ගලයෙක් එම රෝහලට ගෙනැවිත් සිටියේය. ඒ අනුව ඊට මොහොතකට පෙර අම්පාර බලා ගිය ගිලන් රථයට ජංගම දුරකතනය මගින් ඇමතුමක් දී වස පානය කළ මෙම රෝගියාද රැගෙන යන ලෙස දැනුම් දී ඇත. 


එහිදී හෘදයාබාධයෙන් පෙළෙන රෝගියාද රැගෙන ගිලන් රථය ආපසු දමන ප්‍රාදේශීය රෝහලට පැමිණ වස පෙවී රෝහල්ගත වූ බව කියන පුද්ගලයාද එහි නංවාගෙන අම්පාර බලා පිටත්ව ගොස් ඇත. ප්‍රතිකාර කිරීමේදී වමනය දැමීම ආදී වේදනාකාරී අත්දැකීම්වලට මුහුණ පෑමට සිදුවන බව දැන සිටි ඔහු බියට පත්ව හිඟු‍රාණ පැරණිගම ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබූ ගිලන් රථයේ පිටුපස දොර ඇර එළියට පනින්නට සූදානම් වී ඇත.
රෝගීන්ගේ ආරක්ෂාවට ගිය සේවිකාවන් දෙදෙනකු කෑ ගසද්දී ගිලන් රිය නවතා පිටුපස දොරෙන් පනින්නට සූදානම් වූ පුද්ගලයා මෙල්ල කරගැනීමට රියැදුරා සමත් විය. ඔහුගෙන් විමසන විට තමාට අම්පාර රෝහලට යාමට බැරි බව පවසා ඇත. 
එම හේතුවෙන් ඔහු නැවත දමන රෝහලට රැගෙනවිත් ඇති අතර, ගිලන් රථය නතර කරනවාත් සමගම ඔහුගේ සිරුරට සම්බන්ධ කර තිබුණු සේලයින් බට සහ කැනියුලා එන්නත් කටුව පිටින්ම ඔහු පලාගොස් ඇත. 
ගම්වාසීන් පැවසුවේ මොහු වස පෙවුණු බවට බොරු රඟපෑමක යෙදුණු බව නිවසේදී පවසා ඇති බවයි.